ගුරු උප­හා­රය වෙනු­වෙන් පිදුණු හැඟු­ම්බර උත්ත­මා­චා­රය ‘ගුරු පඬුරු’ | දිනමිණ

ගුරු උප­හා­රය වෙනු­වෙන් පිදුණු හැඟු­ම්බර උත්ත­මා­චා­රය ‘ගුරු පඬුරු’

එය ළමා මනස පිළිබඳ සියුම් විග්‍රහයකි. ගුරුවරයකුගේ භූමිකාව පිළිබඳ ගැඹුරු කතිකාවකි. සමාජය යහමඟට ගැනීම පිළිබඳ ප්‍රබල නිදර්ශනයකි. සමාජයේ කොයි කා විසිනුත් නැරැඹිය යුත්තකි.

වසර ගණනක් දිගු කථාවක්, ගෙනහැරපෑමට යන කාලය විනාඩි පහක් තරම් කෙටිය. එහෙත් ඒ තත්පර තුන්සියය අවසන්වන්නේ දුටු දුටු සියල්ලන්ගේ නෙත් කෙවෙනි බොඳ කරමිනි. තමන්ට හොරා තමන්ගේ ඇසට කඳුළු නැඟෙන අයුරු බැලීමට නම් ‘යූ ටියුබ්’ වීඩියෝ අඩවියට ගොස් ‘ගුරු පඬුරු’ නම් වීඩියෝව නරඹන්න යැයි ඔබට කියමි. එය එතරම්ම සංවේදීය. විනාඩි කිහිපයක් තුළ දිගහැරෙන මේ දර්ශනමාලාව තුළ එකදු හෝ වචනයක් පිට නොකර වචන දහස් ගණනක කථාවක් කියන්නේය. එයට අනුව, ඒ දැරිය දඟ මල්ලකි. කිසිවකුට, කිසිවකට මේච්චල් නොවුණාය. පළමුව ඇයට ද මේ පුංචි එකිය වදයක්ම විය. නමුත් ඇය තතු දැන ගත්තාය. පුංචි එකියගේ මවුපියන් ඈ හැරදා නොඑන ගමනක් ගොසින් ඇති බව ඇය දැනගත්තාය. ඇය උපක්‍රමශීලී වූවාය. පොඩිත්තිය නොදත් මවු සෙනෙහස ඇය කියා දුන්නාය. ඇය වචනයේ අර්ථයෙන්ම ගුරු ‘මවක් ’ වූවාය. ඒ ගුරු මෑණියන්ගේ සෙනෙහස, ඒ අවබෝධය ඉදිරියේ මේ දඟකාර පොඩිත්තිය මනාව දමනය වූවාය. ඇය පෙරලා සිය ගුරුමවට ආදරය කරන්නට වූවාය. ඒ කෙතරම්ද යත්, තම මවුපියන්ගේ ජීවිතය උදුරාගත් හදිසි අනතුරේදී, මව අත පැළඳ සිටි, පළුදු වූ ඔරලෝසුව හෙවත් තම මෑණියන් පිළිබඳ එකම ‘මතක වස්තුව’ ද ඇය ගුරුතුමියට තෑගි කළාය. ගුරුමවුගේ සෙනෙහස මැද ඇය මැනවින් ශිල්ප ලද්දාය. ඇය ජීවිතය ජයගත්තාය. ඇය පතිකුලයට යන දා අමුත්තන් අතර ඒ ගුරුමවද විය. පෝරුවේ චාරිත්‍ර පිණිස මනාලියගේ මවට අඬගසද්දී, මව ලෙසින් එදා ඉදිරිපත් වන්නට යෙදෙන්නේ ඒ ගුරුමවටය. එය අතිශයින් හැඟුම්බර මොහොතකි.

සත්‍ය කථාවක් පසුබිම් කරගත් මේ අපූර්ව වීඩියෝව උපදිනුයේ රේන්කෝ සමාගම විසින් ඉකුත්දා ඉටු කරන්නට යෙදුණු ජාතික යුතුකමක් වන ‘ගුරු ප්‍රතිභා ප්‍රභා’ නම් ජාතික ගුරු උපහාර උළෙල වෙනුවෙනි. රටක අනාගතය හදන, රටක ඇස් පාදන, දැවැන්ත භූමිකාවක් හිමිවන ‘ගුරු වෘත්තිය’ වෙනුවෙන් එහෙව් යුතුකමක් ඉටුවන මොහොතේ, ඒ තේමාව, අරමුණ උදෙසා ඉහළම සාධාරණය ඉටුකිරීමට ‘ගුරු පඬුරු ’ නම් මෙම රූප මාලාවට හැකිව තිබේ.

වසර ගණනාවක කථාවක් විනාඩි පහක කාලයක් තුළ, එකදු දෙබසක් හෝ නොදොඩා පැවැසීම යනු දැවැන්ත අභියෝගයකි. ඒ අභියෝගය භාරගත් ඔහු චමත් පරණවිදාන නම් යොවුන් නිර්මාණකරුවාය. මේ වීඩියෝවේ නිර්මාණ අධ්‍යක්‍ෂණය සහ සංස්කරණය සිදුවූයේ ඔහු අතිනි. 

නව අදහස දක්වන්න