මනෝ විද්‍යාෙව් CID හාස්කම් | දිනමිණ

මනෝ විද්‍යාෙව් CID හාස්කම්

මනෝ වෛද්‍යවරයාට හිතන මහත්තයාගෙන් තර්ජනයක්

සෑම දිනකම උදේ 9ට හා සවස 4ට පමණ දෙවාරයට පැය දෙක බැගින් පුලාස්තිගේ නැන්දනිය හෝටල් තට්ටු නිවාස සංකීර්ණයේ නිවසින් එළි පහළියට බසින්නීය. ඉන්පසු ගඟ අසබඩ බංකු මත සිටින තම යෙහෙළියන් හා අල්ලාප සල්ලාපයේ යෙදෙයි. නැතිනම් අසල අවන්හලට ගොස් යමක් තොල ගායි.

වියපත් කාන්තාව නිවසින් පිටවී විනාඩි කිහිපයකින්, පුලාස්ති, නිවසේ කුඩා ගබඩා කාමරයේ කිසියම් දෙයක් රහසින් අවුස්සනවා දෙබිත්තිය ඔස්සේ අල්ලපු ගෙදරට ඇසේ. ඊළඟට සැක උපදවන විකාර ශබ්දයක් පටන් ගනී. ලෝහ තැලීම් සමඟ ලෝහ ගැටීම් හඬ සමඟ ලෝහ සූරන හඬක්ද මිශ්‍ර වේ.

මේ සියලු හඬ සැණින් නිම වන්නේ පුලාස්තිගේ නැන්දණිය පෙරළා නිවසට පැමිණීමත් සමඟය. තවත් ඉතා කෙටි කාලයක් ‘දඩ බඩ’ ශබ්දයක් මේ ගබඩා කාමරයෙන් ඇසේ. ඒ සමඟ නිශ්ශබ්දතාවය රජකරයි. නැන්දනියගේ පැමිණීමත් සමඟ පුලාස්ති කිසියම් දෙයක් සඟවනවා වැනිය.

පුලාස්ති ගැන මේ සියලු දේ නිරීක්ෂණය කරමින් සිටියේ අල්ලපු ගෙදර පදිංචි පොලිස් ඔත්තු කරුවාය. උමතු බෝම්බයාගේ සිද්ධිය පුපුරා යෑමට පෙර මාස කීපයක් තුළදීම පුලාස්තිගේ මේ ගුප්ත ශබ්ද ඔත්තුකරුට ඇසුනත් ඔහු ඒවාට කන් දුන්නේ අලස කමෙනි. ඒත් දැන් ඔහුට මේ ශබ්ද ඇසීමට කිසිදු කම්මැලි කමක් නැත.

තට්ටු නිවාසයේ පදිංචි අනෙක් අය සමඟද මේ පිළිබඳ කතා කිරීමට ඔත්තුකරුවා උනන්දු වූ අතර විශේෂයෙන්ම එහි පිළිගැනීමේ නිලධාරිනියගෙන් පුලාස්ති පිළිබඳ වං හුං සොයන්නට විය. ඇය පැවසූ ආකාරයට පුලාස්ති නිතරම එළි බැස්සේ තරමක් සවස් වීය. බොහෝ විට මෙය කෙරුණේ නැන්දණිය නිවසින් පිටවූ කලය. මෙලෙස පිටවන ඇතැම් දිනවල ඔහු යමක් පුරවාගත් බ්‍රවුන් පේපර් බෑග් එකක් කිහිලි ගහගෙන යයි. මධ්‍යම රාත්‍රියද පසුකර ඔහු ආපසු පැමිණෙන්නේ එම බෑග් බොහෝ සේ හිස් කර ගෙනය.

දිනක්, පුලස්ති හා සුහද කතා බහක යෙදෙමින් සිටි පිළිගැනීමේ නිලධාරිනිය නිකමට මෙන්, ඔහු කිහිල්ලේ ගසාගෙන යන බෑගය ගැන විමසා ඇත. සපත්තු ජෝඩුවක් හදාගන්න යනවා යි ඔහු ඊට පිළිතුරු දී ඇත්තේ සැහැල්ලුවෙනි. එහෙත් පුදුමය වන්නේ පුලාස්ති සැහැල්ලු කැන්වස් පාවහන් හැර, හරබර පාවහන් පලඳිනු කවරෙකු හෝ දැක නොතිබීමය.

පුලාස්ති රැකියාවක් කරන බවක් නොපෙනුණත් තට්ටු නිවාස කුලිය නොපමාව ගෙවන අතර හයමාසයක අත්තිකාරම් ගෙවූ අවස්ථාවන්ද තිබී ඇත. ඔහු හැම දෙනාටම ප්‍රසන්න හා විනීත වූ අතර සම්බන්ධ වූ කවරෙකු හා සමඟ පිළිසඳරේද යෙදෙයි. නමුත් තමා දරුණු ලෙස රෝග කෙරූ ඒ විදුලි සැරය ගැනම නැවත නැවත කියනවා මිස තමා සම්බන්ධයෙන් වෙනත් කිසිම දෙයක් සමඟ කටෙන් කෙළ පොදක් හෝ පිට කරන්නේ නැත.

දීර්ඝ කාලයක් දුස්කර ක්‍රියාවේ නියැලි පොලිසියට, පුලාස්ති පිළිබඳ ඔත්තුව ප්‍රමාණවත් වටිනාකමක් ගෙන දුන්නේය. ඔහු පිළිබඳ සියලු කාරණා තිතට, නිවැරදි දිශාවට වැඩ කරයි. එහිදී වයස, ස්ලාව් ජාතිකත්වය, වියපත් ඥාතිවරියක සමඟ වාසය කිරීම, වැනි කාරනාද ටක්කෙටම නිවැරදිය. බෝම්බකරු පිළිබඳව මා ඉදිරිපත් කළ කාරනා හා ස්වරූපය පුරෝකතනය පොලීසිය විසින් උමතු බෝම්බයාට පමණක් නොව සෙසු රහස් පරීක්ෂණ කටයුතුවලදී ද ප්‍රයෝජනයට ගත් බව මා පවසා සිටියේ පම්පෝරියකට නොවේ. නමුත් මගේ අනාවැකි හා චරිත ගති ලක්ෂණ පුද්ගලයෙකු තුළ දුටු විට ඔහු පිළිබඳ පොලීසියේ සැකය වර්ධනය වීම හේතුවෙන් කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ද මතු විය.

එක් දිනක, සවස 3.30 පමණ රහස් පරීක්ෂකයින් දෙදෙනෙක් හෝටල් තට්ටු නිවාසයට පැමිණියේය. ඔවුහු තම වියපත් ඔත්තුකරුවාගේ නිවසේ වාඩිවී, පුලාස්තිගේ නන්දණිය කාල රටාව අනුව පිටවී යන තෙක් නිහඬව උන්හ.

‘ඔන්න දැන් සද්දෙ පටන් ගනියි!’ මැහැල්ල දොර ඇද වසා ගනිමින් පිටව යනවාත් සමඟම ඔත්තුකරුවා රහසින් කීය. එය එසේම සිදුවිය. බිත්තිය එහා පැත්තේ ගබඩා ගාරයෙන් අවුස්සන, පෙරළන සද්දය ඇසෙන්නට විය. කෙටි නිහඬතාවයකි. ඊළඟට ලෝහ තැලෙන හඬ හා යකඩ සූරණ හඬ.

රහස් පරීක්ෂකයින් දෙදෙනා එළියට පැමිණ, පුලාස්තිගේ දොරට තට්ටු කළහ.

‘කවුද මේ...’ පුලාස්ති විමසීය.

‘අපි පොලීසියෙන්. කරුණාකරල දොර අරින්න’

‘තත්ත්පර කීපයක් යන තුරු දෙපැත්තේම නිහඬතාවය රජ කරන්නට විය. විශ්මයෙන් හා අතීරනාත්මක බවින් පුලාස්ති තුෂ්නිම්භූතව ගල් විය. එහෙත් නිමේෂයකින් තීන්දුවක් ගත් ඔහු අනවශ්‍ය තරමේ ශබ්දයක් නිකුත් කරමින් දොර යාන්තමට විවර කළේය. ‘මොනවද ඔබලට අවශ්‍ය?’

එක් රහස් පරීක්ෂකයෙක් තමා හා තම සගයා හඳුන්වා දෙන අතරම ඉතා විනීත ලෙස ඇතුළට එන්න දැයි පුලාස්තිගෙන් විමසා සිටියේය. පුලාස්ති අදිමදි කරමින් කල් මරන්න සූදානම් වනවා දුටු රහස් පරීක්ෂකයින් පැවසුවේ, මේ තට්ටු නිවාසයේ කිසියම් හොරකමක් සිදුවී ඇති බවත්, තමන්ගේ පරීක්ෂණ සඳහා සහයෝගය ඉල්ලා සිටින බවත්ය.

පුලස්ති තමන්ගේ නොමනාපය උරහිස් නැටවීම ඔස්සේ දක්වමින් දොර පුළුල්ව විවර කළේය.

බිම කාඩ්බෝඩ් පෙට්ටි කිහිපයක් එකමත එක තබා තිබුණි. මිටි, අඬු හා අනෙකුත් මෙවලම් ද ඒ අතර විය. ඊට මදක් ඈතින් හකුලන මේසයකි. එය මත, රෙදි වැල් සඳහා යොදාගන්නට කම්බි; ලෝහ කාසි, ඇළුමිනියම් තහඩු කැපීමෙන් ඉවතලන ලද සුන්බුන් පතුරු හා අතිශය කුඩා තඹ පයිප්ප කැබලි ද විය.

‘මම මේව හදනව දකිනකොට, මගේ පවුලෙ අය මට හිනා වෙනව’ පුලාස්ති පසුව එය විස්තර කළේය. මේවා නිසා මම බොහොම ලැජ්ජාවට පත් වන නිසා, මම වැඩ කරන්නෙ බොහොම රහසින්. මම මේවා ග්‍රීන්විච් ගමට විකුණනවා’.

ඔහු සිනාසුනේ දුකෙනි. කිසියම් රසවතකුට හරි කලාගාරයකට හරි මගේ සිහිනය ඇස ගැසුණොත් එක රැයින්ම මම ප්‍රසිද්ධ පොහොසතෙක්. එතකොට මට මේ මූර්ති මගේ කාලය කොහොමත්ම නාස්ති කළේ කියාල පවුලෙ අයට කියන්න පුළුවන්. තාමත් මගේ බලාපො‍රොත්තුව ඉෂ්ඨ වුණේ නෑ. හැබැයි ඒ දවස උදාවෙනකම්ම කාටත් හොරෙන් මම මූර්ති හදනවා. හැමෝම වගේම නැන්දත් ‍ෙම් වැඩ ගැන මට හිනා වෙනව. ඒක තමයි මට උහුලන්නම බැරි.”

මේ විස්තරය කියන අතර, ඔහු තම කුඩා මූර්ති හා මෙවලම් පෙට්ටිවල පිළිවෙලට අසුරා ඔහුගේ ඇඳුම් අල්මාරියේ උඩ තබන අයුරු රහස් පරීක්ෂකයින් දෙදෙනා හිස් බැල්මෙන් යුතුව බලා උන්හ.

ඔහුගේ අස්පස් කිරීම අවසන් වනවාත් සමගම නැන්දණිය පෙරළා නිවසට ඇතුළු වූවාය.

රහස් පරීක්ෂකයින් තමන් ඇයට හඳුන්වා දුන්හ. ‘මොකක් හරි කරදරයක්ද?’ ඇය නොසතුටින් විචාලාය.

එක් රහස් පරීක්ෂකයෙන් කිසියම් තිගැස්මක් සහිතව උගුර පෑදුවේය. ‘ඔව් මැඩම්, මේ ගොඩනැඟිල්ලෙ සිද්ධ වුණු හොරකමක් ගැන තොරතුරු හොයනවා. අපි නිකමට වගේ හිතුව; පුලස්ති මහත්තය, එහෙම නැත්නම් ඔබ තුමිය ළඟදි අමුත්තෙක් එහෙම දැක්කද කියල අහන්න.

පුලස්ති ඉතා උණුසුම් ලෙස රහස් පරීක්ෂකයින්ට අතට අත දුන්නේය. ඔවුන් පිටවී ගියහ.

මෙලෙස රස්තියාදු ගැස්සවූ ඔත්තු ගණනාවක්ම පොලිසියට ලැබෙන්නට විය. එයින් තවත් සිද්ධියක් මෙසේය. එක්තරා කාන්තාවකට තැපැල් මඟින් හතරැස් පාර්සලයක් ලැබී ඇත. එහි ආපසු ලිපිනයක් නොමැත. එහි ඇතුළතින් ටික් - ටික් ශබ්දයක් ඇසේ. පාලනය කරගත නොහැකි චිත්තවේගී කැළඹීමකට (හිස්ටීරියා තත්ත්වයකට) පත්වූ ඇය පාර්සලය ගැන පොලීසියට දැනුම් දුන්නාය. බෝම්බ නිෂ්ක්‍රීය අංශයෙන් නිලධාරීන් ආරක්ෂිත ඇඳුම් ඇඟලාගෙන ඉතාමත් පරෙස්සමෙන් පෙට්ටිය විවර කළෝය.

එහි තිබුණේ වෙලාව වදින සාමාන්‍ය ඔර්ලෝසුවකි. ඔර්ලෝසුව දකිත්ම, කාන්තාවට තරමක ලැජ්ජාවක්ද ඇතිවී යමක් සිහියට නැගුණි. මීට මාස කීපයකට පෙර ඇය විසින් මේ ඔර්ලෝසුව නිෂ්පාදකයා වෙත යවන ලද්දේ අලුත් වැඩියාවක් සඳහාය. නමුත් උමතු බෝම්බයාගේ සිද්ධි ගැන ඕනවාට වඩා හිතටගෙන සිටි ඇයට තමාගේම ඔර්ලෝසුව අමතක විය. මේ තීරණාත්මක සති කිහිපයේදී නිව්යෝර්ක් නුවර වැසියන්ගේ මානසික මට්ටම තීන්දු කිරීම සඳහා ආදර්ශිත සිද්ධි කිහිපයක් එසේය.

උමතු බෝම්බයාගේ සැබෑ බෝම්බවල කිසිදු ඡායාරූපයක් මාධ්‍යයට මුදා නොහැරීමට පොලිසිය ප්‍රවේසම් සහගත වූ නිසා, බොරු බෝම්බ කරුවන්ගේ අනුකරණ ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණි. බෝම්බකරු ‍ෙමන් අන් කිසිවෙකුට තම බෝම්බ ප්‍රශස්ථ මට්ටමින් නිපදවීමට නොහැකි විය. ඒ, ඔහුගේ හස්තකර්මාන්තයේ අතිවිශිෂ්ඨභාවය නිසාමය.

ඇතැම් රහස් පරීක්ෂකයින්, උමතු බෝම්බයා ප්‍රසිද්ධිය පතා බෝම්බ පුපුරන කතාව විශ්වාස කළේ නැත. හෙම්බත් වීමෙන් පසු තවදුරටත් ඔහු මේ වැඩේ නොකරණු ඇතැයිද ඔවුහු විශ්වාස කළහ. එහෙත් මගේ සිද්ධාන්තය මොවුනට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විය නිශ්චිත වශයෙන්ම, මගේ සිද්ධාන්තය වූයේ ඔහුගේ සුපිරි මමත්වයට එල්ල කළ ප්‍රහාරයට, කවරාකාරයකින් හෝ ඔහු ප්‍රති ප්‍රහාර දෙන බවය.එය ඔප්පු කරමින් ඔහු තවත් පිපුරුම් මාලාවක් ඇරඹීය. එය ඔහුගේ ඉංජිනේරු කර්මාන්තයේ දස්කම්ද විදහා දක්වන්නක් විය.

නත්තල් දිනට පෙර දින සවස 1. 30 මහජන පුස්තකාල ගොඩනැඟිල්ලේ තිබී එක් බෝම්බයක් සොයා ගන්නට ලැබුණි. ඊට දින හතරකට පසු එක් අපරභාගයක 2.30ට පමණ පැරමවුන්ට් රඟහලේදී තවත් එකක් සොයා ගැනිණ.

ගර්හාවෙන් යුතු ඇනුම්පද වැලක් සෘජුවම පැමිණියේ මගේ දුරකතනය ඔස්සේය. එවිට වෙලාව උදෑසන 10.30ට පමණ ඇත. ඒ පෙ‍රදා මුළු රාත්‍රියේම මනෝවෛද්‍ය සේවා කටයුතුවල යෙදී සිට නිවසට පැමිණ සිටියදීය.

‘හලෝ’ මම ඇමතුම පිළිගතිමි.

‘මේ මනෝවෛද්‍ය බුසල්ද?’ ශාන්තව, විශ්වාසයෙන් යුතුව හා පාලනය කළ වචන සමඟින් විමසීය.

‘ඔව්, මේ වෛද්‍ය බුසල්’

‘මේ සා.මි. කතා කරන්නෙ. කෝල් එක කට් කරන්න එපා. එහෙම් කළොත් පසුතැවෙන්න වෙයි.!

‘මගේ මේ දුරකතනය ලැයිස්තු ගත නොකළ එකකි. එහෙයින් මගේ රෝහල් සේවාවෙන් පසුව නිවසේ ගත කරන ඕනෑම විටෙක, අවශ්‍ය කෙනකුට කතා කළ හැකි වන්නේ, කුවීන්ස් විලේජ්හි ක්‍රීඩ්මුඅර් රාජ්‍ය රෝහලෙහි දුරකතන ක්‍රියාකරවන්නා ඇමතීමෙන් පසුව පමණි. ඔහු අසල පිහිටි ම‍ගේ නිවසේ දුරකථනය අමතන්නා සම්බන්ධකර තිබුණි.

ඇත්තටම, මේ දුරකතනය සවි කළේ ප්‍රාදේශීය පොලීසියේ අනුග්‍රහයෙනි. එයින්, මට එන සැක සහිත ඇමතුම්වලට පොලීසියට කන්දිය හැකිය. එසේ වන්නේ ආ‍රෝග්‍ය ශාලාවේ දුරකථන ක්‍රියාකරවන්නා මඟින් අමතන්නා මද වේලාවකට රඳවා තබමින් පොලිසියේ සහ මගේ නිවසේ දුරකතන දෙකටම ඔහු සම්බන්ධ කිරීමෙන් පසු සංවාදයට ඉඩ සලසන බැවිනි. මේ අතරවාරයේම දුරකතන සමාගමටද අමතන්නා පිරික්සිය හැකිය.

සාමිගෙ ඇමතුම මට ලැබෙත්ම, මා උත්සහ කළේ, පොලිසිය හා දුරකතන සමාගම ඔහුගේ ඇමතුම් අංකය පිරික්සුම් කර ගන්නා තුරු කෙසේ හෝ ඔහු රඳවා ගැනීමටය. නමුත්, සා.මි. මේ උගුලෙන් ගැලවීමට තරම් සූරවී සිටියේය. ඔහුගේ තර්ජනයට මා දක්වන ප්‍රතිචාරය පවා නොසලකා හරිමින් , ඔහු ඇමතුම විසන්ධි කර දැමුවේය.

සිංහල කළේ
සමුනි සමරකෝන්

හෙට : හිතන මහත්තයා
සතුටින් තිරිහන් වෙයි

නව අදහස දක්වන්න