ජාතික කනිෂ්ඨ ගොල්ෆ් නව මුහුණුවරකින් | දිනමිණ

ජාතික කනිෂ්ඨ ගොල්ෆ් නව මුහුණුවරකින්

ෆවුස් මොහොමඩ්
ජාතික කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ මාධ්‍ය හමුව පසුගියදා කොළඹ රාජකීය ගොල්ෆ් සංගම් ශාලාවේදී පැවැත්විණි. එහිදී ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ සමූහ සාමාන්‍යාධිකාරී ටන් බෙන් ෂුවාන් මහතා ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති ප්‍රියාත් ප්‍රනාන්දු මහතා වෙත අනුග්‍රාහකත්වය පිරිනැමූ අයුරු. ප්‍රීමා සමාගම අනුබද්ධිත සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ සාමාන්‍යධිකාරී ෂුන් ටියාන් ෂිං, එම ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සජිත් ගුණරත්න, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ උප සභාපති අවන්කා හේරත් සහ කනිෂ්ඨ ගොල්ෆ් සංවර්ධන කමිටුවේ සභාපතිනිය නිලූ ජයතිලක මහත්ම ම

කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී 13 දා ඇරැඹේ

දේශීය ගොල්ෆ් තරග බිමට දස්කම් සපිරි යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වා දෙමින් මේ මස 13 වැනිදා කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී ආරම්භ වන ප්‍රීමා කුසලාන ජාතික කනිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලියට ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රාහකත්වය 10 වැනි වරටත් ලැබීමේ අවස්ථාව සටහන් කරමින් එහි මුහුණුවර වෙනස් කිරිමට තරග සංවිධායකයන් වන ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙවර තරගාවලියේදී ජාතික කනිෂ්ඨ ශූරයාට මෙන්ම ශූරියට ද ප්‍රීමා කුසලාන පිරිනැමීමට කටයුතු යොදා ඇත. මීට අමතරව අවුරුදු 9 සහ ඊට පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෙරෙන දිරිගැන්වීමක් ලෙස එම තරග ඉසව්ව පළමු වතාවට වට 3කින් සමන්විතව පැවත්වීමට ද ගොල්ෆ් සංගමය තීරණය කර තිබේ.

කොළඹ, මහනුවර සහ නුවරඑළිය ගොල්ෆ් සංගම් අතරින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්වී සිටින මෙවර තරගාවලියට සුපුරුදු ලෙස කාණ්ඩ 4ක් ඇතුළත්ය. ජාතික කනිෂ්ඨ ශූරයා සහ ශූරිය තෝරාගන්නා ලබන අවුරුදු 15-18 වයස් කාණ්ඩය සඳහා රන් පදක්කම් තරග ඉසව්ව, අවුරුදු 12-14 අතර වයස් කාණ්ඩය සඳහා රිදි පදක්කම් තරග ඉසව්ව, අවුරුදු 10-12අතර වයස් කාණ්ඩය සඳහා ලෝකඩ තරග ඉසව්ව මෙන්ම අවුරුදු 9 සහ ඊට පහළ වයස් කාණ්ඩය සඳහා තඹ තරග ඉසව්ව ඊට ඇතුළත්ය.

පසුගිය වසරේ ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාව අත්කරගත් විනෝද් වීරසිංහ මෙවරත් සිය කිරුළ රැක ගැනිමේ අරමුණින් තරගාවලියට එක්වී සිටින අතර කිරුළට හිමිකම් කියනු ලබන ක්‍රීඩකයන් අතර ප්‍රමුඛත්ස්ථානය ඔහුට ලැබී ඇත. එහෙත් නුවරඑළියෙන් තරග බිමට පිවිසෙන යොවුන් ක්‍රීඩකයන් වන දුවර්ෂන්, සත්සර ඩිල්ෂාන් සහ පසුගිය වසරේ අනුශූරතාව දිනු ආමන්ඩ් කල්දේරා ඔහුට මෙවර දැඩි අභියෝගයක් එල්ල කරනු ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80කට වැඩි පිරිසක් එක්වී සිටින මෙවර තරගාවලිය ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශ්‍රේණිගත කිරිම්වල ඉහළ ස්ථාන අත්කර ගැනීමේ කදිම අවස්ථාවක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවී තිබේ.

පසුගිය වසරේ දී අවුරුදු 12-14 වයස් කාණ්ඩයේ රිදී පදක්කම් තරග ඉසව්ව ජයගත් කයිලා පෙරේරා මෙවර තරගාවලියේදී ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශූරිය බවට පත්වීමේ අරමුණින් තරග බිමට එක්වී සිටින්නීය. එසේ වුවත් පසුගිය වසරේ රන් පදක්කම් තරග ඉසව්වේ තුන්වැනි තැන අත්කර ගත් වත්මන් කනිෂ්ඨ ගොල්ෆ් ශ්‍රේණිගත කිරිම්වල ඉදිරියෙන් පසුවන ක්‍රීඩිකාව වන ටානියා බාලසූරිය කුසලානය හඹා යාමේ සටනට එක්වී සිටින බැවින් බාලිකාවන්ගේ තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...