මතභේද මැද යතුරුපැදි සම්මේලනයේ මුල් පුටුවට මිරැන්ඩෝ | දිනමිණ

මතභේද මැද යතුරුපැදි සම්මේලනයේ මුල් පුටුවට මිරැන්ඩෝ

ෆවුස් මොහොමඩ්

සභාපති සහ භාණ්ඩාගාරික තනතුරු සඳහා අපේක්ෂකයන් ඉදිරිපත්වීමේ දී යතුරුපැදි ක්‍රීඩා සම්මේලනයේ නිලධාරීන් අතර උත්සන්න වූ උණුසුම් මත ගැටුම් මැද නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති අවීන්ද්‍ර මිරැන්ඩෝ මහතා නැවත පත්වී සිටී.

යතුරුපැදි ක්‍රීඩා සම්මේලනයේ නිලවරණය නිමාවට පත්වී තිබුණත් සභාපති හා භාණ්ඩාගාරික තනතුරු සම්බන්ධව පැන නැගුණු ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් එම තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීම පසුගියදා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ශාලාවේ පැවැති විශේෂ සභා රැස්වීමකින් සිදු කිරීමට පසුගියදා කටයුතු යොදා තිබිණි.

යතුරුපැදි ක්‍රීඩා සම්මේලනයේ මුල් පුටුවට අවීන්ද්‍ර මිරැන්ඩෝ මහතා සමග තරග කිරීමට හිටපු සභාපතිවරයකු වූ උපාලි දසනායක මහතා නාමයෝජනා බාර දී තිබූ අතර ඔහු මීට පෙර සභාපතිධුරයේ කටයුතු කළ කාලසීමාවේ විගණන වාර්තා නිසි පරිදි ඉදිරිපත් කිරීමට අසමත්වූ බව දන්වමින් ඔහුගේ නාමයෝජනාව නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. එසේ වුවත් මේ පිළිබඳ යතුරුපැදි ක්‍රීඩා සම්මේලනයේ ලේකම්වරයා විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ කළ විමසීමකට අනුව සංගමයේ ව්‍යවස්ථාවට අනුව විගණන වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳ කරුණු සළකා බලා ඔහුගේ නාමයෝජනාව නැවත ඇතුළත් කිරීමට නිලවරණ කමිටුව තීරණය කර ඇති බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් යතුරුපැදි ක්‍රීඩා සම්මේලනයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා යැවීමෙන් පසුව ඔහුට නැවත ඉදිරිපත්විමේ අවස්ථාව උදාවිය.

එසේ වුවත් ඔහු නියෝජනය කරන ක්‍රීඩා සමාජය පිළිගත නොහැකි බව කියමින් විශේෂ සභා රැස්වීමේදී ගත් තීරණයට විරුද්ධත්වය දක්වමින් උපාලි දසනායක මහතා තරග කිරීමෙන් වැළකි සිටියේය. ඒ අනුව විශේෂ සභා රැස්වීමේදී අවීන්ද්‍ර මිරැන්ඩෝගේ පාර්ශ්වය පමණක් ඡන්දය භාවිත කිරීමෙන් ඔහු සභාපතිධුරයට තේරී පත්වි සිටී.

පසුගිය වසරේ විගණන වාර්තා නිසි දිනයට ඉදිරිපත් කිරීමට අසමත්වූ බවට හිටපු සභාපතිවරයා වන අවීන්ද්‍ර මිරැන්ඩෝ මහතාට ද චෝදනා එල්ලවි තිබුණත් එම ප්‍රමාදය සිදුවීමට බලපෑ කරුණු සම්බන්ධව සම්මේලනය විසින් සිදුකරනු ලැබූ හේතු දැක්වීම නිලවරණ කමිටුව පිළිගෙන තිබේ.

2016 වසරට අදාළ ගිණුම් විගණකාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතු අවසන් දිනය මේ වසරේ පෙබරවාරි මස 28 වූ අතර එම ගිණුම් අදාළ දිනයට හෝ ඊට පෙර විගණකාධිපතිවරයාට ඉදිරිපත් කිරිමට සම්මේලන අසමත්වූ බවට විරෝධතාව ඉදිරිපත් වී තිබිණි. මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණයේදී ඉදිරිපත්වූ කරුණු හා ලියකියවිලි අනුව විගණන දෙපාර්තමේන්තුව 2016 සහ 2017 වසර සඳහා විගණන ආයතනයක් පත් කර ඇත්තේ මේ වසරේ පෙබරවාරි මස 24 වැනි දිනයේදී බව පැහැදිලි වන බවත්, එම ලිපිය සම්මේලනය වෙත ලැබී ඇත්තේ මාර්තු මස 3 වැනිදා බවත්, සම්මේලනය විසින් ගිණුම් වාර්තා විගණනය කිරීමට අදාළ ආයතනය වෙත මාර්තු මස 7 වැනිදා බාර දී තිබුණත් බැංකු සසැඳුම් වාර්තාවල අඩුපාඩුවක් හේතුවෙන් නැවත එය සම්පූර්ණයෙන්ම බාර දී ඇත්තේ මාර්තු මස 20 වැනිදා බවටත් තොරතුරු විමසීමේදී පැහැදිලි වීමෙන් නිලවරණය කමිටුව මේ තීරණය ගෙන තිබේ.

ඒ අනුව නිලවරණ කමිටුව විසින් හිටපු සභාපතිවරයාට, ලේකම්වරයාට සහ භාණ්ඩාගාරිකවරයාට විරුද්ධව එල්ලවූ චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබීය. යතුරුපැදි ක්‍රීඩා සම්මේලනයේ භාණ්ඩාගාරිකවරයා ලෙස විශේෂ සභා රැස්වීමේදී සෙනරත් පෙරේරා මහතා ද ඒකපාර්ශ්විකව තේරී පත්විය. 

නව අදහස දක්වන්න