"අපි කවුරුත් හොඳ මිනිස්සු නෙමෙයි.." රිතූ ආකාර්ශා | දිනමිණ

"අපි කවුරුත් හොඳ මිනිස්සු නෙමෙයි.." රිතූ ආකාර්ශා

 

"මනුස්සයෙක් කැමති නෑ තවත් මනුස්සයෙක් ඉස්සරහට යනවට.."

"අපි කවුරුත් හොඳ මිනිස්සු නෙමෙයි.."

 

පුංචි තිරයට පෙම්වතියක් වුණු රිතූ ආකාර්ශා තවමත් පෙම්වතියමයි. නිරන්තරයෙන්ම ඇයව රූපවාහිනියෙන් දකින්න ලැබෙනවා. රූප රචනා හා ටෙලි නාට්‍ය වලින් නිරන්තරයෙන් දකින ඇය ගැන අලුත් තොරතුරුයි මේ.

රිතු මේ දවස්වල කරන විශේෂ දේවල් මොනවාද ?

නත්තලත් එක්ක සහ අලුත් අවුරුද්දක් එක්ක බිසිවෙලා තියෙනවා. මාසෙකට කළින් ෆ්‍රී වෙලා හිටියා. අලුත් අවුරුද්දට නාට්‍ය 02ක් පටන් ගත්තා. ඒවගේම කරපු නාට්‍ය ඉවර වුණා. මගේ වැඩ කටයුතු සුපුරු පරිදි කරගෙන යනවා.
 
දිගින් දිගටම කාර්ය බහුල වුනාම ඔබට ප්‍රේක්ෂකයන් අමතක වෙයිද ? 
 
ප්‍රේක්ෂකයන් අමතක වෙන්නේ නැහැ. කලාකාරයෝ කවදාවත් අමතක වෙන්නේ නැහැ. චරිත සමඟ ඉන්න නිසා මතකේ සිටිනවා. මිනිසුන්ගේ මතකයේ හැමදාමත් රැදෙන්න තමයි මම හිතන් ඉන්නේ.
 
ඔබ සැබෑ ජිවිතයේදි ඇත්තටම සංවේදී චරිතයක්ද ?
 
අපොයි ඔව්. ගොඩක් සංවේදියි.
 
රංගන ක්ෂේත්‍රය තෝරා ගත්තේ නැතිනම් ඔබ තෝරා ගන්නා  ක්ෂේත්‍රය මොකද්ද ?
 
ඒක කියන්න බෑ. මම ගොඩක් ක්‍රීඩා කරපු කෙනෙක්. ගුවන් සේවිකාවක් වෙන්නත් අදහසක් තිබුණා.
 
කටකතා ගැන විශ්වාස කරනවාද ?
 
ඉස්සර නම් කටකතාවක ඇත්තක් තිබුණා. නමුත් අද කාලේ වෙනකොට කටකතා කියන ඒවා කටකතාම තමයි. කටින් කටට යන ඒවා. ඒක ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තියෙනවා.
මම කොහොමත් කටකතා විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඇස් දෙකෙන් දැකලා, කනෙන් අහන දෙයක් ඇරෙන්න මම කවුරුත් කියන ඒවා විශ්වාස කරන්නේ නැහැ.
 
ගින්නක්  නැතිව දුමක් නගින්නේ නෑ කියනවනේ. කටකතාවල ඇත්තක් තියෙන්න බැරිද ?
 
ඒ දවස්වල තියෙන්න ඇති. අද කාලේ එහෙම නෑ. අද කාලේ ඊර්ෂ්‍යාවට කියන කතා. මනුස්සයෙක් කැමති නෑ තවත් මනුස්සයෙක් ඉස්සරහට යනවට. අපිට කාගේවත් දේවල් විනිශ්චය කරන්න බැහැ. අපි කවුරුත් හොඳ මිනිස්සු නෙමෙයි. ඒ නිසා කටකතා කියන දේවල් මට අදාළ නෑ. මට මගේ දේවල් ඇරෙන්න අනිත් අයගේ  දේවල් අදාළ නෑ. ඒ නිසා  ගින්නක්  නැතිව දුමක් නැග්ගත් මට අදාළ නෑ.
 
මොකද හෙට වෙනකොට ඒ කටකතා ටික මට වෙන්න පුළුවන්. මට කාගේ හරි නරකක් කිවුවත් මගේ වගකීම වෙන්න ඕනේ ඒ දේ කාටත් නොකියන්න. එතකොට ඒ කටකතාව යන එක නවතිනවා. මම හිතන්නේ කටකතා කියන්නේ බොහෝ වෙලාවට බොරු දේවල්.
 
හැමෝටම හීන තිබෙනවානේ.  රිතු ඔබට සැබෑ කරන්න තිබෙන විශේෂිත හීන තිබෙනවාද ?
 
ජිවීතයම කියන්නේ හීනයක්. කලා කටයුතු කරගෙන සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි මට අවශ්‍ය. මගේ රැකියාවයි, පෞද්ගලික ජීවිතයයි ලස්සනට ගත කරන එකයි මගේ හීනේ.
 
විවාහ යෝජනා ලැබිලා නැද්ද ?
 
විවාහ යෝජනා නම් ගැණූ ළමයෙක්ට ගොඩක් එනවා. මටත් ඇවිල්ලා තියෙනවා.
 
විවාහ වෙන්නත් කලවයස හරියි නේද ?
 
විවාහය කියන එක කලට වෙලාවට සිද්ධවෙයි. අපි කවදාවත් හිතන දේවල් නෙමෙයි අපිට වෙන්නේ. අවුරුදු 27ක් වුනා මට . හරි උරුමක්කාරයා හම්බවුණාම ඒ කාලේට ඒ දේවල් වෙයි.
 
රිතු අනාගත බලාපොරොත්තු මොනවාද ?
 
කලා වැඩකටයුතු සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න තමයි අදහස.

නව අදහස දක්වන්න