මනෝ විද්‍යාෙව් CID හාස්කම් | දිනමිණ

මනෝ විද්‍යාෙව් CID හාස්කම්

මනෝ වෛද්‍යවරයාගෙන් නොවරදින ඔත්තුවක්

ගැහැනුන්ට උනන්දුවක් නැති මේ නොඉඳුල් මිනිසාට මිතුරන් හෝ මිතුරියන්ද සිටියේ නැත. ඔහු හුදෙකලාව විසීමට කැමැත්තක් දැක්වූවෙකි. එසේ වූවත්, භින්නෝන්මා‍දයේ සංකේතයක් වූ ඔහු ප්‍රාර්ථනා කළේ කදිම පිළිවෙළට හා ක්‍රමානුකූලව සිටීමටය. ඔහු හැමදෙනාහටම ප්‍රසන්න ලෙස සදාචාරාත්මක බවක් පෙන්වීමේ හැකියාව උරගා බැලුවේය. මේ මිනිසා කාගේ හෝ අඹ යාළුවෙක් නොවීය. ප්‍රියවාදීද නොවීය. සමසිත් බෙදා ගන්නා සගයින් පිරි කණ්ඩායමකටද ඔහු අයත් නොවීය.

මිත්‍රශීලී නැත. ඒත් විනීතය. කඩකාරයන් වැඩ පරීක්ෂකයෝ, වැඩ සගයින් මේ කොයි කවුරුත් එක්ක එකඟතාවයෙන් යුතුව සිනාමුසුව අවශ්‍ය දේට විතරක් කතා කළේය. නමුත් අනෙක් අය සමඟ ඔහු සබඳතා පැවැත්වූයේ මිනිස් හැඟීම්වල උණුසුම් බව නොමැති ඇල්මැරුණු ස්වභාවයකිනි.

මේ කරුණු කාරණා සියල්ල පෙරා ගත්විට මට දක්නට ලැබුණු ශක්‍යතාව නම් ඔහුට තනිවම ජීවත්විය හැකි බවය. මේ සිතුවිල්ල තුළට තවත් අදහසක් කාන්දු වීමෙන් මට හැඟුණේ තම මවු සිහිගන්වන ඥාති පාර්ශ්වයක වියපත් ස්ත්‍රියක් සමඟ මොහුට ජීවත්විය හැකි බවය. මව් පාර්ශ්වයෙන් එන සුළු මවත් සමඟ ජීවත්වෙනවාය යන කාරණය පසුව මට හැඟී යන්නට විය.

පොලිසියේ සිද්ධාන්තයකට අනුව මේ පුද්ගලයා ජීවත්වන්නේ තට්ටු නිවාසයක නොව තනි නිවසකය. ඒ නිගමනයට රහස් පොලිස් නිලධාරින් එළඹියේ කරුණු කාරණා සහිතවය. එනම් ඔහු නිපද වූ බෝම්බ අනුව, ඔහුට හොඳ මෙවලම් සහිත වැඩ කාමරයක් තිබිය යුතුය. එය තිබිය යුත්තේ රහස් ස්ථානයකය. මන්ද ලෝහ තලන ශබ්දයෙන් අසල්වැසියන්ට කරදර නොවිය යුතු බැවිනි. තනි මිනිසෙක් නිවසක් ගෙන ජීවත්වීම තරමක අසාමාන්‍යය. ඒ නිසා මා කල්පනා කළේ ඔහු මව වැනි ගැහැනියක සමඟ විසීමට ඇති ඉඩකඩ වැඩි බවය.

මේ සියලු සිතීම් පණගැන්වීම සඳහා මට බොහෝ වේලාවක් ගතවිය. රහස් පොලිස් නිලධාරින් කිසිම බාධාවක් නොකර මට කල් දුන්නේය. මා ඉක්මන් කිරීමට ඔවුන් කිසිදු උත්සාහයක් ගත්තේ නැත. මගේ කල්පනාව පීලිපැන ගියවිටෙක මා දුටුවේ ඔවුන් මගෙන් යමක් බලාපොරොත්තුව නොසෙල්වී වාඩිගෙන සිටින අන්දමය.

‘හරි’ මම කීවෙමි. ‘අපි බලමු, මොනවද අපිට ලැබිලා තියෙන්නේ කියලා. අපි කිව්වනේ මේ මනුෂ්‍යයා අවුරුදු 40 ට අඩු වෙන්න බෑ කියලා. මෙයාගෙ ගැටලු‍වෙ එක කොටසක් තමයි ලිංගික කාරණය. ඒ හින්ද මට හිතෙනවා ඔහුගෙ වයස 50 ට වැඩි වෙන්න බෑ කියලා. එයා 60 ට කිට්ටු වෙලා තියෙනවා නම් එයාගෙ ලිංගික මානසික ශක්තිය ටිකක් සීතල වෙන්න ඕන.

‘ඉඩිප්ස් සංකීර්ණයද? ඉන්ස්පෙක්ටර් ෆිනි ඇසුවේය. මම එකඟතාව පළකිරීම සඳහා හිස සලමින් විකෘතිය අතර හා සීට් පැළීම සම්බන්ධ හේතු දැක්වූයෙමි. ඉන්ස්පෙක්ටර් මගේ වයස නීර්ණය ඕනවට වඩා වැඩි යැයි කල්පනා කළා වැනිය. අවසානයේ ඔහු මෙසේ පැවසීය. ‘හරි අපි තව ටිකක් එකතු කරමු. ඒ විදිහට බැලුවාම මෙයා අවුරුදු 40 ත් - 50 ත් අතරට දාන්න පුළුවන්’

‘හරි, අවුරුදු කීපයක් එයාට වැඩියෙන් දෙන්න. එහෙම නැත්නම් ආපහු ගන්න’ එසේ කී මම මෙසේ විස්තර කළෙමි.

ඔහුගේ මව මියගොස් හෝ ඈත්වී ඇති බව මම කීවෙමි. එසේම ඔහු මේ වනවිට ජීවත්වන්නේ තනිවමය. නැත්නම් වියපත් ස්ත්‍රී ඥාතියකු සමඟය. ඔහු හුදෙකලා වූවෙක් නිසා මිත්‍ර සමාගමක් නැත. තනිකඩයෙකි.

‘මම ඕන ඔට්ටුවක් අල්ලනවා’ රහස් පොලිස් නිලධාරින්ට මම අභියෝගයක් ප්‍රදානය කළෙමි. මේ මිනිහ කවදාවත්ම කෙල්ලක්ගේ මූණවත් ඉඹලා නෑ’

‘සමලිංගිකයෙක්?’ එක් රහස් පරීක්ෂකයෙක් විමසුවේය.

‘නෑ එයාට එහෙම යාළුවොත් නෑ. දරා ගන්න බැරි අසම්මත දේවලට එයා පැටලෙන්නෙත් නෑ. එයාට උවමනා දෝෂ - පළුදු නැති ජීවිතයක්. හැමදෙනාටම වෙනස් ජීවිතයක් ප්‍රකට කරන්නයි එයාට ඕන. මම දැනටමත් කියලා තියෙනවා.

එයාගේ ඇඟ හොඳ මලල ක්‍රීඩක ස්වරූප‍ෙය් එකක් කියලා.මම දැන් තවදුරටත් ඉදිරි අනාවැකිවලට යනවා. ඔහු වැඩ කරන්නෙ පිළිවෙළකට. පිරිසිදුවට. හොඳට රැවුල බාලා ඉන්නේ.

ඔබ කොහොමද දන්නේ? එක් නිලධාරියෙක් විමසීය.

‘ඇත්තටම මම දන්නෙ නෑ. මම ඔබලට කියන කිසිම දෙයක් මම දන්නෙ නෑ. මම කියනවා... එච්චරයි...මට....’

ආපෝහනයෙන් මුව පළල්කොට ගත් සිනහවකින් යුතුව ඉන්ස්පෙක්ටර් ෆිනී ලොකු වචනයක් දැම්මේය. මනෝ විද්‍යාවට අනුව ආපෝහනය යනු යම්කිසි හේතුවක් ඇතිව එහෙත් නිරායාසයෙන් මෙන් කෙනෙකුට ඇතිවන නිගමනයක් හෝ මතවාදයක්ය.

‘හරියටම හරි, ආපෝහනයෙන් තමයි’ බෝම්බකරුගේ පුද්ගලික ඇබ්බැහිවීම්වලට හේතු දැක්වීම මම ආරම්භ කළෙමි. නමුත් ඊට මා නැඹුරු වූයේ භින්නෝන්මාදය විසින් ජනිත කළ කැළැල් හා පළුදුද සැලකීමට ලක්කිරීමෙන් පසුවය.

‘මෙයා පිටත සමාජයට පෙනෙන්නෙ හැමදේම නිසි පිළිවෙළට කරන පරිපූර්ණයෙක් විදිහට. හැම ඉරිදාටම මෙයා පල්ලියට යනවා. එයා කවදාවත්ම ආභරණ ආයිත්තම් ඇ‍ඟේ එල්ල ගන්නෙ නෑ. දිලිසෙන ටයිපටි, ඇඳුම් පැලඳුම් ඇ‍ඟේ දවට ගන්නෙත් නෑ.

නිහඬ විනීත ක්‍රමානුකූල ඉක්මන් කෙනෙක්. රැකියාව කරන කාලේ තමන්ගේ වගකීම් හරියටම කළා. නමුත් කවදාවත්ම අනෙක් සේවකයින් එක්ක කතාබහේ යෙදෙමින් කලවම් වුණේ නෑ. දවල් කෑම ගත්තෙ තනියම. සේවාස්ථානයේ කිසිම සමාජීය කටයුත්තකට සහභාගි වුණෙත් නෑ. කිසිදාක බේබදුකමට කලහකාරිත්වයට එකතු වුණෙත් නෑ.

රහස් පරීක්ෂක නිලධාරීහු හීන්සීරුවේ හිස වනමින් එකඟතාවය පළ කරන්නට වූහ. ඔවුන්ද මගේ මනෝ යානයේ නැගී දුර ගමනක් ගොස් ඇති බව පැහැදිලිය. එහෙත් මා ඔවුන්ගේ මනෝ මල් වනයට සැණින් කඩා වැදුණෙමි.

අධ්‍යාපනය අඩුම තරමින් අවුරුදු දෙකක්වත් උසස් මට්ටමේ ඉ‍ෙගනීමක් ලබලා තියෙන බව එයාගෙ ලියවිලිවලින් පේනවා. ඒවයින් පෙන්වන තවත් දෙයක් තමයි එයා දේශයක ඉපදුන හෝ විදේශික ප්‍රජාවක් සමඟ ජීවත්වන කෙනෙක් බව. මටම තවත් ඉසේ කැක්කුමක් රැගෙන මෙසේද කෙටියන් කීවෙමි.

‘එයා ස්ලාව් ජාතිකයෙක්’ මම කෙටි පැහැදිලි කිරීමක් කළෙමි. මධ්‍ය හා බටහිර යුරෝපයේ ස්ලැවික් බස කතාකරන ස්ලාව් ජනයාගෙන් අමෙරිකාවට සංක්‍රමණය වුණු කෙනෙක්.

රහස් පොලිස් නිලධාරින්ගේ දෑස්වලින් මට පෙනුණේ තරු විසිරෙන පෙනුමකි. ‘මේ පුරෝකථනයට හේතු දක්වන්න පුළුවන්ද? ඉන්ස්පෙක්ටර් ෆිනී ඉල්ලා සිටියේය.

‘හොඳයි’ මම පහදන්නම්. ස්කැන්ඩිනේවියානු රටවලට වඩා මධ්‍යධරණී රටවල්වලට භූ සීමා නැතිව අවි ආයුධවලට උනන්දුවක් තියෙනවා. අඩුම තරමින් බෙල්ල මිරිකිල්ල හරි මේ රටවල් පාවිච්චි කරනවා.

‘මම එකඟ වෙනවා.’ ඉන්ස්පෙක්ටර් ෆිනී එසේ පැවසුවේ හරස්පද ප්‍රහේලිකාවකින් මුඛවාඩම් බැඳ ගනිමිනි.

‘හරි, ඓතිහාසික වශයෙන් මධ්‍යම යුරෝපය බෝම්බවලට අනුමැතිය පළකරන ප්‍රතිපත්තියක ඉඳලා තියෙනවා. පිහිවලටත් එහෙමයි. මේ අය ලෝකය පුරාම සාහසික දේවල් කරලත් තියෙනවා. ඒ හින්දා, බෝම්බයි, පිහියයි දෙකම පාවිච්චි කරලා තියෙනවා නම්, ඒ පුද්ගලයා ස්ලාව් ජාතිකයෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

රහස් පොලිස් නිලධාරින් සිටියේ අස්ථීරත්වයෙන් හා සැක සංකාවෙන් බව පැහැදිලිය.

‘මම මේ කරන්නෙ යෝජනාවක් විතරයි’ මම සෘජුවම කීවෙමි. ‘මම මේ දැන් කරන්නෙ අරුමයක් හෝ විකාරයක් වෙන්න පුළුවන්. එයා ස්ලාව් ජාතිකයෙක් නම් මම තවත් අරුමයක් ඉදිරිපත් කරනවා. ඔහු රෝමානු කතෝලිකයෙක්. ඔහු සතිපතා රෝමානු කතෝලික පල්ලියක දේවමෙහෙයට සහභාගි වෙනවා. පුරුද්දක් විදිහටම.

‘පව් කමා කිරීම හැර?’ එක් රහස් පරීක්ෂකයෙක් සෝපහාසාත්මකව විමසීය.

‘හරි, ඒ දේවල් අපට ක්‍රමානුකූලව දැනගන්න ලැබෙයි. නමුත් දැන් කරන්න තියෙන්නෙ මෙයා ජීවත්වෙන්නෙ කොහෙද කියලා හොයා ගන්න එකයි. තැපෑලෙන් ලැබුණ ලියුම්වල සීල් වැදිලා තිබුණෙ එක්කො නිව්යෝර්ක් සිටි නැත්නම් වෙස්ට්චෙස්ටර්. ඒත් මෙයින් අදහස් වෙන්නෙ නෑ මෙයා වෙස්ට්චෙස්ටර්වල ජීවත්වෙනවා කියලා. සුපිරිම විදිහට තමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන මේ මිනිහා තමන් පදිංචි අවටින් ලියුම් තැපැල් කරයි කියලා අපට බලාපොරොත්තු වෙන්න බෑ. අපට අනුමාන කරන්න පුළුවන් වෙන්නෙ මෙයාගෙ ගෙදරත් නිව්යෝර්ක් නගරයත් අතර මගදි ලියුම් තැපැල් කරනවා කියලා. ඔන්න, තවත් දෙපැත්ත කැපෙන වැඩක්. ස්ලාව් ජාතිකයින් වැඩිපුරම නිව්යෝර්ක් වටා ජීවත්වෙන්නෙ මොන පළාතෙද? මා දන්න විදිහට නම් කනෙක් ටිකට්වල විශාල ස්ලාව් ජනගහනයක් ඉන්නවා. බ්‍රිජ්පෝර්ට්වල පෝලන්ත ජනගහනය දැවැන්තයි. මේ නිසා කෙනෙක්ටිකට් ඉඳලා මෑන්හැට්න් දක්වා වෙස්චෙස්ටර් ඔස්සේ හොයලා බැලුවොත් හොඳයි.

මගේ මේ දීර්ඝ අනාවැකිය හෙවත් ආපෝහන කොටස අවසන් කිරීමත් සමඟ දීර්ඝ, ඔව් දීර්ඝ නිහඬතාවයක් රජ කරන්නට විය. අඩුම තරමින් රහස් පොලිස් නිලධාරින් මා සමඟ තර්ක කරන්නට පවා පැමිණියේ නැත. මේ ඉඩහසරින් ප්‍රයෝජන ගන්නට මම සමත්වීමි.

‘මේ මනුස්සයා හිතින් තද කරගෙන ඉන්න ඉඳිල්ල නිදන්ගත රෝගයේම ප්‍රකාශවීමක්. ඔහු කරන කියන හැමදේකින්ම ප්‍රකාශ වෙන්නෙ රෝගයමයි. ඒත් එයා තමන්ගෙ රෝගය ගැන හිතන්නෙ සේවාදායකයාගේ වරදක් කියලා.’

‘එයාට තියෙන රෝගය මොකක්ද?’ ෆිනී ඇසුවේය. මගේ සිද්ධාන්තය මම පැහැදිලි කළෙමි. නමුත් මා මෙහිදී භාවිත කළේ මට සමාව නොදිය හැකි වරදකාරී තත්ත්වයක් තුළය. එනම් මෙහිදී මගේම මූලික නීති මම උල්ලංඝනය කළෙමි. එනම්, මා දන්නා කරුණ ගැන ඒත්තු ගැන්වීමට මම අසමත් වී සිටියෙමි.

‘මේක කල්ගිය කටයුත්තක්.’ රහස් පොලිස් නිලධාරින්ට පැවසුවෙමි. ‘මේ කාරණය ඇතුළෙ සිය ගණන් කල්ගිය දේවල් තියෙනවා. මනෝ වෛද්‍ය විද්‍යාවේ පෙළ පොත්වලට අනුව යනවා නම් පොත් ලැයිස්තුව යාර ගණන් දික්වේවි. ඒ නිසා මම යෝජනා කරන්නෙ සාමාන්‍ය දේවලට යොමු වෙමු කියලයි.

මගේ අදහස් අනුමත කිරීමට උනන්දුවක් ඇතිදැයි දැන ගැනීමට මම රහස් පොලිස් නිලධාරින්ගේ දෑස් විචාරුවෙමි. ඊළඟට මම මගේ ඔට්ටුව ඔවුන් ඉදිරියේ තැබුවෙමි.

මොනම දොස්තර කෙනෙකුටවත් දෙවියන් වහන්සේට බෙහෙත් කරන්න පුළුවන්ද? අයුක්තියට දඬුවම් කිරීමේ වරම් අතට ගත් මේ මිනිහාට මනුෂ්‍යත්වයේ නාමයෙන් කළ හැකි දෙයක් තියෙනවද? මේ උමතු බෝම්බයා හිතන්නේ තමන් දෙවියන් වහන්සේමය කියාය. ඔහු පිවිස සිටින්නේ මේ අයුක්තිසහගත ලෝකය යුක්තිසහගත කිරීමටය. හෘද රෝග, පිළිකා, ක්ෂය රෝගය ආදියට බෙහෙත් තිබේ. භින්නෝන්මාදයට පිළියම් ඇතත් මොවුන් තමන්ගේ තත්ත්වය කිසිදා පිළිනොගනී.

‘එච්චරද?’ ඉන්ස්පෙක්ටර් විමසුවේය.

මේ වනවිට පැය හතරකට වඩා අප කාලය වැයකොට තිබුණා. සැඳෑවද ගෙවී යමින් පවතී. අහස සිඹින උස ගොඩනැගිලි තුළ හිරු ගිලෙමින් තිබිණි. කාර්යාලයටද අඳුර කාන්දුවී හමාරය.

මොහොතක් දෙන්න. තවදුරටත් මට කිසිම දෙයක් ගැන හිතන්න බෑ. මගේ මේසය මත විසිරී තිබූ ලිපි හා ඡායාරූප එක්රැස් කරමින් මම කීවෙමි. ‘මහත්වරු මට කියන්න මෙතෙක් වෙලා මම කියපු කාරණා ගැන ඔයාලා කරන්න යන්නෙ මොනවද කියලා?’

ඉන්ස්පෙක්ටර් උරහිස් සැලුවේය. ‘හොඳයි, ඔබේ අදහස් අපට කොයි විදිහකින් හරි උදව් වෙන්න පුළුවන්. අඩුම තරමින් අපි දැන් දන්නවා කොතනින්ද පටන් ගන්න ඕනෑ කියලා.

‘හොඳයි, වෙන්න පුළුවන්’ මම කීවෙමි. මගේ සිද්ධාන්ත හරියන්න හෝ වරදින්න පුළුවන්. හැබැයි වීදිවල ඉන්න පිළිවෙළට ඇඳ පැලඳ ගත්තු කනෙක්ටිකට්වලින් ආපු තනිකඩ මැදිවයසේ හැම ස්ලාව් ජාතිකයෙක්ම පොලිස් කූඩුවේ දාන්න බෑ.

සත්තකින්ම ඒත් ඩොක්ටර් අපට යෝජනා කරන දේ පැහැදිලි මදි’ ඉන්ස්පෙක්ටර් කීවේය.

මොහොතක් අදිමදි කරමින් සිටි මා සෘජුවම මෙසේ කීවෙමි. ‘මෙච්චරයි කරන්න තියෙන්නේ. මම බෝම්බකරු ගැන විස්තර කළ හැම කාරණයක්ම ප්‍රසිද්ධ කළ යුතුයි. ඒ වගේම බෝම්බ නිෂ්ක්‍රීය අංශය මෙතෙක් සොයාගත් හැම කාරණයක්ම තවදුරටත් රහසේ තියාගන්න එපා. හැම පත්තරයක්ම හැම ගුවන්විදුලි සේවාවක්ම හැම රූපවාහිනි නාලිකාවක්ම ප්‍රයෝජනයට අරගෙන ‍ෙම් තොරතුරු ඔක්කොම මහජනයාට දැනෙන්න විසුරුවා හරින්න.

සිංහල කළේ

සමුනි සමරකෝන්

හෙට : මාධ්‍ය හෙළිදරව්වට පොලිස් ‍ෙකාමසාරිස් ඉඩ දෙයිද?


නව අදහස දක්වන්න

Or log in with...