සැබෑ මිනිසකුගේ කතාවක් | දිනමිණ

සැබෑ මිනිසකුගේ කතාවක්

“ඒයි, උඹ කවුද? ජර්මන්කාරයෙක් ද? ජර්මන් කතා කරනවද?” ඒ පුදුම වචන නිසා අලෙක්සේයි වඩාත් සුපරීක්ෂාකාරී විය. ළමයෙක් රුසියන් බසින් කතා කරන බව දැන් ඔහුට පැහැදිලිය.

“උඹ මොනවද මෙතන කරන්නේ?” තව ළමා හඬක් ප්‍රශ්න කළේ ය.

“මම රුසියන්කාරයෙක්. රුසියන් අහස් යානා නියමුවෙක්. ජර්මන්නු මගේ අහස් යානාවට වෙඩි තැබුවා.”

ළමයි ඔහු විශ්වාස නොකළහ. යුද්ධය ඔවුන්ට සුපරීක්ෂාකාරී වීමට උගන්වා ඇත. ඇරත් දැන් අලෙක්සේයිට බිය වීමටද හේතුවක් නැත. තමාගේ අත පය හෝ සිරුර හෝ සෙළවීමට තමාට බැරි බව අලෙක්සේයිට වැටහිණ. මීට පෙර කිසිම දවසක ඔහු මෙතරම් දුර්වල නොවීය. ආත්මාරක්ෂාව සඳහා සටන් කිරීමේ හැකියාවක් ඔහුට දැන් නැත. ඔහුගේ කළු පැහැති ඇස්වලින් කඳුළු කැට කඩා හැලිණ. ”

- සැබෑ මිනිසකුගේ කතාවක්, 32 – 33 පිටු

පරිවර්තනය දැදිගම වී. රුද්‍රිගු

නව හැවිරිදි වියේ පමණ වූ පිරිමි ළමයා ඉමහත් ආශාවෙන් තමන්ට ලැබුණු නවකතා පොතේ මුල් අඩ කියවමින් සිටියේ ය. 03 වැනි ශ්‍රේණියේ උගන්නා ඔහු තුන් කෝරළයට අයත් දෙහිගම්පල් කෝරළේ, එගොඩගොඩ පත පත්තුවේ එක්තරා කුඩා ගම්මානයක ජීවත් විය.

මේ මුළු ගමටම ඉතිරි වී තිබුණේ අක්කර 12ක් පමණි. කිසිදු කුඹුරු ඉඩමක් ගැමියන් සන්තකව නොතිබිණි. එහෙත් ගම්මානය සිව්කොණින් වසාගත් දැවැන්ත රබර් ඉඩම අක්කර 250ක් විය. එය ‘මොරලිය සමාගමට’අයත්ව තිබිණි. තවත් එබඳු සුවිසල් රබර් වතු ගණනාවක් එම සමාගමට අයත්ව තිබුණේය.

ඉතා ආශාවෙන් කියවූ නමුත්, නව හැවිරිදි දරුවාට මෙම නවකතාවේ අන්තර්ගත කාරණා තරමක් බර වැඩි විය. එසේ වෙතත්, දින කීපයක් ඇතුළත එය කියවා නිම කිරීමට ඔහු අදිටන් කර ගත්තේ ය. පොත කියවීම මදකට නැවැත් වූ ළමයා නිවසින් එළියට ආවේය. මවත්, පියාත් කිසියම් කතාබහක නියැලී හුන්හ. මල්ලිලා සහ අක්කලා කුමක්දෝ ක්‍රීඩාවක නියැලී සිනාසෙන ස්වරය ඔහුට ඇසිණි. එහෙත් ඔහුගේ සිත නවකතාවේ වීරයා වූ ‘අලෙක්සේයි’ මුහුණ දුන් භයානක ඉරණම පිළිබඳ යළි යළිත් කල්පනා විය. ගුවන් යානය කඩා වැටුණේ ‘පයින් ගස්වල’ සහ ‘දේවදාර ගස්වල’ හැප්පීගෙනය. මේ ගස් මොන වර්ගයේදැයි සිතෙන් මවා ගැනීමට ළමයාට හැකියාවක් තිබුණේ නැත. එහෙත් ඔහු රබර්, පොල්, කොස්, දෙල්, අඹ, වන සපු ගස් ගැන නම් හොඳින් දනී. කිසිදාක ගුවන්යානයක් ළඟින් දැක ගැනීමට ඔහුට අවස්ථාවක් නොලැබිණි. එහෙත් 1971 අප්‍රේල් කලබල කාලයේ නම්, අමුතු හැඩයේ ගුවන් යානා ඉතා පහතින් පියාසර කළ අයුරු ඔහු දැක තිබිණි.

ජර්මන් සේනාංකවල නපුරුකම ගැන මේ වන විටත් අවබෝධ කරගෙන සිටි ළමයාට සිය අප්පච්චි වූ ‘නිළමේ’ සහ ගමේ පැරැන්නන් පැවසූ කතාවක් මතක් විය. එය ඔහුගේ මී මුත්තනුවන් පිළිබඳ ලොමු දැහැගැන්වෙන පුවතකි.

“පුතේ ඔය සුද්දෝ වැටකොටු ගහගෙන ඉන්නෙ අ‍පේ මිනිස්සු‍න්ගෙ හේන්, ඉඩම්. අපේ හරකාබාන නිදහසේ ඔය ඉඩම්වල උලා කමින් හිටියේ. ඒත් සුද්දො අපේ රට අල්ලගෙන, මුඩුබිම් පනත ගෙනැල්ලා සේරම ඉඩම් උන්ගෙ බුක්තියට සවි කර ගත්තා. මේ වැඩේ කරන්න එනකොට උඹලගෙ මී මුත්තා විරුද්ධ වෙලා තියෙනවා. එයා ගමේ ප්‍රධානියෙක්. ඉතිං සුද්දට අණක් ගුණක් නෑ. ආං.... අර හරියෙ තියෙන ගහක බැඳලා උඹලගෙ මී මුත්තට වෙඩි තියල තියෙනවා.”

නිවස ඉදිරිපිට බෑවුම පසුකර යන විට හමුවන මාවතට ආසන්නව පිහිටා ඇති එම ‘ඝාතක බිම’ පෙන්වමින්, අප්පච්චි එසේ කියා ඇති ආකාරය ඔහුට මතක් විය. සුද්දාගේ හා ජර්මන්කාරයාගේ වෙනසක් නැතැයි නවකතාව කියවන ඔහුගේ කල්පනා වූයේ ය.

මේ වනවිට ගෙවී යමින් තිබුණේ 1974 අවුරුද්දයි. මේ කාලයේදී බලයේ සිටියේ 1970 මැයි 27 වැනිදා පැවැත් වූ මහ මැතිවරණයෙන් බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුවයි. කුඩා ළමයා ජීවත් වූ එගොඩගොඩ පත පත්තුවේ කුඩා ගම්මානය’රුවන්වැල්ල’ ආසනයට අයත් විය. එය ජයගත්තේ ලංකා සම සමාජ පක්ෂයේ නියෝජිතයා වූ ‘අතාවුද සෙනෙවිරත්න’ මහතා විසිනි.

සමගි පෙරමුණු ආණ්ඩුවෙන් මෙතෙක් පෞද්ගලික අයිතියට හිමිව පැවති ‘රන් පවුම් වතු’ ජනසතු කිරීමේ ව්‍යාපාරය දියත් කරන ලදී. ඒවා රජය සතුව පැවතීමේ ක්‍රියාවලිය සිදු වුවද, තවමත් වතු කළමනාකරුවන් වූයේ සුද්දන්ය; නැතහොත් ඔවුන්ගේ සම්ප්‍රදායන් අනුකරණය කළ උඩඟු, දේශීය කළු සුද්දන්ය. ඉහත සඳහන් කළ ‘මොරලිය සමාගමේ’ රබර් වත්තද කාලයක් පාලනය කළේ ‘රවුඩ්ලිග්’ නම් එංගලන්ත වාසියෙකි. ඔහු යටතේ උප වතු අධිකාරිවරුද, ක්ෂේත්‍ර නිලධාරිහුද ගණනාවක් සේවය කළහ. වතු අධිකාරිවරයා වාසය කළේ දැවැන්ත , සුඛෝපභෝගි බංගලාවකය. සෙසු නිලයන් සඳහා ඊට ගැලපෙන බංගලා ඉදි කර තිබිණි.

වත්තේ ආරක්ෂාව සඳහා මුරකරුවෝ රැසක්ද සේවයේ නිරතව සිටියහ. උඩු රැවුල් වවාගත්, හැඩිදැඩි පුද්ගලයන් වූ ඔවුහු උරහිසේ පිටුපස නිරතුරුව කෙටේරියක් ඇතිව සක්මන් කරන්නෝ වූහ. ඔවුන්ගේ සුරතද ශක්තිමත් මුගුරකින් සමන්විත විය. සැබැවින්ම ඔවුහුද ගැමියන්ට මහත් ආනුභාව පෑහ.

ගැමියන් ඇති කරන ගවයන්, එළුවන් වැනි සතුන් රබර් වත්තට ඇතුළු වීමට තහංචි පනවා තිබුණි. මැනවින් ගැසූ වැටකින් යුක්ත වුවද, ඇතැම් අවස්ථාවල මෙම සත්තු කෙසේ හෝ තණකොළ උලා කෑමට ‘රන් පවුම් රබර් වතුවලට’ රිංගා ගත්හ. එවිට ආනුභාව සම්පන්න මුරකරුවෝ ඔවුන් අල්ලාගෙන, වතු අධිකාරිගේ හෝ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ හෝ ආඥාව ලැබෙන තුරු කම්හල ඉදිරිපිට බැඳ දමති. එවිට අයිතිකරු‍වා ගොස් දඩ මුදල ගෙවා සතුන් නිදහස් කරගත යුතුය.

දිනක් කුඩා ළමයාගේ පියාණන් වූ ‘නිලමේ’ විසින් ඇති කරන ගවයන් කීප දෙනෙක්ද රබර් වත්තට ඇතුළු විය. මුරකරුවෝ උන් අල්වාගෙන කම්හල් මිදුලේ බැඳ දැමූහ. දඩ ගෙවා සතුන් නිදහස් කරගැනීමට ‘නිලමේ’ යාමට සූදානම් විය. එවිට ඔහුගේ වැඩිමහල් පුතණුවන් වූ නව හැවිරිදි දරුවාද ඒ ගමනට එක් විය.

මෙය වතු අධිකාරිත්වයේ සංක්‍රාන්ති සමයක් විය. මේ වනවිට ‘නිලමේගේ’ නිවස අසබඩ වතුයායට මතුගම පැත්තේ සිට පැමිණි මැදිවියට ආසන්න අයකු ක්ෂේත්‍ර නිලධාරි‍යකු ලෙස පත්වීමක් ලබා පැමිණ සිටියේ ය. ඔහුද අනෙක් නිලධාරින් මෙන් කොට කලිසම හැඳ,බත් කෙණ්ඩ දක්වා දිගු මේස් දමාගෙන, අත්කොට කමිසයකින් සැරසී සිටි අයෙකි. කලාතුරකින් මිස ඔහුද ගම්මානය වෙත පැමිණියේ නැත.

එහෙත් කුඩා ළමයාට ඒ මහතා පිළිබඳ වූයේ ප්‍රසාදජනක මතකයකි. ඔහු ඇතුළු අනෙක් ළමුන් පාසල් ගියේ මහපාර අද්දර වූ ඒ මහතාගේ බංගලාව ළඟිනි. නිරන්තර වැහි ඇදහැලෙන තුන් කෝරළයේ ළමුන්ට වැහියල්ල අරුමයක් නැත. එහෙත් පාසල් නිමා වී එන විට මහ වැහි ඇද හැලුණොත් ඔවුහු මහත්තයාගේ බංගලාවේ ආලින්දයට ගොඩ වෙති. මහත්තයා නිහතමානී මිනිසකු බව ඔවුහු දනිති. වඩාත් එඩිතර සබ‍කෝල නැති නිලමේගේ වැඩිමහල් පුත්‍රයා මහත්තයා සමඟ කතා කිරීමටද පෙළඹෙයි. ගමේ සැලකිය යුතු පවුලක් වූ බැවින් ඉඳහිට හෝ ගමේ ඇවිදින විට තිබහක් හැදුනොත් වත්තේ මහත්තයා වතුර ඩිංගක් වුව බොන්නේ නිලමේලාගේ නිවසෙනි.

“මහත්තයා ලස්සන පිංතූර පොත් එහෙම නැද්ද?”

නිලමේගේ වැඩිමහල් පුත්‍රයා එසේ අසනවිට මහත්තයා සිනාසෙයි. ඔය ළමයා පොත් බලන්ට ඒ තරම්ම කැමතිද?”

“ඔව් මහත්තයා පොත් බලන්ට හරි ආසයි”

එවිට ඉංග්‍රීසියෙන්ද මොන මොනවාදෝ දොඩන මහත්තයා යම් යම් ඉංග්‍රීසි සඟරා ළමුන්ට කියවීමට දෙයි. (ඇතැම් විට ඒවා පරිස්සමින් බලමින් ඇතැම් කොළ කඩා ඉවත් කරයි.) සඟරාවේ ඇතැම් කොළ ඉවත් කළේ ඇයිදැයි ඔහුට වැටහුණේ බොහෝ කලකට පසුවය.

එදා පියාණන් සමඟ සතුන් නිදහස් කරගැනීමට ගිය නිලමේගේ පුත්‍රයා ක්ෂේත්‍ර නිලධාරි මහතාගෙන් සුපුරුදු පැනය අසන්නට අමතක කළේ නැත. නිලධාරියාද සුපුරුදු ලෙස සඟරා කිහිපයක් ගෙන ඇතැම් කොළ කඩා ඔහු අතට දුන්නේය. ඒ සමගම ටිකක් ලොකු ප්‍රමාණයේ පොතක් ද ඔහුගේ සුරතේ විය.

“හොඳයි, එහෙනම් මෙන්න මේ පොතත් හොඳින් කියවනවකෝ. හැබැයි පරිස්සමින් කියවල මට ආපහු දෙන්ට ඕනෙ.’

ළමයා ඉමහත් ප්‍රීතියෙන් පොත අතට ගත්තේය. ‘නවකතාවක්’ යනු කුමක්දැයි නොදැන සිටියද ඒ ඔහු අතට ගත් පළමු නවකතාව විය. ‘බරීස් පලෙවොයි’ නම් ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයා දෙවැනි ලෝක සංග්‍රාමයේදී දෙපා අහිමි වුවද යළිත්, ඉමහත් දිරියෙන් ගුවන් යානා ප්‍රහාරකයකු බවට පත් වූ ‘අලෙක්සේයි මර්සියෙව්’ ගේ සැබෑ ජීවිත කතාව අළලා මේ ග්‍රන්ථය ලියන ලදී. එය ‘සැබෑ මිනිසකුගේ කතාවක්’ නමින් ලෝ පතළ විය.

එදා වතු නිලධාරියා විසින් ලබා දුන් මේ නවකථාව ‘නිලමේගේ පුත්‍රයා’ සතියක් ඇතුළත කියවා නිම කළේය. එතැන් පටන් දැඩි ලෙස සෝවියට් සාහිත්‍යයට නැඹුරු වූ ඔහු සිය ජීවන දැක්මද වඩාත් ප්‍රගතිශීලී මාර්ගයකට අවතීර්ණ කර ගත්තේ ය.

දහවැනි ශ්‍රේණියේදී වාමවාදී දේශපාලනයට ආශක්ත වූ ඔහු සරසවි ශිෂ්‍ය දිවියේදී, දේශපාලන ක්‍රියාකාරකම් නිසා අත්අඩංගුවට පත්ව වසර තුනක් සිරබත් කෑවේ ය. ජ්‍යෙෂ්ඨ ගුරුවරයකු වන ඔහු තවමත් සිය විශ්වාසය අතහැර නැත!

[email protected]


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...