ධීවර කටයුතුවලින් වළකින්න | දිනමිණ

ධීවර කටයුතුවලින් වළකින්න

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්.එම්.ප්‍රේමලාල්

ගිනිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව ඇතිව තිබෙන අඩු පීඩන අවපාතය ‍පීඩන අවපාතයක් බවට පත්වී මුහුදේ ස්වභාවය ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බැවින් අද (6) සිට අනිද්දා (8) දක්වා ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙස ධීවර ප්‍රජාව දැනුවත් කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්.එම්.ප්‍රේමලාල් මහතා පවසයි.

ඊට අමතරව විශේෂයෙන් දිවයිනේ කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය, පොතුවිල්, ගාල්ල, හම්බන්තොට ප්‍රදේශ ආශ්‍රිතව මුහුදේ සුළං වේගය පැයට කිලෝ මීටර් 60-70 අතර පැවැතිය හැකි නිසාත් මුහුද රළු ස්වභාවයක් ගත හැකි බවත් ඒ මහතා සඳහන් කරයි.

එමෙන්ම, උතුරු නැඟෙනහිර හා උතුරු මැද ප්‍රදේශවල විශේෂයෙන් අද (6) දවසේ සුළඟේ වේගයේ යම් වැඩිවීමක් ඇති විය හැකි බවද, එයට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම කඳුකරය ආශ්‍රිතවත්, අම්පාර, මඩකළපුව ප්‍රදේශවලත් සුළං තත්ත්වයේ යම් වැඩිවීමක් ඇතිවීමේ හැකියාව තිබෙන බව ද ඒ මහතා පෙන්වා දෙයි. දැනට තිබෙන තොරතුරු අනුව උතුර, උතුරු මැද සහ නැඟෙනහිර ප්‍රදේශවල දවසේ ඕනෑම වේලාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, සෙසු පළාත්වල සහ දිස්ත්‍රික්කවල සවස 2.00න් පසු ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවත් ඒ මහතා පවසයි.

විශාල වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි වුවත් ඉදිරියේ දී වර්ෂා තත්ත්වයේ යම් වෙනස්වීමක් ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් මාධ්‍ය මඟින් අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරන බවත් පැවසූ ඒ මහතා, ආපදා කළමානකරණ මධ්‍යස්ථාන හරහා ද ජනතාව දැනුවත් කරන බවත් කියයි. එමෙන්ම, මුහුදේ රළු ස්වභාවයේ බලපෑම හෙට දිනය වනවිට අඩුවිය හැකි බවත්, 8 වැනිදා වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන් පහව යනු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි. හදිසි ආපදා තත්ත්වයක දී ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දැනුවත් කර ඇති බව ද කීය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවැසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ඊයේ (5) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

එහි දී අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා,

'දැනට තිබෙන අඩුපීඩන කලාපය මේ වනවිට දිවයිනට කිලෝ මීටර් 900ක් වගේ ගිනිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ තමයි පවතින්නේ. මෙය ඉදිරි පැය 24 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම මේ පීඩන අවපාතය නිසා විශේෂයෙන් ම දිවයිනට කිලෝ මීටර් 200ක පමණ දුර සිට මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ සුළඟේ වේගය වැඩිවිය හැකියි. මෙය පැයට කිලෝ මීටර් 90-100 අතර ප්‍රමාණයකින් වැඩිවීමේ හැකියාව තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ මුහුදේ ස්වභාවය ඉතා රළු ස්වභායක් උසුලන්න පුළුවන්.

ඊට අමතරව විශේෂයෙන් දිවයිනේ කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය, පොතුවිල්, ගාල්ල, හම්බන්තොට ප්‍රදේශවල මුහුදේ සුළං වේගය පැයට කිලෝ මීටර් 60-70 අතර පවතින්න පුළුවන්. ඒ තත්ත්වය යටතේත් මුහුද රළු ස්වභාවයක් ගන්න පුළුවන්. මේ නිසා ධීවර කටයුතුවල යෙදෙන්න එපා කියලා අපි විශේෂයෙන් ම ධීවර ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.' යැයිද පැවැසීය.

ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා ද අදහස් දැක්වීය.

සිතාරා සේනානි, චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න