පළාත් පාලන ඡන්ද ශ්‍රීලනිප අපේක්ෂකයන් පක්ෂය වෙනුවෙන් කැපවී සිටින පිරිසක් | දිනමිණ

පළාත් පාලන ඡන්ද ශ්‍රීලනිප අපේක්ෂකයන් පක්ෂය වෙනුවෙන් කැපවී සිටින පිරිසක්

චන්ද්‍රිකා පෙරේරා
කෝට්ටේ මධ්‍යම සමූහ නන්ද. ඒකනායක

* නිසැකවම අප මේ ඡන්දය ජයගන්නවා
* ශ්‍රීලනිපයෙන් වෙන්ව කටයුතු කරන අය සමඟ­ියට අත දෙයි කියා බලා සිටියත් එය සිදු වුණේ නැහැ
* සමහර පළාත්වලට අප ගිය අවස්ථාවල ප්‍ර‍දේශයේ සියලු පන්සල්වල විහාරාධිපතිවරු අප සමඟ සිටියා

ශ්‍රී ලනිපයට එක්ව සිටින පළාත් පාලන ඡන්ද අපේක්ෂකයන් පක්ෂය වෙනුවෙන් කැපවී සිටින පිරිසක් බවත් ඒ අනුව ඉදිරි මැතිවරණය අනිවාර්යයෙන්ම ශ්‍රී ලනිපය ජය ගන්නා බවත් බස්නාහිර පළාත් කෘෂිකර්ම ඇමැති ගාමිණී තිලකසිරි මහාතා පැවැසී ය.

මෙවර පළාත් පළාන ඡන්දයේ දී ජනතාව සියයට පනහක්ම පක්ෂය පිළිබඳ නොසිතන අතර තම පළාතට සේවය කරන හොඳ අයෙක් පත්කර ගැනීම ඒ අයගේ අවශ්‍යතාව බව හෙතෙම පෙන්වා දුන‍්නේ ය.

බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ ඊයේ (05) විශේෂ මාධ්‍ය හමුවේ දී ගාමිණී තිලකසිරි මහතා එම අදහස් පළ කෙළේ ය.

එහිදි හෙතෙම මෙසේ ද කීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය කවදා පැවැත්වෙයි ද කියා සියලු පක්ෂ නියෝජිතයන් මෙන්ම සාමාජිකයන් හා පාක්ෂිකයන් බලා සිටිනවා.

පළාත් පාලන පනතේ ප්‍රශ්නයක් තිබුණ නිසා එය නිරාකරණය කර ගැනීමට කටයුතු කිරීමට සිදු වුණා . ඒ නිසයි ඡන්දය පැවැත්වීම පමා වුණේ.

පසුගිය දිනවල සමහරු ඡන්දය පැවැත්වෙන දිනය ගැන විවිධ මත පළ කළත් මැතිවරණ කොමිසමේ සභාපති සඳහන් කළා එවැනි ප්‍රකාශ මත පදනම්ව කටයුතු නොකරන බවත් මැතිවරණ කොමිසම ස්වාධීනව කටයුතු කරන බැවින් පක්ෂවලට අවශ්‍ය ලෙස දින නියම කළ නොහැකි බවත්. මේ අනුව කොමිසමට හැර කිසිම පක්ෂයකට හෝ පුද්ගලයෙකුට ඡන්දය පැවැත්වීමේ දිනය ගැන තීරණය කරන්න හැකියාවක් හෝ බලයක් නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් පක්ෂයෙන් වෙන් වී නැහැ. ඉදිරි මැතිවරණයේ දී ඒ අය පක්ෂය ජයග්‍රහණය කරවන්න එක්වී සිටිනවා. උදාහරණ ලෙස හෝමාගම මා නියෝජනය කරන ප්‍රදේශයේ කොට්ඨාසවලට මේ වන විට අපේක්ෂයින් පත්කර අවසන්. එක කොට්ඨාසටය කිහිප‍ දෙනෙක් ඉදිරිපත් වුණත් සාකච්ඡාකර කොට්ඨාසයට සුදුසුම පුද්ගලයා පත්කර අනෙක් අයගේ සහයෝගය ලබා ගත හැකි වැඩපිළිවෙළක් මා දියත් කළා.

බැසිල් රාජපක්ෂ මහතා කලකට පෙර ප්‍රකාශ කළා කොට්ඨාස සඳහා ඒ අයගේ පක්ෂයෙන් අපේක්ෂකයින් පත්කර අවසන් බව . නමුත් එය අසත්‍යයක් . ඒ අය මේ දිනවල සුදුස්සන් තෝරමින් සිටින්නෙ. නාම යෝජනා ප්‍රශ්න නිසා සමහරු ඉවත් ‍වෙන තත්ත්වයක් ඇති වෙලා බවට තොරතුරු තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොට්ඨාස අපේක්ෂකයන් තෝරා ගැනීමේ කටයුතු ඒ ඒ පළාත්වල සංවිධායකවරුන්ට බාර දී තිබෙන බැවන් නියම සුදුස්සන් ඒ අය හඳුනනවා. ඒ අනුවයි කොට්ඨාසවලට නියෝජිතයන් තෝරා ගැනීම් සිදු වෙන්නේ.

ශ්‍රී ලංනිපයෙන් වෙන්ව කටයුතු කරන අය සමඟ­ියට අත දෙයි කියා බලා සිටියත් එය සිදු වුණේ නැහැ. මේ අය සම්බන්ධයෙන් පිනය පරීක්ෂණ පැවැත්වීම පමා වුණේ සමඟි වෙන්න අවස්ථාව ලබා දීමටයි. ශ්‍රී ලනිපයේ නායකයො තිදෙනෙක් පොදු ජන පෙරමුණ සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී සාකච්ඡා කළා. නමුත් එකඟතාවයකට ඒමට නොහැකි බරපතල ඉල්ලීම් ඉදිරිපත් වුණා. යම් ප්‍රමාණයකින් ඉල්ලීම්වලට එකඟ වීමට උත්සහ කළත් එය සිදු වුණේ නැහැ. සමඟ වුණොත් ශ්‍රී ලනිපයෙන් ඉදිරිපත් වූ අ‍පේක්ෂකයො බලා සිටියා ඉවත් වී ඒ අයට ඉඩ දෙන්න. නමුත් එකතු වෙන්න එම පෙරමුණේ නායකයන් නිසා නොහැකි වුණා. විශේෂයෙන් එයි සුළු පක්ෂවලින් එක්ව සිටින අය එකඟතාවයකට අකමැතියි.

කොළඹ සෑම කොට්ඨාසයකටම ශ්‍රී ලනිපයෙන් සංවිධායකරු පත්කර තිබෙන්නෙ පක්ෂයේම අය වුනත් පොදු ජන පෙරමුණ පත්කර තිබෙන්නේ ශ්‍රීලනිපයේ අය නොවේ. ඒ අය වෙනත් පක්ෂවල අය. ඒ අයට වුවමනාවී තිබෙන්නේ එකතු නොවී සිටීමටයි.

මේ වන විට සමහර පක්ෂ බිඳිලා . ඒ අය ශ්‍රීලනිපයට එක් වීමට කැමතියි.

වර්තමානය වන විට පක්ෂයෙන් වෙන්ව සිටින අය එක් වුනා නම් අපේ ‍කෝටා එක ඒ අයට දී ශ්‍රීලනිපය ඉදිරියට යාමට සූදානම්ව සිටියේ. නමුත් පොදු ජන පෙරමුණ ඊට කැමති වුණේ නැහැ.

අද අපි මැතිවරණයට සූදානම් වී අවසන් . දැන් එකතු වුනොත් ශ්‍රී ලනිපය ගැන විශ්වාසය තැබූ අයගේ අපේක්ෂකත්වය පරිත්‍යාග කරන්න අවස්ථාවක් නැහැ. එසේ එක් වුණොත් පක්ෂය ගැන විශ්වාසය තබා නාමයෝජනා දුන් අපේක්ෂයන් අතරමං වෙනවා. ඒ අනුව එම නාම‍ ‍යෝජනා අස්කර ගන්න නොහැකියි. අපේක්ෂකයින්ගේ බලාපොරේතුතු බිඳ දැමිය ‍නොහැකියි.

මෙසේ එක්ව සිටින සියලු දෙනා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ අය . ඒ අනුව ශ්‍රී ලනිපය විශිෂ්ට ජයක් අත්කර ගැනීම කිසිවෙකුට වැලකිය නොහැකිය. කෙසේ වුවත් වුවත් බලය පිහිටුවීමේ දී අනිවාර්යයෙන්ම එහි තීරණාත්මක සාධකය බවට ශ්‍රී ලනිපය පත් වීම වලකන්න බැහැ.

මා ශ්‍රි ලනිපයට එක් වූ දින සිට පක්ෂයෙන් ඉවත් වී වෙනත් අය සමඟ එක් වී නැහැ. පරාජය වෙන්ම ජයග්‍රහණ අවස්ථාවලදීත් මා පක්ෂය සමඟ සිටියා . ඒ විශ්වාසය මා අපට කිසි දිනෙක කඩකරන්න බැහැ. එමෙන්ම පක්ෂය ස්ථාපිත කළ නායකයාගේ දරුවන් පවා පක්ෂය කඩාගෙන ගිය අවස්ථාවලත් මා පක්ෂය සමඟ සිටියා. ඒ පක්ෂයෙන් ඉවත් වු සෑම අයෙකුටම නැවත ජයග්‍රහණය කිරීමට පක්ෂයට එක් වීමට සිදු වුණා.

පක්ෂයෙන් වෙන්ව වර්තමානයේ කටයුතු කරන අය ඉදිරිය් කවදා හෝ පක්ෂය සමඟ අත්වැල් බැඳ ගන්නා බව විශ්වාසයි.

මෙරට මැතිවරණයට පාක්ෂිකයන් ඡන්දය දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන විශ්වායෙන් .එදා මහින්ද රාජපක්ෂ යුගයේ අල්ලස් ගත් දූෂණවලට එක් වූ අය නිසා අප පරාජයන් ලැබුවා.

මේ ඡන්දයෙන් දි ජනතාව සියයට පනයක්ම පක්ෂය ගැන හිතන්නේ නැහැ. තමන්ගෙ පළාතට සේවය කරන හොඳ කෙනෙක් පත්කර ගැනීමයි ඒ අයගේ අවශ්‍යතාවය.

සමහර පළාත්වලට අප ගිය අවස්ථාවල ප්‍ර‍දේශයේ සියලු පන්සල්වල විහාරාධිපතිවරු අප සමඟ සිටියා.

හෝමාගම මා නියෝජනය කරන පළාතෙ හොඳ බුද්ධිමත් පිරිසක් සිටිනවා. මේ පළාතට ඉතා හොඳ පිරිසිදු පිරිසක් තෝරාගෙන තිබෙන්නෙ.ඒ අනුව අනිවාර්යයෙන්ම ශ්‍රී ලනිපය ජයගන්නා බවට කිසිම සැකයක් නැහැ.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ගාමිණී තිලකසිරි මහතා මෙසේ ද පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැරදිකරන අය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ කියා නිහඬ වන්නේ නැහැ . එවැනි අය සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සමහර ආණ්ඩුවේ අයටම අප්‍රසාදය පළවී ඇති බව මා ද සෑම විටම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා.

ඒ අනුව සුදුසු අයට ඡන්දය දී පත්කර ගැනීමට ඡන්ද දායකයන් ක්‍රියා කරයි.

ඡායාරූපය- රොෂාන් පිරිපන 

නව අදහස දක්වන්න