පුංචි ඡන්දය පොදු ජන ඇසින් | දිනමිණ

පුංචි ඡන්දය පොදු ජන ඇසින්

පළාත් පාලන මැතිවරණය පිළිබඳ වැඩිපුර ඇසෙන්නේ දේශපාලනඥයන් පවසන මතිමතාන්තරය. ඔවුන් ගැන හා මැතිවරණ ගැන ජනතාව පවසන්නේ කුමක්දැයි දැන සිටීම රටේ දියුණුවට බලපාන බව බොහෝ දේශපාලකයන් දන්නේ නැත. එබැවින් අද දේශපාලන කොලෝසියම වෙන්වන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ අදහස් වෙනුවෙනි.මැතිවරණ ක්‍රමය ගැන මෙන්ම පත්විය යුතු පාලකයන් කෙබඳු අය විය යුතුද යන්න පිළිබඳ ඔවුන් අදහස් දැක්වූයේ මෙසේය.

   

පුංචි ඡන්දය නැතත් කමක් නෑ

ජ්‍යෙෂ්ඨ ගුවන් යානා තාක්ෂණ ශිල්පී
මහේෂ් රණතුංග

 ළඟ එන පළාත් පාලන මැතිවරණය පිළිබඳ ඔබ දැනුවත්ද?

ළඟ එන කියලා කිව්වට ඒක හරියට 'බාල ගිරි දෝෂය අද නොවේ හෙට' වගේ. කස කාරයො විතරයි. පෙරහැර නෑ. කොහොම වුණත් ඒ වෙනුවෙන් කළ බව කියන සංශෝධන පිළිබඳ මම දැනුවත්.

ඔබ පවසන්නේ මැතිවරණය කල් යන එක ගැටලුවක් ද?

දැන් කවුද මැතිවරණය ඉල්ලන්නේ? ජනතාව නෙවෙයි. දේශපාලනඥයන්. සාමාන්‍ය ජනතාවගේ මැතිවරණය පිළිබඳ කිසිම උනන්දුවක් නෑ. කිසිම කතා බහක් නෑ. උනන්දුව තියෙන්නේ ඒවයින් ප්‍රතිලාභ ලබන ඔය දේශපාලනඥයන් කියන පිරිසගේ විතරයි.

ඒත් පළාත් පාලන මැතිවරණය කියන එක වැදගත් නේද?

මම හිතන්නේ ඒ වැදගත්කම නැති වුණා. මොකද දේශපාලන නියෝජිතයෝ නැතුව සෑහෙන කාලයක් වැඩ කෙරුණානේ. මගේ අදහස නම් දේශපාලනඥයෝ නැතුව මේක දුවන්න පුළුවන්. රජයේ නිලධාරීන් ඔවුන්ගේ රැකියාව වෙනුවෙන් වැඩ කරනවා. මේ පොඩි මැතිවරණ සම්බන්ධයෙන් මිනිස්සුන්ට කිසිම අගයක් නෑ.

දේශපාලන නියෝජිතයන් නැති පළාත් පාලනය අකර්මණ්‍ය වෙලා කියලා කියනවා නේද?

කවුද කියන්නේ? රජයේ නිලධාරීන් ඉතාමත් විශිෂ්ට ලෙස ඒ කටයුතු කරනවා. දේශපාලන ඇඟිලි ගැසීම් නැති නිසා ඔවුන් නිදහසේ වැඩ කරනවා. හොඳම උදාහරණය පසුගිය ආපදා සමය. සියලු බර දැරුවේ රජයේ නිලධාරීන්. එහෙමයි කියලා වැඩ කරද්දී ෆොටෝ අරන් ෆේස් බුක් දාලා ඒකෙනුත් ලාබ ප්‍රයෝජන ගන්න ඔවුන් උත්සාහ කළේ නෑ. ඔවුන් තම රැකියාව රැක ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් හරි උපරිමය කරනවා. ඇත්තටම මේ රටේ වැඩ කරන්නේ කවුද? ඔබ, මම සහ අපි. විවිධ ක්ෂේත්‍රවල රැකියාවල නියුතු අය. අපි පඩි ගෙවන අපි වෙනුවෙන් සේවය කරනවා කියන ඔය දේශපාලනඥයෝ මොකද කරන්නේ? පළාත් සභාවේ මේස උඩ නගියි, සෙංකෝලය උස්සන් යයි, කාල ගෝට්ටි කරලා සභා වාර අවුල් කරයි. එච්චර තමයි.

අලුත් ක්‍රමයට මැතිවරණය පැවැත්වීම පිළිබඳව මොකද හිතන්නේ?

ඒක හොඳයි. ඒකෙන් අඩුම ගානේ ඒ ප්‍රදේශයට වග කියන්න කෙනෙක් ඉන්නවා. මොකද දැන් කෙනෙක් පලාත් පාලන දේශපානඥයෙක් මුණ ගැහෙන්න ගියොත් එහාට මෙහාට බෝලෙ පාස් කරලා කරඅරිනවා. මේකෙදි ඒක කරන්න බෑ. මෙතනදි පක්ෂ පාට භේදයකින් තොරව අපිට පුළුවන් වැඩ කරන කෙනෙක්ට ඡන්දය දෙන්න.

එතකොට කාන්තා නියෝජනය වැඩි වීම පිළිබඳව ඔබේ අදහස?

අවශ්‍ය දෙයක් නෙවෙයි. ඊට වඩා හොඳයි තරුණ නියෝජනය වැඩි වෙනවා නම්. කාන්තාවන් ද පුරුෂයින් ද කියන එක නෙවෙයි ගැටලුව. ඔවුන් කොතෙක් දුරට අවංක ද , ජනතා සේවය කියන එක වටහාගෙනද කියන එකයි වැදගත්.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ඔබ ඡන්දය භාවිතා කරනවද?

අනිවාර්යයෙන්ම. වඩාත් විශ්වාසවන්ත කෙනාට. ඒකෙදි සමහර විට මම පක්ෂ පාට පිළිබඳ සළකන්නෙ නැති වේවි. අනිත් එක මට නම් පරම්පරාවෙන් වැඩක් නෑ. ගොඩක් අය හිතා ගෙන ඉන්නේ ලොකු පරම්පරාවක් ඉන්න කොට වැඩ කරනවා කියලා. ඒත් ඇත්තටම වෙන්නේ වැඩියෙන් හොරකම් කරන එක.

ක්‍රිසන්ති විතාරණ

*****************

පරණ ගරු සේවය නැවත එන්න ඕනෑ

ව්‍යාපාරික සහ සමාජ සේවක
ප්‍රදීප් ඇන්තනී

 පළාත් පාලන ආයතනයකින් ජනතාව බලාපොරොත්තු වන්නේ කුමක්ද?

ඇත්තෙන්ම ජනතාව බලාපොරොත්තු වන්නේ තමන්ට සේවය කරන්න පුළුවන් ආයතනයක් බවට ප්‍රාදෙශීය සභාව නැතිනම් නගර සභාව පත් කර ගැනීම. මම හිතන විදිහට ජනතාවට ඉතාමත් සමීප ආයතනය තමයි පළාත් පාලන ආයතනය කියන්නේ. ඒ නිසා මේ ආයතන බල ගන්වා තිබීම තමයි වැදගත් වෙන්නේ. කලක් අඩපණව තිබූ පළාත් පාලන ආයතන නැවත සක්‍රීය කිරීමට වැඩ කිරීම සතුටට කරුණක්.

මැතිවරණය කල් යාම ගැන පසුගිය කාලයේ දිගින් දිගටම චෝදනා එල්ල වුණා. මැතිවරණය කල් යාම ගැන ඔබට තියෙන්නේ කුමන අදහසක්ද?

මැතිවරණය කල් යාම හෝ කල් නොයවා පැවැත්වීම බලධාරින් සතු දෙයක්. අප සොයා බලන්න ඕනැ ඇයි මැතිවරණය කල් දැම්මේ කියලා. ඒකට කුමක් හෝ සාධාරණ හේතුවක් තියෙන්න පුළුවන්.

අවුරුදු විසිපහකට වැඩි කාලයක් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වුණේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ. දැන් මැතිවරණය ක්‍රමය වෙනස් කර තිබෙනවා. නව මැතිවරණ ක්‍රමය ගැන ඔබේ අදහස කුමක්ද.?

නව මැතිවරණ ක්‍රමය බැලු බැල්මට හොඳයි. ඒත් යම් යම් දුර්වලකම් තියෙනවා. මට හිතෙනවා ගමක මුල් බැසගත් මන්ත්‍රීවරයකුට මේ ක්‍රමය තුළ දිනන්න පුළුවන්. නවකයකුට අවස්ථාව අඩු බවක් පෙනෙනවා. ඒත් ගමට වගකිය නව නියෝජිතයකු ලැබීම වැදගත් දෙයක්.

ප්‍රදේශීය නියෝජිතයකුගේ වගකීම විදිහට ඔබ දකින්නේ මොන වගේ දෙයක්ද?

නියෝජිතයකුගේ කාර්ය භාරය කියන්නේ ප්‍රසිද්ධියට උදැල්ල, සවල අරන් ඉන්න එක නොවෙයි . අවංක චේතනාවෙන් ජනතා සේවය කිරීම.

නව මැතිවරණ ක්‍රමය තුළ කාන්තා නියෝජනය සියයට විසි පහක අනිවාර්ය සීමාවකට යටත් කර තිබෙනවා. ඒ අතර මෙතෙක් පැවැති අනිවාර්ය තරුණ නියෝජනය අහෝසි කර තිබෙනවා. මේ ගැන ඔබේ අදහස මොන වගේද?

කාන්තා නියෝජනය ඉහළ දැමීම හොඳයි. කාන්තාව කියන්නේ ගෙයි මුල්ලට කුස්සියට සීමා විය යුතු කෙනෙක් පමණක් නොවෙයි. කාන්තාවට රටක, ගමක නායකත්වයට එන්න පුළුවන්කම තියෙනවා. ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි වුණේ මෙරටින්. ඉන්පසු ජනාධිපතිනියක් බිහිවුණා. ඒ නිසා අපට කාන්තා දේශපාලනය නුහුරු දෙයක් නොවෙයි.

ඒත් පසුගිය කාලයේදී කාන්තා නියෝජනය අඩු වුණා. ඒ තත්ත්වය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට වැඩ කිරීම අගය කළ යුතුයි. ඒ වගේම තරුණ නියෝජනය අනිවාර්ය කිරීම ඉවත් කර තිබෙන එක ගැන තරුණයකු විදිහට ගැටලුවක් තියෙනවා. ඒත් ජනතා සේවය අවංකව කරනවා නම් ගැහැනු - පිරිමි භේදයක් තරුණ - මහලු භේදයක් අවශ්‍ය නැහැ. මම නිතරම හිතන්නේ ජනතා සේවය අවංකව කළ යුතුයි කියලා. අපි අහල තියෙනවා එදා ගම් සභා මැම්බර් මහතා ඉටු කළ ගරු සේවය ගැන. ඒ ගරු සේවය අද වෙද්දී විනාශ වෙලා තියෙන්නේ. මෙවර මැතිවරණයෙන් දිනන අය නැවත උත්සාහ කළ යුතුයි මේ ගරු සේවය ඇති කිරීමට.

උදිත ගුණවර්ධන

*******************

එහෙයියො හෙන්චයියො තෝරන්න එපා

බස්නාහිර පළාත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු
ජී. විමලසේන පෙරේරා

 සාමාන්‍ය පුරවැසියෙක් ලෙස පළාත් පාලන ආයතනවලින් වන සේවය ගැන ඔබ තෘප්තිමත් ද?

කිසිසේත්ම නැහැ. විශේෂයෙන් සඳහන් කළොත් අපේ පළාත්වල පළාත් පාලන ආයතනවලට වරිපනම් බදු ගෙවනවා. නමුත් එම බදුවලට උපරීම සේවය ලැබෙන්නෙ නෑ. අඩුම වශයෙන් කුණු ටිකවත් නිසි පරිදි එකතු කරගෙන යන්නෙ නෑ. පාරේ-තොටේ විදුලි කණුවක බල්බයක් පිච්චුණත් වෙලාවට දාන්නෙ නෑ. පළාත් පාලන ආයතනවල ඔය වගේ ගැටලු හරියට තියෙනවා.

වර්තමානය වන විට පළාත් පාලන ආයතන ජනතාවට එපා කරවලා තියෙන්නෙ. බොරුවට අර නියෝජිතයා මේ නියෝජිතයා කියලා ඇවිල්ලා සාකච්ඡා කරලා අරවා කරනවා මේවා කරනවා කියලා යනවා. නමුත් කිසි දෙයක් වෙන්නෙ නෑ.

පළාත් පාලන ආයතනවලින් විය යුතු සේවය ගැන මහජනයා දැනුවත් ද?

ඇත්තටම මහජනයා පළාත් පාලන ආයතනවලින් විය යුතු සේවය ගැන එතරම් දැනුවත් නැහැ. දේශපාලනඥයන් කියන දෙයින් තමයි මහජනයා දැනුවත් වෙන්නෙ. මේ ආයතනවලින් මොනවද කරගන්න පුළුවන්, මොනවද කරගන්න ඕන, කොහොමද කරගන්නෙ කියන දේ ගැන මහජනයාගේ දැනුවත් බව අඩුයි. එවැනි නොදැනුවත් අවස්ථාවලදී මහජනයා වැඩ කරගන්නෙ නිලධාරියෙක් හෝ දේශපාලන නියෝජිතයකු මාර්ගයෙන් හරි අල්ලසක් දීලා.

මහජනයාට හිතකර සේවයක් පළාත් පාලන ආයතනයකින් විය යුත්තෙ කොහොමද?

මෙහෙමයි ජනතාවට ප්‍රදේශයට අවශ්‍ය සෑම යටිතල පහසුකමක් වගේම මහජනයාගේ දෛනික කටයුතු ගැනත් සාකච්ඡා කරලා එම පෙදෙස්වලට පැමිණ දේශපාලන නියෝජිතයන් සොයා බැලිය යුතුයි. කිසිම මහජන නියෝජිතයෙකුගේ අවධානයකට ලක් නොවන ගම්වල සමහර තැන් විනාශ වෙලා, ජරාජීර්ණ වෙලා. එවැනි තැන් ගැන වහාම අවධානයට ලක්විය යුතුයි.

පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් ලෙස පත්කර ගත යුත්තෙ කුමනාකාර පිරිසක් ද?

ගම පිළිබඳ ඉතා යහපත් හැඟීමක් තිබෙන ගමේ ජනයා ගැන ආදරයක් කරුණාවක් තියෙන දූෂණයෙන් තොර පිරිසක් තමයි යැවිය යුත්තෙ. සොරුන්, තක්කඩින් මෙවැනි ආයතනවලට යැවීම සුදුසු නෑ. මහජනයා හොඳින් දැනුවත්ව අතීතයෙන් පාඩම් උගෙන කටයුතු කළ යුතුයි.

ගමේ මහජනයා සමඟ නිරන්තරව ගැටෙමින් සුහදශීලීව හැසිරෙන අයයි මෙවැනි මහජන නියෝජිතයෝ ලෙස පත්කරගත යුත්තෙ.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයෙන් මහජන නියෝජිතයන් ලෙස පත්වන අයට පවසන්නෙ කුමක්ද?

පළමුවැනිම කාරණය තමයි අවංක විය යුතුයි. අනෙත් කාරණය තමයි ගම්-ගොඩේ තියෙන ගැටලු හඳුනාගත යුතුයි. එම ගැටලුවලට පළාත් පාලන ආයතනයෙන් ලබා දෙන්න පුළුවන් උපරීම උදවු උපකාර මේ නියෝජිතයන් ලබාදිය යුතුයි. තමන්ගෙන් විය යුතු සේවය මනාව වටහාගෙන තමන්ට තමන්ගේ ඥාති වරිගයාට පක්ෂයට පමණක් සේවය නොකොට මහජනයාගේ සේම ගම්වල පොදු ගැටලු හඳුනාගෙන අවංකව සේවය කරන්න. එතකොට ගමේ පමණක් නොව රටේම ප්‍රශ්න ටිකෙන් ටික අඩුවෙලා යාවි.

අලුත් මැතිවරණ ක්‍රමය ගැන මොකද හිතන්නේ?

පත්වෙන්නේ හොරු නම්, මොන මැතිවරණ ක්‍රමය ආවත් වැඩක් නෑ. මැතිවරණ ක්‍රමයත් හොඳ වෙන්න ඕනේ තමයි. ඒත් වඩා වැදගත් රට ගැන හැඟීමක් තියෙන රටට වැඩක් කරන්න පුළුවන් උගත් බුද්ධිමතුන් මේ ආයතනවලට යෑම.

තරුණ නියෝජනය ඉවත් වීමත් කාන්තා නියෝජනය වැඩි වීමත් ගැන මොකද හිතන්නේ?

තරුණ නියෝජනය තිබුණා නම් තමයි හොඳ‍. ඒ අයට අලුත් අදහස් තියෙනවා. ඒ වගේම කාර්යක්ෂමයි. හැබැයි ඉතිං කාන්තාවන් ආවත් තරුණයෝ ආවත් ඒ අය හිටපු හෝ ඉන්න දේශපාලකයන්ගේ හිතවත්කම් මත ඥාති සම්බන්ධකම් මත එන එහෙයියෝ ටිකක් නම් ඒකෙන් වැඩක් වෙන්නෙත් නෑ. සමස්ත ආකල්ප වෙනසක් එක්ක තමයි මේ හැමදේම වෙන්න ඕනේ.

අමිල මලවිසූරිය

******************

පුංචි ආණ්ඩුවලට බුද්ධිමතුන් යවන්න

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සහකාර විදුහල්පති
ඒ. එම්. ටී. බී. අබේකෝන්

 මෙරට පළාත් පාලන ආයතන ව්‍යුහය ඔබ දකින්නේ කෙසේද?

පළාත් පාලන ඉතිහාසය 1865 වසර දක්වා දිව යනවා. ඒ වසරේ තමයි ප්‍රථම වරට මෙරට නගර සභාවක් බිහි වන්නේ. එදා මෙදා තුර මේ පළාත් පාලන ආයතන මගින් යම් සේවාවක් ජනතාවට සිදු වී තිබෙනවා. එය ජනතාවගේ පැත්තෙන් ගත්තම ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රමාණය නොවෙන්නට පුළුවන්. එහෙත් පළාත් පාලන ආයතන කියන්නේ ජනතාවට සමීපතම ආයතන.ඒ වගේම මේ ආයතන හරහා රටේ දෙවැනි පෙළ නායකත්වය බිහි කිරීම මෙහි තවත් අරමුණක්.

වර්තමානය වන විට ඔබ ඔය කියන ආකාරයේ දෙයක් පළාත් පාලන ආයතන තුළින් සිදු වෙනවාද?

මෑත කාලය ගත් කල ජාතික දේශපාලනයට පැමිණි බොහෝ දෙනෙක් පළාත් පාලන ආයතන තුළින් ඉදිරියට පැමිණි අය.

බොහෝවිට එම අයතනයේ සභාපති හෝ නගරාධිපතිගේ දක්ෂතාවය මත තමයි මෙම ආයතනවල සේවාව සිදු වන්නේ. දැන් බලන්න මෙම ආයතනවලට රජය වෙන් කළ මුදල් කොතරම් ප්‍රමාණයක් ආපහු භාණ්ඩාගාරයට ගොස් තිබෙනවද? ඒ වගේම මේ ආයතනවල යම් වැඩ කොටසක් කරනවා නම් වසරේ මුල් කාලයේ ඒවා බොහොමයක් කරන්නේ මන්දගාමීවයි. මේ අය එක පාරටම සංවර්ධනය පටන් ගන්නේ ඔක්තොම්බර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවල . ආයතනවලට ලැබී තිබෙන මුදල් ටික හැකි ඉක්මනින් අවසන් කිරීම තමයි මෙහි එකම බලාපොරොත්තුව. උගතුන් බුද්ධිමතුන් මේ ආයතන තුළ වැඩි වශයෙන් නියෝජනය නොවීම තමයි මීට හේතුව.

නව මැතිවරණ ක්‍රමය හරහා කොට්ඨාස ක්‍රමයට අමතරව ලැයිස්තු ක්‍රමයක් තිබෙනවා නේද? එය එය උගතුන්ට බුද්ධිතුන්ට අවස්ථාවක් වෙයිද?

එහෙම කියන්න බැහැ. පාර්ලිමේන්තුවටත් ජාතික ලැයිස්තු ක්‍රමය හදුන්වා දුන්නේ ඔය අරමුණින්. නමුත් අද ඒ අරමුණ ඉෂ්ඨ වන්නේ නැහැ.

අද ඉන් පාර්ලිමේන්තු යන්නේ පරාජිතයන්, ව්‍යාපාරිකයන්, දූෂිතයන් මිසක් උගතුන් බුද්ධිමතුන් නොවේ. පක්ෂ නායකයන්ට අවශ්‍ය අයයි එයට ඇතුළත් කරන්නේ.

ප්‍රදේශීය සභා නගර සභාවලත් ඕකම සිද්ධ වෙයි. එක පැත්තකින් උගතුන්, බුද්ධිමතුන් ඔය ස්ථාන ප්‍රතික්ෂේප කරනවා. මොන පක්ෂයෙන් ගියත් ඒ අයට සිය මතය ගෙන යාමට බහුතර බලයක් නැහැ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා හදුන්වා දෙන නව මැතිවරණ ක්‍රමය ඔබ දකින්නේ කෙසේද?

අලුත් ක්‍රමයක් ගෙන එන්නේ පැරැණි ක්‍රමයේ දුර්වලතා නිසයි. හැබැයි මේ ක්‍රමය අපිට ආගන්තුක නැහැ. ඒ වගේම ලැයිස්තු ක්‍රමය අපට ආගන්තුක නැහැ. මේ මිශ්‍ර ක්‍රමයේ අඩුපාඩු අපි දකින්නේ තව කාලයකින්. භාවිතයත් එක්ක තමයි අපිට හොඳ නරක දකින්නට ලැබෙන්නේ. කොට්ඨාසයට වග කියන මන්ත්‍රීවරයෙක් සිටීම එක් පැත්තකින් හොඳයි.

කාන්තා නියෝජනය ඉහළ නැංවීම හා තරුණ නියෝජනය නැති වීම ගැන මොකද හිතෙන්නේ?

කාන්තා නියෝජනය ඉහළ නැංවීම ඉතා හොඳයි. රටේ 54% ක් කාන්තාවන් සිටියත් දේශපාලනයේ ඉතා අඩුයි. අපි දැක්කා පසුගිය කාලයේ සමහර පළාත් පාලන ආයතන නියෝජනය කරන්න කිසිම කාන්තාවක් සිටියේ නැහැ. පැවැති තරුණ නියෝජන ප්‍රතිශතය ඉවත්වීම හරහා අත්දැකීම් ලබා ගනිමින් බොහෝ දෙනෙකුට මේ ආයතන හා එක්වීමට අවස්ථාව අද ලැබී තිබෙනවා. තරුණ නියෝජනය අඩු වෙනවා කියන්නේ අත්දැකීම් බහුල පිරිසට වැඩි අවස්ථාව ලැබෙනවා කියන එකයි.

 ඉන්දික පොල්කොටුව 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...