බිස්නස් ටුඩේ TOP 30 ව්‍යාපා­රි­ක­යන් අග­යයි | දිනමිණ

බිස්නස් ටුඩේ TOP 30 ව්‍යාපා­රි­ක­යන් අග­යයි

බිස්නස් ටුඩේ TOP 30 සම්මාන උළෙලේ දී 2016 - 2017 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාරික කාර්යසාධකයන් හඳුනාගෙන ඇගයුමට ලක් කරනු ලැබීය. මේ සම්මාන ප්‍රදානෝත්සවයේ 20 වැනි සංවත්සරය සනිටුහන් කරමින් බිස්නස් ටුඩේ Passionate ලෙසින් නවතම කාණ්ඩයක් ඇතුළත් කරනු ලැබී තිබිණි. මෙමගින් පුරෝගාමී ව්‍යාපාරිකයෝ 13 දෙනකු බුහුමනට ලක් කෙරිණි. බිස්නස් ටුඩේ සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියයි. එමෙන්ම ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගලබොඩ ඥාණිස්සර හිමියන්ද ඒ සඳහා සහභාගී වූහ.

මේ ශ්‍රේණිගත කිරීමේදී ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගම අඛණ්ඩව අටවැනි වරටත් ප්‍රථම ස්ථානයට පත් වී තිබිණි. තිරසර වර්ධනයක් සපුරා ගැනීම සඳහා නව වෙළෙඳ පොළ උපාය මාර්ගයන් හඳුනා ගන්නා අතරම මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස සිය ස්ථාවරය පවත්වා ගැනීමට ද ජෝන් කීල්ස් සමාගම සමත්වී තිබේ. විවිධාංගීකරණය කිරීමෙන් සහ ප්‍රධාන අංශයන්හි ශක්තිමත් කාර්යසාධනයක් පෙන්නුම් කිරීම මඟින් හැටන් නැෂනල් බැංකුව දෙවැනි ස්ථානයට පැමිණීමට සමත්විය. තෙවැනි ස්ථානය හිමිකරගනු ලැබුවේ කොමර්ෂල් බැංකුව විසිනි. වේගවත් ආදායම් වර්ධනයක් පෙන්නුම් කළ ලංකා ඔරික්ස් ලීසිං සමාගම සිවුවැනි ස්ථානයට පත් විය. ඩයලොග් ඇක්සියාටා සිය ස්ථාවරය තහවුරු කර ගනිමින් පස්වැනි ස්ථානයේ රැඳීමට සමත් විය.

ලංකා දුම්කොළ සමාගම හයවැනි ස්ථානයට පත් වුණු අතර, හත් වැනි ස්ථානයේ රැඳුණේ සම්පත් බැංකුවයි. බිස්නස් ටුඩේ ශ්‍රේණිගත කිරීමට අලුතෙන් එක්වූ මෙල්ස්‍ටාකෝප් සමාගම අටවැනි ස්ථානයට පත් විය. එමෙන්ම එම මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම මෙල්ස්ටාකෝප් සමූහය යටතේ තිබෙනු දක්නට ලැබුණි. හේලීස් සමාගම නව වැනි ස්ථානයට පැමිණීමට සමත් වූ අතර, දහවැනි ස්ථානයේ රැඳුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමයි.

නෙස්ලේ ලංකා සමාගම 11 වැනි ස්ථානයට පත්වුණු අතර සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම 12 වැනි ස්ථානයට පත් විය. සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම 13 වැනි ස්ථානයේ ද හේමාස් හෝල්ඩිංස් සමාගම 14 වැනි ස්ථානයේද රැඳෙද්දී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම 15 වැනි ස්ථානයට පත් විය. 16 වැනි ස්ථානය හිමිකර ගැනීමට එයිට්කන් ස්පෙන්ස් සමාගමට හැකි වුණු අතර, ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගමට හිමිවූයේ 17 වැනි ස්ථානයයි. පිළිවෙළින් වැලිබල් වන්, රිචඩ් පීරිස් සහ සමාගම හා සෙලාන් බැංකුව 18, 19 සහ 20 යන ස්ථානයන්ට පත් විය.

21 වැනි ස්ථානයට පත්වූයේ DFCC බැංකුවයි. වසර දෙකකට පසුව නැවතත් TOP 30 සමාගම් අතරට පැමිණීමට සමත් වූ ටෝකියෝ සිමෙන්ට් සමාගම (ලංකා) 22 වැනි ස්ථානයට පත්වූයේ සිය තිරසාරකත්වය තහවුරු කර ගනිමිනි. ලංකා IOC සමාගමට හිමිවූයේ 23 වැනි ස්ථානයයි. පළමුවරට බිස්නස් ටුඩේ TOP 30 අතරට පැමිණීමට සමත් වුණු කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම 24 වැනි ස්ථානයට පත් විය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මූලික අවදානය යොමු කර ගනිමින් ඇරැඹුණ එම සමාගම මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන් අතරට එක්වීමට සමත් වූයේ තමන් එහි ශක්තිමතකු බව සනාථ කරමිනි. බිස්නස් ටුඩේ ශ්‍රේණිගත කිරීමේ 25 වැනි ස්ථානයට පැමිණීමට බුකිට් ඩාරා සමාගම සමත්වෙද්දී 26 වැනි ස්ථානයේ රැඳීමට CTහෝල්ඩිංස් සමාගමට හැකි විය. ජාතික සංවර්ධන බැංකුව 27 වැනි ස්ථානයටත් සිංගර් (ශ්‍රී ලංකා ) සමාගම 28 ස්ථානයටත් පත් විය. 29 වැනි ස්ථානය දිනාගනු ලැබුවේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවයි. 30 වැනි ස්ථානයට පැමිණි ඇක්සස් ඉංජිනියරිං සමාගමත් සමඟින් 2016 - 2017 බිස්නස් ටුඩේ TOP 30 සම්මාන එකතුව සම්පූර්ණ විය.

බිස්නස් ටුඩේ ටොප් 30 සඳහා පාදක වී ඇත්තේ 2016 දෙසැම්බර් 31 සහ 2017 මාර්තු 31 අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගම් විසින් ප්‍රසිද්ධ කරන ලද තොරතුරුය. මෙහි ඇගයුම් කටයුතු සඳහා විගණන සහාය ලබාදුන්නේ KPMG ශ්‍රී ලංකා ආයතනයයි.

ව්‍යවසායකයන්ගෙන් ලැබෙන නවෝත්පාදන අදහස් ද ශ්‍රී ලාංකේය ආර්ථිකය සවිබල ගැන්වීමට හේතුපාදක වන බව හඳුනා ගනිමින් මේ වසරේ බිස්නස් ටුඩේ සම්මාන ප්‍රදානෝත්සවයේ දී එවන් ව්‍යවසායකයන් පිරිසක් Passionate කාණ්ඩය යටතේ ඇගයීමට පත්කරනු ලැබීය. ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනඒමට සමත්වූ ඔවුන් සිය අධිෂ්ඨානය සහ නව චින්තනයන් තුළින් සිය ක්ෂේත්‍රයන්හි වෙනසක් කිරීමට සමත් වී තිබේ.

එහි දී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු වන සේ නිර්මාණ කිරීම සහ දේශීය විලාසිතාවන් ඉදිරියට ගෙනඒම වෙනුවෙන් බෙයාර්ෆුට් (1958) හි නිර්මාතෘ සහ සභාපතිනිය වන බාබරා සන්සෝනි මහත්මිය ඇගයීමට ලක් විය. ලොව රටවල් අතරින් සාර්ථක ලෙස පාරිභෝගිකයන් වෙත නිෂ්පාදනයන් රැගෙනයාමට සමත් වූ පළමු තේ නිෂ්පාදකයා ලෙසින් ශ්‍රී ලාංකේය තේ කර්මාන්තය නඟා සිටුවීමෙහිලා සුවිසල් මෙහෙයක් සිදු කළ ඩිල්මා (1974) හි නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සහ රට තුළ පරිසර හිතකාමී සංචාරක ක්ෂේත්‍රයක් ඇති කිරීමේ මූලිකත්වය ගත් කොනෙයිසොන්ස් දි සිලාන් සහ තීම් රිසෝට් ඇන්ඩ් ස්පාස් හි නිර්මාතෘ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ චන්ද්‍ර වික්‍රමසිංහ මහතා එදවස ශ්‍රී ලාංකේය තේ කර්මාන්තයේ පැවැති වාතාවරණය වෙනස් කරමින් තේ කර්මාන්තයට ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි අවස්ථාවන් උදාකරදීම වෙනුවෙන් ම්ලෙස්නා (1983) හි නිර්මාතෘ ඇන්ස්ලම් පෙරේරා මහතා පිරිමි විලාසිතා සඳහා ජාත්‍යන්තර තලයට ගිය එකම දේශීය සන්නාමය වන හමීඩියා හි 1983 හි නිර්මාතෘ ඇන්ස්ලම් පෙරේරා මහතා පිරිමි විලාසිතා සඳහා ජාත්‍යන්තර තලයට ගිය එකම දේශීය සන්නාමය වන හමීඩියා හි 1983 වසරේ සිට කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දරන ෆවුසුල් හමීඩ් මහතාද සම්මානයෙන් පිදුම් ලැබීය. මේ අයුරින් Passionate සම්මානය තවත් ප්‍රමුඛ පෙළේ පුරෝගාමී ව්‍යාපාරිකයන් කිහිප දෙනකුටම හිමි විය. 

නව අදහස දක්වන්න