ක්‍රීඩාව නඟා සිටුවීමට ක්‍රිකට් ආයතනය වුණත් විසුරුවා හරින්න මම සූදානම් | දිනමිණ

ක්‍රීඩාව නඟා සිටුවීමට ක්‍රිකට් ආයතනය වුණත් විසුරුවා හරින්න මම සූදානම්

ක්‍රීඩා ඇමැති කියයි

වසර අටක් පුරා දරුණු කඩා වැටීමකට ලක් වු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි නඟා සිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සකස් කර තිබෙන බවත්, ඊට එරෙහි වුවහොත් ක්‍රිකට් ආයතනය විසිරුවා හැර හෝ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

වර්තමානයේදී ක්‍රිකට් ක්‍රීඩා සමාජ විසින් තමන්ගේ බලය යොදවා පාලක මණ්ඩලය සිර කර ගෙන තිබෙන බවත් ඉදිරියේදී කවුරු විරුද්ධ වුවත් මේ තත්ත්වයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගලවා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (06) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

‘අවුරුදු දෙකෙන් දෙකට අතුරු පාලක මණ්ඩලය පත් වුවත් ඔවුන්ට ඉලක්කයකට යන්න බැරි වුණා. ඉන් පසු මේ මැතිවරණයට අර්ජුන හා තිලංග ඉදිරිපත් වුණා. වර්තමානයේ සංගා හා මහේල එක දෙක ස්ථානවල ක්‍රීඩා කරමින් සිටියා. එතැනින් පසු අපට ඒ ස්ථානයට ගේන්න පුලුවන් ක්‍රීඩකයන් නැහැ. මේ දෙන්නා දැවී ගිය පසු එතැන් සිට අල්ලගෙන ගහන්න පුළුවන් ක්‍රීඩකයෝ හිටියේ නැහැ. අවුරුදු ගාණක් සංගා මහේල එතැන හිටියා. මින් පෙර මහානාම වැනි අය පහළට ගිහින් තවත් අයට ඉහළ ක්‍රීඩා කිරීමට අවස්ථාව දුන්නා. නමුත් මේ කාලයේ එවන්නක් ද සිදු වුණේ නැහැ. මේ නිසා අමතර ස්ථාවර ක්‍රීඩකයන් අපිට බිහි වුණේ නැහැ.

ඒ නිසා පසුගිය වසර 8 ක් තුළ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමකට ලක් ව තිබුණා. ඒ තත්ත්වය උඩින් පෙනුණේ නැති වුණත් යටින් දරුණු ලෙස කඩා වැටීමට ලක් වුණා. අද අවශ්‍ය වන්නේ රට තුළ දේශීය මට්ටමින් තරඟ පැවැත්වීමයි. ඒ සඳහා මේ වන විට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. අද අපට ක්‍රිකට් කණ්ඩායම් 24 ක් තිබෙනවා. මේ දෙකම කලවම් කරමින් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු වෙනවා. දුර පළාත්වල පාසල්වල ක්‍රීඩකයන් මේ කණ්ඩායම්වල ඉන්නවා. ඔවුන් එක තැනකට ගෙනත් පුහුණු කරවන්න අපට වැඩපිළවෙළක් මෙපමණ කල් තිබුණේ නැහැ.

ඒ නිසා අපි පළාත්වලට අද බලය ලබා දී තිබෙනවා. පළාත් 9 ම අපි පළාත් 4 කට වෙන් කරලා බලය ලබා දී තිබෙනවා. මේ අනුව හැම පළාතකින් ම 15 බැගින් 60 දෙනක් තෝරාගන්න අපි බලාපොරොත්තු වෙනවා. එසේ නැත්නම් තේරීම් නිලධාරීන්ට රට පුරා තිබෙන මේ තරඟවලට යන්න වෙනවා. මේ පළාත් හතරට තේරීම් නිලධාරීන් 4 ක් යොදවන්න අපි කටයුතු කරනවා. මේ අනුව අපිට ක්‍රීඩකයන් 80 ක් පමණ තමයි බලන්න වෙන්නේ. මේ හොඳම ක්‍රීඩකයින් පිරිසයි. මේ ටික අපි ඉස්සරහට ගෙන යන්න අවශ්‍යයි. අපේ සිසුන්ගේ අවුරුදු 15 සිටම ක්‍රිකට් වලට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය සකස් කළ යුතුයි. මේ නිසා මේ වැඩපිළිවෙළ හදිසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.

අද ඇතැම් අය ක්‍රීඩා සමාජවල ඡන්දය ලබා ගැනීමට අවශ්‍ය නිසා ඒ අයට නතු වෙලා කටයුතු කළා. ඒ ඡන්ද වලින් කරන්න අවශ්‍ය දේ නෙවෙයි අද කරන්නේ. මැච් එක වැටෙනවා නම් මේ අය කියන දේවල්වලට ඇහුම්කන් දෙන්න මා සුදානම් නැහැ. ඉදිරියේදී මේ ඡන්ද අඩු කරන්න මා පැහැදිලිව කටයුතු කරනවා.

‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ දෙකම එකට එකුතු වෙලා ක්‍රීඩා කරන්න අවශ්‍ය බවට අපි තීරණයක් ගත්තා. අපි බොහෝ දුරට බැලුවේ ‘ඒ’ කාණ්ඩය පමණයි. ‘බී’ කාණ්ඩයේ සිටින දක්ෂ දරුවන් කැළේට පිපිලා පරවෙන මල් වගේ වෙනවා. ඒ නිසා ලබන වසරේ කවුරු විරුද්ධ වුණත් මේ දෙක එකට එකතු කරනවා.’

‘පසුගිය දා ඉන්දියාවේ පැවැත්වෙන තරගයකට සහභාගීවීමට ගිය ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුණා. ලංකාවෙන් පිටත යන සියලුම ක්‍රීඩකයන් දින විසි එකකට පෙර අවසර ගත යුතුයි. නමුත් සංගම් සියල්ල මේවා ගෙන්නේ අන්තිම මෙහොතෙයි. ඒ අය තමන්ගේ බලය භාවිතා කරමින් තනියම ගිහින් වීසා අරගන්නවා. ඒත් මට ලිපිය ලැබුණේ පෙරේදා හවස. නමුත් 6 වෙද්දි මේ අය ගුවන්තොටුපලට ගිහින්. නීති රෙගුලාසි කාටත් පොදුයි. ඒ අනුව කවුරුත් කටයුතු කළ යුතුයි. නමුත් මේ ගිය කණ්ඩායම ගැන තිලංග සුමතිපාලවත් දන්නේ නැහැ.

ක්‍රිකට් පරදින විට පාලක මණ්ඩලයත් හරියට නැත්නම් මේ ගැන තීන්දුවක් ගන්න වෙනවා. අපි එක් දින තරඟ සඳහා හොඳ කණ්ඩායමක් තෝරා ගෙන තිබෙනවා. මේ කටයුතු ඉදිරියේදී නිවැරදි වේවි. ශරීර යෝග්‍යතාවය සමත් නැත්නම් කිසිවකු ඇතුළට දාන්න බැහැ. අපි කැමැති හොඳම කණ්ඩායමක් යවන්නයි. මේ අයව එළියට දැම්මේ ඇයි කියලා කියන්න ඕනේ. ඒකට අපිට හෝ තේරීම් කමිටුවට බැනලා පලක් නැහැ.

කැප්ටන්ලා ගැනත් අපට ගැටලු තිබෙනවා. ඇතැම් අය තමන්ට කැමැති නායකයෝ දාගෙන ගහනවා. වගකීම එන්නේ ක්‍රිකට් ආයතනයටයි. අපි 2019 වන තෙක් කටයුතු කරන්න අවශ්‍ය නායකයෙක් ලෙස තිසර ගැන යෝජනා කර තිබුණා. තරඟාවලියෙන් තරඟාවලියට කැප්ටන්ලා පත් කිරීම ගැන මා එකඟ නැහැ.’ ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් කීවේය.

සිතාරා සේනානී, සමන්මලී ප්‍රියශාන්ති

නව අදහස දක්වන්න