ලබන වසරේදී වෙළෙඳ සේවා සංගමයට සාමාජික ආයතන 100ක්: ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000ක් | දිනමිණ

ලබන වසරේදී වෙළෙඳ සේවා සංගමයට සාමාජික ආයතන 100ක්: ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000ක්

උදුලා පීරිස්
වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ නව නිල මඩුල්ල සමූහ ජායාරූපයකට පෙනි සිටි අයුරු.

ලබන වසරේදී තම සංගමයේ සාමාජිකත්වය සඳහා වෙළෙඳ ආයතන සංඛ්‍යාව සියයක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ සේවා ආයතනයේ නව සභාපති ඉන්දික ප්‍රසන්න මහතා පැවසීය.

එමෙන්ම වෙළෙඳ සේවා මලල ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000ක් දක්වා වැඩි කිරීමටත් කටයුතු කර ක්‍රීඩා සංගම් අතර ප්‍රමුඛතම සංගමය බවට පත්කරන බව ද ඔහු අවධාරණය කළේය.

වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයා සිය පස්වසරක සේවා කාලය නිමවා ශ්‍රී ලංකා වෙළෙඳ සේවා සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශකත්වයට පත්වීමෙන් අනතුරුව ඔටර්ස් ක්‍රීඩා සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දික මහතා මේ බව අනාවරණය කළේය.

මෙරට ප්‍රමුඛතම වෙළෙඳ සේවා ආයතන 53ක ක්‍රීඩක ක්‍රීඩකාවන් 2300ක් පමණ සහභාගීත්වයෙන් මේ වසරේ වෙළෙඳ සේවා මලල ක්‍රීඩා උළෙල 34 වැනි වරටත් පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබීමෙන් පසුව හිටපු සභාපති සිඩ්නි රත්නායක මහතා සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීය. අනතුරුව නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීම සිදු කෙරිණි.

ඉදිරියේදී පැවැත්වෙන වෙළෙඳ සේවා මලල ක්‍රීඩා උළෙල සඳහා ඉන්දියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව තවත් රටවල් කිහිපයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවා ගැනීමට නියමිත බව කී ඒ මහතා මැරතන් ධාවන තරඟ ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සංගමය හරහා දියත් කිරීමට නියමිත බව ද සඳහන් කළේය. එසේම සංගමය හරහා සිදුකරමින් පැවැති සමාජ සත්කාරක වැඩසටහන වන ‘ක්‍රීඩා සවිය’ යටතේ දිළිදු දරුවන් අධ්‍යාපනය ලබන පාසලක් වෙනුවෙන් විශේෂ සත්කාර සේවාවක් කිරිමටත් කටයුතු යොදා ඇති බවද මෙහිදී පැවසීය.

වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සිලෝන් කෝල්ඩ් ආයතනයේ ටොනෑඩෝ ජයසුන්දර මහතා 6 වැනි වරටත් සංගමයේ ලේකම් තනතුරට පත්වූ අතර එම සංගමයේ ප්‍රධාන අනුශාසක ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක රෝහණ එල්ලාවල මහතා තේරි පත්විය. සංගමයේ භාණ්ඩාගාරික ලෙස හැටන් නැෂනල් බැංකුවේ කේ.රාජ් කන්දයියා මහතා තේරීපත් විය.

 

නව අදහස දක්වන්න