උසාවියට අපහාස කළැයි පාදෙණියට නඩු | දිනමිණ

උසාවියට අපහාස කළැයි පාදෙණියට නඩු

මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීම මඟින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාස කර ඇති බවට තිබෙන පෙත්සම සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතා ඊයේ (06) ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය එම අපහාස චෝදනා සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීරණය කෙළේය. ලබන 2018 වසරේ මැයි මස 10 වැනිදා පාදෙණිය මහතාට එරෙහි පෙත්සම් විභාගය ඇරඹීමට නියම විය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරු විසින් මෙම මූලික විරෝධතා ඉවත දමන නියෝගය ප්‍රකාශ කරන ලදී.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) සම්බන්ධ අභියාචනාධිකරණ තීන්දුව ලබාදෙනු ලැබුයේ 2017 ජනවාරි මස 31 වැනිදාය. එම තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුව ඉකුත් අප්‍රේල් මස 07 වැනිදා කොළඹ පැවැති රැස්වීමකදී එම අභියාචනාධිකරණ තීන්දුව සම්බන්ධ විවේචනාත්මක ප්‍රකාශයක් කිරීම මඟින් රජයේවෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාසයක් කර ඇති බවට පැමිණිලි කරමින් මෙම පෙත්සම ගොනු කර තිබුණි. පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

එම පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා පත්‍රය වෛද්‍ය පාදෙනිය මහතාට විවෘත අධිකරණය හමුවේ කියවා භාරදුන් අතර එම චෝදනාවලට තමන් නිවැරැදිකරු බවට ප්‍රකාශ කිරීම නිසා අදාළ චෝදනා සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය තීරණය කෙළේය.

මෙම පෙත්සම මුල් අවස්ථාවේදී සලකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරු වෙත සිතාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් තබා ඇති සටහන් අනුව විත්තිකරු අදාළ චෝදනාවන්ට වරදකරු බවට අධිකරණය විසින් පූර්ව නිගමනයකට එළැඹ ඇති බවට විත්තිකාර වෛද්‍ය පාදෙනිය මහාතගේ නීතිඥවරු මූලික විරෝධතා ඉදිරිපත් කළහ. ඒ පිළිබඳ විභාගයක් පැවැත්වූ අධිකරණය ඊයේ (06) එම මූලික විරෝධතා ඉවත දැමීමට තීරණය කෙළේය. නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සහ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා විත්තිකාර විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා වෙනුවෙන් පෙනී සිටියහ. ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටී.

නෙල්කා මැදගෙදර 

නව අදහස දක්වන්න