දෙස් විදෙස් ආයෝජකයන් දිරිගන්වන ආර්ථික සැළැස්මක් | දිනමිණ

දෙස් විදෙස් ආයෝජකයන් දිරිගන්වන ආර්ථික සැළැස්මක්

l සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අැමැති මලික් සමරවික්‍රම ඇමැතිවරයා විසින් 2017 නොවැම්බර් 20 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැති අයවැය කාරක සභා සාකච්ඡා වටයේ දී පැවැත් වූ කතාවේ සංස්කරණයකි.

පුරාණ රජවරුන්ගේ කාලයේ පටන්ම විවෘත හා නිදහස් ගෝලීය වෙළෙඳ පාලන තන්ත්‍රයකින් සැම විටම ශ්‍රී ලංකාව වාසි අත්පත් කර ගනු ලැබීය. එබැවින් 1970 – 77 සිට හා අවසන් පාලන කාලය තුළදී ද අප දැක ඇති පරිදි එම තත්ත්වය ආපසු හැරවීමට ගන්නා ලද ක්‍රියාමාර්ග මඟින් අපේ ආර්ථික දියුණුවට නිසැකවම බාධා පමුණුවන ලදී. අප රජයේ දැඩි අවධානය යොමුවී තිබෙන්නේ රට වඩාත් ලෝකයට විවෘත කරවීම හා ව්‍යාපාර කටයුතු සඳහා ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමයි.

1977 දී තරුණ වෘත්තිකයෙක් වශයෙන් එවකට හඳුන්වා දුන් නව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ හා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ මා අසා සිටිය දී, ව්‍යවසායකයකු වීමට මා තුළ උනන්දුවක් ඇති විය. 2018 අයවැය කථාව අසා සිටි බොහෝ යෞවනයන් තුළත් එවැනිම උද්යෝගයක් ඇති වූවාට සැකයක් නැත.

පොදු යටිතල පහසුකම් හා වියදම් මත දැවැන්තව රඳා පැවතුන වර්ධන ආකෘතියක සිට පෞද්ගලික ව්‍යාපාර, අපනයන හා විදේශ සෘජු ආයෝජන කෙරෙහි අපගේ රජයේ අවධානය යොමු වී ඇත. සත්‍ය වශයෙන්ම සමහර රැකියාවන් රාජ්‍ය අංශයේ යටිතල පහසුකම් ව්‍යාපෘති මඟින් නිර්මාණය වී ඇති නමුත් හේතු දෙකක් නිසා එය තිරසාර හෝ ප්‍රමාණවත් වන්නේ නැත.

අපේ රට තුළ ඉතා ඉහළ ණය බරක් පවතින නිසා අප ප්‍රථමයෙන්ම රජයේ වියදම් සමඟ ආර්ථිකයේ වර්ධනයක් ඇති කොට ඉදිරියට ගෙන යාමට උත්සාහ කළ යුතු අතර, මේ සදහා පුද්ගලික අංශය ද අවශ්‍ය වේ. මෙහි දී මා පුද්ගලික අංශය යනුවෙන් අදහස් කළේ සියලුම ශ්‍රී ලාංකික තනි පුද්ගල ව්‍යවසායකයන් හා ව්‍යවසායන් වන අතර ඉතා විශාල සමාගම් නොවේ. පවතින ආර්ථික සංඛ්‍යා ලේඛනවලට අනුව රට තුළ තිබෙන සියලු ව්‍යාපාරික ආයතනවලින් 99% ක්ම සුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බව වාර්තා වී ඇත.

අපේ ආර්ථිකය ව්‍යවසායකයන්ගෙන් පිරී ඇති අතර, ඔවුන්ගේ ව්‍යාපාර හොඳම පරිසරයක් නිර්මාණය කිරීම සහතික කළ යුතුය. අප එවැනි පරිසරයක් නිර්මාණය කළ යුත්තේ වර්තමාන ව්‍යවසායකයන්ට පමණක් නොව අනාගත ව්‍යවසායකයන් බවට පත්වීමට අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා වේ.

දෙවනුව දේශීය ආර්ථිකය මත පමණක් නැඹුරු වූ ප්‍රතිපත්ති මඟින් ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා අපගේ දේශීය වෙළෙඳ පොළ ඉතා කුඩා වීම බාධාවකි. අපට ලෝකය සමඟ වෙළෙඳාම් කිරීමට, අපනයනය කිරීමට සහ අපට අනෙක් රටවල් පිළිගැනීම ද අවශ්‍ය වේ.

ආර්ථික සංවර්ධනයේ මේ පැතිකඩ සාර්ථක කර ගැනීමට මාගේ අමාත්‍යාංශය අපනයන, සෘජු විදේශ ආයෝජන, ව්‍යාපාර කටයුතු පහසු කිරීම, වෙළෙඳ ගිවිසුම් හා ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවය යන ක්ෂේත්‍රයන් ප්‍රවර්ධනය සඳහා නිශ්චිත ක්‍රියමාර්ග ගෙන ඇත.

 

l වෙළෙඳ කටයුතු

 

2017 ජූලි මස කැබිනට් මණ්ඩලය විසින් නව වෙළෙඳ ප්‍රතිපත්තිය අනුමත කරන ලද අතර එමඟින් සමාගම්වල හැකියාව වැඩි දියුණු කිරීම හා නවීන, නිදහස්, සරල, විනිවිද පෙනෙන හා පුරෝකථනය කළ හැකි වෙළෙඳ ප්‍රතිපත්තියක් හරහා දේශීය වෙළෙඳ පොළහි තරගකාරීත්වය ඉහළ නැංවීම මගින් අපනයන සඳහා යොමු වීම හා රැකියා උත්පාදනය උනන්දු කළ හැකිය. නව වෙළෙඳ ප්‍රතිපත්තියේ මූලිකාංග 4ක් වේ.

* දේශීය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ තුළින් තරගකාරීත්වය

* වෙළෙඳ ප්‍රවේශය හා වෙළෙඳ පහසුකම් සැපයීම

* සාර්ව ආර්ථික සමතුලිතතාවය, ප්‍රතිපත්ති හා ආයතනික අනුකූලතාවය

* ව්‍යවසායන් හා සේවකයන් ගැළපීම සඳහා සහාය වීම

අප විසින් සිදු කරනු ලබන කැපීපෙනෙන වෙළෙඳ ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් වන්නේ ද්විපාර්ශ්වික හවුල් ගිවිසුම් සඳහා මුලසිටම කටයුතු කිරීමයි. ඉන්දියාව සමඟ භාණ්ඩ පිළිබඳ නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් කරමින් එයට සේවා, ආයෝජන, තාක්ෂණය හා පුහුණුව යන අංශ ඇතුළත් කෙරේ. ඉදිරි වසර කිහිපය තුළ ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බව අපගේ සැලකිල්ලට යොමුවිය යුතු අතර, එහි මධ්‍යම පාන්තික පාරිභෝගික පදනම අපගේ දේශීය වෙළෙඳ පොළ මෙන් දස ගුණයක් වනු ඇත. දැනට ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමෙහි සාකච්ඡා වට 6ක් සාර්ථකව අවසන් කර ඇති අතර 7 වැනි වටය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය. ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ පවත්නා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ගැටලු විසඳීමයි.

මේ ගිවිසුම යටතේ වෘත්තිකයන් ස්වාධීනව සංචලනය වීමේ 4 වැනි මාදිලිය ඇතුළත් නොකිරීමට ඉතා පැහැදිළි තීරණයක් ගෙන ඇති අතර එය විවෘත නොවනු ඇත.

මේ අතර චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මඟින් ඩොලර් මිලියන 700ක් පමණ වෙළෙඳ උත්පාදනයක් ඇති කරනු ඇත. ඇගළුම් ක්ෂේත්‍රයෙන් පමණක් අමතර ඩොලර් මිලියන 400ක් ලබාගැනීමට අපේක්ෂිතය. චීන ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම සම්බන්ධව අද වන විට සාකච්ඡා වට 6ක් අවසන් කර ඇති අතර, ගිවිසුමේ පරිච්ඡේද 9 ක් අඩංගු වේ. මේ වට 6 තුළ සාකච්ඡාවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇත.

සාකච්ඡා වට 7ක් අවසන් කිරීමෙන් පසු සිංගප්පූරුව සමඟ සාකච්ඡාවල අවසානයට අප ළඟාවෙමින් සිටී. සිංගප්පුරු ආයෝජන දිරිගැන්වීම සඳහා මෙහි දී අප විශේෂයෙන් අවධානය යොමු කර ඇත.. 2018 ජනවාරී මාසයේ දී මේ ගිවිසුම අත්සන් තැබීමට නියමිතය.

තවද GSP+ නැවත ස්ථාපනය කර ඇති අතර එමඟින් භාණ්ඩ 6000 කට වැඩි ප්‍රමාණයකට වෙළෙඳ පොළ ප්‍රවේශය ලබා දෙයි.

මේ වසර මුලදී ලෝක වෙළෙඳ සංවිධානයේ වෙළෙඳ පහසුකම් සැපයීමේ ගිවිසුම අනුමත කරන ලදී. ජාතික මට්ටමින් ඵලදායී මේ සම්බන්ධීකරණයේ ප්‍රධාන සංරචකයක් ලෙස ශ්‍රී ලංකා වෙළෙඳ පහසුකම් සැපයීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික වෙළෙද පහසුකම් සැපයීමේ කමිටුවක් පිහිටුවා ඇත. මෙහෙයුම් සිදුකිරීමේ දී රේගු දෙපාර්තමේන්තුවට කඩිනමින් ක්‍රියාත්මක වීමට තනි ඉලෙක්ට්‍රොනික කවුළුවක් ස්ථාපිත කෙරේ. මේ පියවර හරහා භාණ්ඩවල දේශ සීමා පිරිවැය අඩු කිරීමටත් එමඟින් ආර්ථිකයේ වෙළෙඳ තරගකාරීත්වය වැඩි දියුණු කිරීමටත් අපේක්ෂිතය.

 

l සෘජු විදේශ ආයෝජන

 

ශ්‍රී ලංකාව සෘජු විදේශ ආයෝජන අන්තර්ග්‍රහණය කර ගැනීම අතින් දුර්වල මට්ටමක ක්‍රියාත්මක වී ඇති අතර, මාගේ අමාත්‍යාංශය ගෙන ඇති පියවර සමඟ මේ දුර්වලතාවය මඟහැරීමට හැකි වනු ඇත. ආයෝජන මණ්ඩලය තුළ අපි වර්තමානයේ දී ආයෝජන ප්‍රවර්ධනය හා ඇගයුම් මෙහෙයවන ප්‍රධාන පෙළේ පෞද්ගලික අංශයේ විශේෂඥයන්ගේ සහාය ලබාගෙන ඇත. හොඳම ආයෝජකයන් ලබා ගැනීමට හැකිවන පරිදි ඔවුන්ට වඩාත් හොඳ පහසුකම් සපයා දෙන අතර මේ අවස්ථාවන් පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීම ද සිදු කෙරේ. විදේශීය ආයෝජකයන් සඳහා අනුමැතීන් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් හා ක්‍රමවත් කොට ඇති අතර වඩා ඉක්මනින් හා විනිවිදතාවයකින් යුක්තව තීන්දු ගැනීමට හැකි වී තිබේ.

විදේශීය සෘජු ආයෝජන තුළින් තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම උදෙසා දායක වීමට සෘජු කාර්යභාර්යක් ඉටු කිරීමේ අරමුණින් ආයෝජන මණ්ඩලය විසින් නව සංයුක්ත සැලැස්මේ (2017-2020) ඉලක්ක හා අරමුණු සංශෝධනය කර තිබේ. විදේශීය සෘජු ආයෝජන ඉහළ මට්ටමකට පත්කර ගැනීමට හා ඉලක්ක ළඟා කර ගැනීමට පැහැදිලි හා නව උපායමාර්ගික ප්‍රවේශයක් මේ නව සංයුක්ත සැලැස්ම තුළින් ඉදිරිපත් කර ඇත.

2017 වසරේදී අප විසින් සිදු කරන ලද ප්‍රමුඛතම ආයෝජනය වන්නේ හම්බන්තොට සේවා මෙහෙයුම් හා කාර්මික කලාපය පිහිටුවීම වන අතර, ඒ සඳහා ආරම්භයේදී අමෙරිකානු ඩොලර් බිලියන 1.12ක ආයෝජනයක් ද ඉදිරි වසර 3 ඇතුළත තවත් ඩොලර් මිලියන 500ක පමණ ආයෝජනයක් ද අපේක්ෂා කෙරේ. මේ කලාපය චීන ආයෝජනයන් සමඟ වර්ධනය වෙමින් පැවති නමුත් අප චීන ආයෝජකයන්ගෙන් පමණක් නොව අනෙකුත් ආසියාතික රටවලින් ද ආයෝජන බලාපොරොත්තු වේ. මිල්ලනිය, මාවතගම, බිංගිරිය හා වැලිගම යන ප්‍රදේශ මීළඟ කාර්මික කලාපයන් ලෙස හඳුනාගෙන ඇති අතර විශේෂයෙන් ජපානයේ ආයෝජකයන් ඇතුළුව තායිලන්තයේ රොජානා සමාගම විසින් මිල්ලනිය කාර්මික කලාපයේ මෙහෙයුම් සිදු කරනු ලැබේ.

 

l ව්‍යාපාර කටයුතු පහසු කිරීම

 

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් හා විදේශීය ආයෝජකයන්ට ව්‍යාපාර කටයුතු පහසු කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා අපගේ අමාත්‍යාංශය මූලිකත්වය ගෙන ඇත. අප විසින් ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීමේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ලෝක බැංකුවේ තාක්ෂණික සහාය ඇතිව මාර්ග සිතියමක් සකස් කරන ලදී. පසුගිය මාස තුනක කාලය තුළ අදාළ සේවාවන් සපයන නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 8ක් ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයට අදාළ ප්‍රමුඛ ක්ෂේත්‍ර 8ක් යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

* ව්‍යාපාරයක් ආරම්භ කිරීම

* ඉදිකිරීම් බලපත්‍ර ලබාදීම

* දේපළ ලියාපදිංචි කිරීම

* ණය ලබා ගැනීම

* දේශසීමා හරහා වෙළෙඳාම

* කොන්ත්‍රාත් බලගැන්වීම

* බංකොලොත් බව විසඳීම

* සුළුපරිමාණ ආයෝජකයන් ආරක්ෂා කිරීම

මේ ප්‍රධාන ක්ෂේත්‍ර 8 යටතේ විශේෂ ක්‍රියාමාර්ගයන් පහළොවක් හඳුනාගෙන ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීමට අදාළ කාලසීමාවන් සහ වගකිව යුතු ආයතන හා ප්‍රතිඵල ද හඳුනාගෙන ඇත. එමෙන්ම එම කාර්යයන් වර්තමානය වන විට සාර්ථක අයුරින් ක්‍රියාත්මක වේ.

2018 වර්ෂයේ මැද භාගය වන විට ළඟා කර ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල අතර,සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා ගත වන කාලය දින 9 සිට දින එකක් දක්වා අඩු කිරීමට එක් දින සේවාවක් සැපයීම. (ව්‍යාපාර ආරම්භ කිරීම යටතේ)

ඉදිකිරීම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ගත වන දින ගණන 115 සිට 60 දක්වා අඩු කිරීමට විධිමත් අන්තර්ජාල පද්ධතියක් හඳුන්වා දීම සහ වර්තමානයේ දේපල ලියාපදිංචි කිරීමේ දී පියවර 9ක් කිරීමට දින 51ක් හා ඊට වඩා වැඩි කාලයක් ගත වේ. නමුත් ඉඩම් ලියාපදිංචිවීමේ ක්‍රියාවලිය ජාලගත කිරීම තුළින් ඉඩම් ලියාපදිංචි කිරීම දින පහක් තුළ පියවර දෙකකින් සිදු කළ හැකි වේ.

දීර්ඝකාලයක් බලාපොරොත්තුවෙන් සිටි ජාතික තනි කවුළු සැලැස්ම සකස් කිරීම 2018 ජූනි වන විට අවසන් කරනු ලැබේ. දේශසීමා හරහා සිදුකරන වෙළෙඳාම් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන 20කට ආසන්න ප්‍රමාණයක් ඒකාබද්ධ කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

අගමැතිවරයා විසින් 2020 වන විට අප රට ව්‍යාපාර පහසු කිරීමේ දර්ශක ශ්‍රේණිගත කිරීමවල ඉහළම මට්ටමේ ආර්ථිකයන් 70 අතරට ගෙනයාම සඳහා ඉලක්ක ගතකර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සාක්ෂාත් කර ගැනීම පිළිබඳව මේ අමාත්‍යාංශය මඟින් අඛණ්ඩව අධීක්ෂණය කරනු ලැබේ.

නිතී රීති නියාමන පටිපාටීන් වැඩි දියුණු කිරීම තුළින් වීදේශීය ආයෝජකයන් මෙන්ම දේශීය ව්‍යාපාරවලට සුදුසු ව්‍යාපාර වාතාවරණයක් ඇති කිරීමට රජය කටයුතු කරයි. මෙය අඛණ්ඩ ක්‍රියාදාමයක් වන අතර ප්‍රතිලාභ ලබා ගැනීමට යම් කාලයක් ගත වනු ඇත. එහි ධානාත්මක ප්‍රතිඵල දැනටමත් විද්‍යාමාන වේ. 2017 වසරේ මුල් භාගයේදී සෘජු විදේශ ආයෝජන, පසුගිය වසරට සාපේක්ෂව 80% ක් පමණ වැඩි වී ඇතැයි අභ්‍යන්තර වාර්තා පෙන්වා දේ.

 

l නවෝත්පාදනය හා විවිධාංගීකරණය

 

නවෝත්පාදනය සහ විවිධාංගීකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවිධාංගීකරණය කිරීම සහ වැඩිවැඩියෙන් නව්‍ය නිෂ්පාදන හා සේවාවන් නිෂ්පාදනය හා අපනයනය කිරීම අවශ්‍ය බව අප විසින් හඳුනාගෙන ඇත.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ තාක්ෂණික දායකත්වය සහිතව ආයෝජන මණ්ඩලයේ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය වසර තුළ ආර්ථිකය විවිධාංගීකරණය සඳහා දායක වීමට විදේශීය ආයෝජකයන් ඉලක්ක කර ගනිමින් නව අපනයන හා ආයෝජන අංශ හඳුනාගෙන ඇත. මේ කටයුතු ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා විසින් සෘජුවම මෙහෙයවනු ලැබේ.

තරගකාරීත්වය සහ නවෝත්පාදනය එල්ල කරගත් නව ජාතික අපනයන උපායමාර්ග සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබේ. මෙහි ඉලක්කය වනුයේ ඉහළ වටිනාකමකින් යුත්, තත්වයෙන් ඉහළ අහාර හා පාන වර්ග, බෝට්ටු, තොරතුරු තාක්ෂණ සේවා හා ඉලෙක්ට්‍රොනික උපාංග යන ක්ෂේත්‍රවල දායකත්වයෙන් ඉදිරි වසර 5ක කාලය තුළ අපනයනය ඩොලර් බිලියන 20 කින් ඉහළ නැංවීමයි. එසේම මේ ව්‍යායාමයේ සුවිශේෂී වැදගත්කම වන්නේ පෞද්ගලික අංශයේ සමීප සහයෝගීතාවය වේ. මෙහි දී ජාතික අපනයන උපායමාර්ගයේ සෑම අංශයක්ම කර්මාන්ත අංශයේ පුරෝගාමීන් 450කට අධික සංඛ්‍යාවක් සමඟ සහභාගීත්ව ප්‍රවේශයක් මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ අදහස් ලබා ගැනීමෙන් සකස් කර ඇත.

මෙහි වැදගත් කොටසක් වන්නේ කාර්යයන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමයි. මෙහිදී සෑම අංශයක් සඳහා මෙන්ම එක් එක් වෙළෙඳ සහාය ක්ෂේත්‍රයන් සඳහා ද සැලසුම් සකස් කර තිබේ. මෙය ලබන ජනවාරි සිටම ක්‍රියාත්මක වීම ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. ජාතික අපනයන ක්‍රමෝපාය යටතේ සකස් කළ යෝජනා කිහිපයක්ම මුදල් ඇමැතිවරයා විසින් 2018 අයවැයට ඇතුළත් කරනු ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා.

තවද නව අදහස් සහ නව නිෂ්පාදන හා සේවාවන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ද අප හඳුනාගෙන තිබේ. පුද්ගලික අංශයේ සහ ලෝක බැංකුවේ තාක්ෂණික දායකත්වය ද යොදා ගනිමින් ව්‍යවසායකත්ව උපක්‍රම සහ නවෝත්පාදන කටයුතු වර්ධනය කිරීමට අවශ්‍ය නව ආකෘතික රාමුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු අප විසින් සම්පාදනය කර ඇත. මෙය තාක්ෂණ, පර්යේෂණ හා විද්‍යා කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කෙරෙනු ඇත. අපනයනය අරමුණු කර ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගුණාත්මක භාවය හා තාක්ෂණය වැඩි දියණු කිරීම, නව ව්‍යාපාර ඇරැඹීම සඳහා සුදුසු වටපිටාවක් සැකසීම සහ අපනයන වර්ධනයට වැදගත් වන පර්යේෂණ හා සංවර්ධන ආයතන ප්‍රවර්ධනය හා ප්‍රගමනය කිරීම කෙරෙහි මේ උපායමාර්ග මඟින් අවධානය යොමු කරනු ලැබේ.

 

l උපාය මාර්ගිකව ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම

ශ්‍රී ලංකාව නැවත වරක් ජාත්‍යන්තර ප්‍රජාවගේ ගෞරවය දිනා ගැනීමත් සමඟ ආර්ථික වශයෙන් වැදගත් රටවල් සමඟ ආර්ථික සහයෝගිතාවය ශක්තිමත් කර ගැනීමට හැකී වී තිබේ. මෙමඟින් අපගේ වෙළෙඳ කාර්ය සාධනය වැඩි දියුණු කිරීමටත් අපගේ ජනතාවට රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීමටත් හැකියාව ලැබී ඇත. 2015 ඔක්තෝම්බරයේ දී අගමැතිවරයාගේ ජපාන සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ජපානය හා ශ්‍රී ලංකාව අතර ආයෝජන ප්‍රවර්ධන මාර්ග සටහනක් සකස් කිරීමට හැකි වූ අතර මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා ඇති අතර මේ වසර තුළ ඉහළ මට්ටමේ රැස්වීම් දෙකක් පවත්වනු ලැබීය. එමෙන්ම අපි දකුණු කොරියාව සමඟ ආයෝජන ප්‍රවර්ධන මෙන්ම තාක්ෂණය හා දැනුම හුවමාරු කර ගැනීම සඳහා ඒ හා සමාන වැඩසටහනක් දියත් කොට ඇත. තවද , මේ මස අවසන ජනාධිපතිවරයාගේ කොරියානු නිල සංචාරය තුළදී ආර්ථික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වේ.

මෑතකදී සිදු වූ ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ සංචාරයේදී වෙළෙඳාම හා ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ සහයෝගිතා වැඩසටහනකට එළඹෙන ලදී.

2017 වර්ෂයේ දී යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර ආයෝජන සංවාදය නැවත දියත් කරන ලදුව මේ වර්ෂය තුළදී වෙළෙඳ හා ආයෝජන සම්බන්ධ සාකච්ඡා වට තුනක් පවත්වන ලද අතර ගැටලු නිරාකරණය කිරීමටත් එතුළින් ද්විපාර්ශ්වීය ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීමටත් හැකිවිය.

මැයි මස වන විට ශ්‍රී ලංකාව සඳහා නැවතත් GSP + ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි වූ අතර ඒ සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ ගෞරවය ලබා ගැනීමට හැකිවීම බෙහෙවින්ම හේතු විය.

GSP+ නැවත ලබා ගැනීමේ ප්‍රතිලාභ දැනටමත් මේ රටේ ජනතාව භුක්ති විඳිමින් සිටී. මේ වසරේ මුල් මාස නවය තුළ යුරෝපීය සංගමය සඳහා අපනයනය ඩොලර් බිලියන 1.67 කින් වර්ධනය වී තිබේ. පුර්ව GSP + සමයේ ඇඟළුම් අපනයනය 2% කින් පමණ වර්ධනය වූ අතර GSP+ නැවත ලබා ගැනීමෙන් පසු මාස කිහිපයකදී එය 11.3% කින් වර්ධනය විය. පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව මත්ස්‍ය නිෂ්පාදන අපනයනය 40% කින් ඉහළ ගොස් තිබේ.

GSP+ යෝජනා ක්‍රමය හරහා නැවුම් හා සැකසූ එළවලු හා පලතුරු , පොල් නිෂ්පාදන, මුහුදු ආහාර, පිඟන් භාණ්ඩ, පාවහන් හා විශේෂයෙන් ඇඟළුම් වැනි ක්ෂේත්‍රයන් හි අපනයනකරුවන් සඳහා යුරෝපා වෙළෙඳ පොළ තුළට ප්‍රවේශවීම සඳහා වැඩි අවස්ථාවක් ලබා දේ. එමඟින් අපේ රටේ නව කර්මාන්ත ස්ථාපනය කිරීමට හා තරුණ තරුණියන් සඳහා නව රැකියා අවස්ථාවන් ඇති කිරීමට පසුබිමක් නිර්මාණය කරයි.

l ඉදිරි වසර

ඉදිරි වර්ෂයට ආදාළව අපගේ වෙළෙඳ හා ආයෝජන තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉහළ මට්ටමේ ආයෝජකයන් ගෙන්වා ගැනීමට අප අමාත්‍යාංශය බලාපොරොත්තු වන අතර, ඔවුන් විසින් වඩා හොඳ රැකියා අවස්ථා ද නිර්මාණය කිරීම සිදු කරනු ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාව ගෝලීය වටිනාකම් දාමයට සම්බන්ධ වීම සඳහා උපකාරී වනු ඇත. ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා හම්බන්තොට, මිල්ලනිය, වැලිගම, බිංගිරිය යන ප්‍රදේශවල නව ආයෝජන කාලාප ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන යොදා ඇත. උපායමාර්ගික ආර්ථික සහයෝගිතාවයන් තුළින් අනෙක් රටවල්වලටත් එහි කොටස්කරුවන් වන ලෙසට හා ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය හා ආර්ථික පරිවර්තන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ආධාර උපකාරීවීම අපේක්ෂා කෙරේ. ව්‍යාපාර පහසු කිරීම වැඩි දියුණු කිරීම තුළින් මෙන්ම නවෝත්පාදන හා ව්‍යවසායකයන්ට ධෛර්ය දීම තුළින් නව ව්‍යවසාය සංස්කෘතියක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ. මුදල් ඇමැතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘ව්‍යවසාය ශ්‍රී ලංකාවක්’ සම්බන්ධ යෝජනා අතිශයින්ම වැදගත් වන අතර, එයට සහාය දැක්වීම හා 2025 වන විට සාක්ෂාත් කර ගත යුතු අප ආණ්ඩුවේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට සියලු දෙනා සමඟම එකට කටයුතු කිරීම අපේ බලාපොරරොත්තුව වේ. අපගේ තරුණ පරම්පරාවට ඉතා විශිෂ්ට අනාගතයක් තහවුරු කර ගැනීම සඳහා දේශපාලනික භේදයකින් තොරව කටයුතු කිරීමට විපක්ෂයේ සාමාජිකයන්ට ද මම ආරාධනා කර සිටිමි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...