කෝඩුකාරයෝ ශ්‍රී ලංකා පිල පරාජයේ අවමානයෙන් බේරා ගනිති | දිනමිණ

කෝඩුකාරයෝ ශ්‍රී ලංකා පිල පරාජයේ අවමානයෙන් බේරා ගනිති

* ධනංජය 119යි
* රොෂේන් නොදැවී 74යි

සිය 11 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් විශිෂ්ට ශතකයක් රැස් කළ ධනංජය ද සිල්වාගේ සහ සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 74ක් රැස් කළ රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ඉන්දියාවට එරෙහිවනවදිල්ලි නුවර ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තුන් වැනි හා අවසන් ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව නිමා කරගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත්විය.

ජයග්‍රහණය සඳහා ඉන්දීය පිල ලබාදුන් ලකුණු 410ක අසීරු ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල ඊයේ දිනය නිමාවනවිට කඩුලු 5ක් දැවී ලකුණු 299ක් රැස් කිරීමට සමත්විය. පෙරේදා පස්වරුවේ සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 246ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා පිලට පන්දුවට පහරදීමේ අවස්ථාව උදා කළ ඉන්දීය පිල දිනය නිමාවනවිට ලකුණු 31කට කඩුලු 3ක් උදුරා ගැනීමට සමත්විය.

එහෙත් ඊයේ උදැසන පිටියට පිවිසි ධනංජය ද සිල්වා සිය වගකීම අකුරටම ඉටු කරමින් ඉනිම ගොඩනැගීමේ මෙහෙයුම ආරම්භ කළේය. මුලු ලකුණු සංඛ්‍යාව 35ක්ව තිබියදී ඇන්ජෙලෝ මැතිව්ස් එක් ලකුණකට දැවී ගියත් ධනංජය සමග එක්වූ නායක දිනේෂ් චන්දිමාල් දිවා ආහාරය වනවිට ශ්‍රි ලංකා ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 119 දක්වා ඉහළ දැමුවේය.

ඊයේ මැතිව්ස්ගේ දැවීයාම ආන්දෝලනාත්මක සිදුවීමක් විය. ඔහු දැවී ගියේ රවීන්ද්‍ර ජඩේජා යැවූ පන්දුවකට අජින්ක්‍යා රහානේ අතට උඩපන්දුවක් දීමෙනි. රූපවාහිනි පුනරූපන මගින් එය ජඩේජා තම සීරා ඉරට එපිටින් පාදය තබා යැවූ නිපන්දුවක් බව පැහැදිලි විය. එය නිපන්දුවක් දැයි තුන්වැනි විනිසුරුවරයාගෙන් විමසීමට ප්‍රධාන විනිසුරුවරයා කටයුතු නොකිරීම කනගාටුදායක කරුණක් විය.

චන්දිමාල් ලකුණු 24ක් ලබා සිටියදිත් ජඩේජා යැවූ එවැනිම පන්දුවකින් දැවී ගියත් එවර එය තුන්වැනි විනිසුරුට යොමු කළ ප්‍රධාන විනිසුරු එම පන්දුව නිපන්දුවක් බවට තහවුරු කරගැනීමෙන් චන්දිමාල්ට කඩුල්ල රැක ගැනීමට අවස්ථාව ලැබිණි.

එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 147ක්ව තිබියදී චන්දිමාල් ලකුණු 36කට දවාලීමට රවිචන්ද්‍රන් අශ්වින් සමත්විය.

චන්දිමාල් සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 112ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගූ ධනංජය ද සිල්වා අනතුරුව සිය මංගල ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි රොෂේන් සිල්වා සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 58ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්විය. ඒ අතරතුර සිය ටෙස්ට් තරග දිවියේ තුන්වැනි ශතකය වාර්තා කිරීමට ධනංජය සමත්විය.

මුලු ලකුණු සංඛ්‍යාව 205දී ආබාධයකට ලක්වීම නිසා ලකුණු 119ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වීමට ධනංජයට සිදුවිය. ඔහුගේ ඉවත්වීමෙන් පසුව රොෂේන් සිල්වා සමග එක්වූ නිරෝෂන් දික්වැල්ල දිනය නිමාවනතුරු කඩුල්ල රැක ගැනීමට සමත්වූ අතර කෝඩුකාර රොෂේන් සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 94ක නොබිඳුණු සම්බන්ධතාවක් ද ගොඩනැගුවේය.

තරගයේ ජයග්‍රහණය අත්කරගැනිමේ ඉන්දීය සිහිනය බොඳ කළ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 74ක් රැස් කිරිමට සමත්වූ අතර දික්වැල්ල නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 44කි. 

නව අදහස දක්වන්න