අතුරු තහනම! | දිනමිණ

අතුරු තහනම!

‍ෆ්‍රාන්ස් කෆ්කා ජර්මන් ජාතික බුද්ධිමතකු හැටියට ද ප්‍රබන්ධ කථා රචකයකු හැටියට ද සම්මානයට පාත්‍ර විය. ඔහු සිය රටේ නීතිය, පාලනය හා පැවතුම් දැඩි ලෙස ප්‍රශ්න කළේ ය. කෆ්කාගේ නඩු විභාගය නම් නවකතාවේ එන උපමා කතාවකින් කියැවෙන්නේ නීතිය ඉදිරිපිට දැවැන්ත දොරටු පාලකයකු සිටින බව ය. මේ දැවැන්තයා පොඩි මිනිසා සඳහා වූ යුක්තිය ඉටුකිරීමට බාධා පමුණුවයි. ඔහු පොඩි මිනිසාට නීතිය නම් දොරටුවෙන් ඇතුළුවීමට ඉඩ නොදෙයි. පොඩි මිනිසා භීතියට පත්කරයි. අවසානයේ පොඩි මිනිසා නීතිය ඉදිරිපිට මහලු වෙයි. එවිට නීතියේ දොර වැසී යයි.

මේ කතාව විවිධාර්ථවත් ය. එක අර්ථයකින් කියැවෙන්නේ පොඩි මිනිසාට යුක්තිය ඉටුකර ගැනීම සඳහා අරගලයක යෙදෙන්නට සිදුවන බව ය. තව අර්ථයකින් කියැවෙන්නේ නීතිය හැමවිටම සංකීර්ණ බව ය. එහි අවුල් - වියවුල් තිබිය හැකි බව ය. පොඩි මිනිසාට නීතිය සම්බන්ධයෙන් අවුල් ඇති බව; නොයෙක් සිදුවීම්වලින් ද පෙනී යයි. අවසරයකින් තොරව අඹ ගෙඩි තුනක් කැඩූ පුද්ගලයෙක් දඬුවම් ලබයි. තම විවාහක පුරුෂයා වෙනුවෙන් ජීවිත ඇපයක් තැබූ කාන්තාවක්; පුරුෂයා පැන යෑම නිසා සිරභාරයට පත් වෙයි. උසාවියේ විටක් සැපූ මිනිසෙක් දඩ කයි. කමිසයේ බොත්තම් වැරැදි ලෙස දමාගෙන සාක්ෂි කූඩුවට ගිය ගැමියෙක් දැඩි අවවාදයකට ලක්වෙයි. නීතියට අනුව මේ තීන්දු නිවැරැදිය. එහෙත් මානුෂික ධර්මතාවලට අනුව මේ තීන්දු ප්‍රශ්නකාරී ය.

නීතිය අකුරට ම ක්‍රියාත්මක වීම වැදගත් යැයි කෙනකු කියන්නට පුළුවන. ඒ සඳහා විවාදයක් ඇතිකරගත යුත්තේ ද නැත. එහෙත් ලොකු මිනිසුන් හෙවත් බලවන්තයන් සම්බන්ධයෙන් නීතිය මේ අයුරින් ම ක්‍රියාත්මක වන්නේ ද? රිමාන්ඩ් ගතකළ යුතු බලවන්තයෝ වහා ම රෝහලට යති. තව සමහරු නඩු විභාගවලට අතුරු තහනම් නියෝග ලබා ගනිති. තවත් සමහරු වරෙන්තු මඟහරිති. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි රුපියල් කෝටි තුනක මුදල් අවභාවිතය පිළිබඳ නඩු විභාගයේ අතුරු තහනම ලබන 15 දා තෙක් දීර්ඝ කර තිබේ. නීතිපතිවරයාගේ අදහසට අනුව එය ඒකපාර්ශ්වීය තීන්දුවකි.

ඇත්ත තත්ත්වය ගතහොත් මහජනයා අපේක්ෂා කරන්නේ දූෂිත පුද්ගලයන්ට දඬුවම් ලබාදීම මිස නීති-තර්ක අසා සිටීම නොවේ. ගෝඨාභය මහතාට එල්ල වී ඇති චෝදනාව සුළුපටු නැත. එම චෝදනාවට අනුව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයට අයත් මුදල් යොදවමින් සිය පියාගේ ස්මාරකයක් ඉදිකර තිබේ. වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ඉදිකර ස්ථාපිත කරන ලද රාජපක්ෂ ස්මාරකය සඳහා කෝටි තුනකට වැඩි මුදලක් වැය කර ඇතැ’යි කියති. මේවා මහජන මුදල් නම්; ආපසු අයකර ගත යුතු ය. මුදල් අවභාවිතය සම්බන්ධයෙන් නොපමාව දඬුවම් ද ලබාදිය යුතු ය.

රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා රාජ්‍ය ආයතනයක මුදල් යොදාගෙන ඇතැ’යි කීම ප්‍රබන්ධයක් හෝ බොරුවක් හෝ නො වේ. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය විසින් ගෝඨාභය මහතා වෙත යවන ලද එන්තරවාසියෙන් ද ඒ බව සනාථ වෙයි. මෙහිලා මතුවන තවත් ගැටලුවක් වන්නේ රාජපක්ෂ පදනම හා ඉහත කී ආයතනය මේ සඳහා කිසියම් ගිවිසුමක් ඇතිකරගෙන තිබේ ද යන්න ය. එබඳු ගිවිසුමක් තිබුණේ නම්; ඊට අස්සන් කළේ කවු ද? ඒ කවදා ද? අනුමැතිය කාගේ ද යන කරුණු විමසා බැලිය යුතු ය. රාජ්‍ය ආයතනයක් සතුවන්නේ මහජන මුදල් ය. මහජනයාගේ කැමැත්තකින් තොරව මෙබඳු විශාල මුදලක් වැය කළ හැකි මූල්‍ය නීතිය කුමක් ද යන්න ද මෙහිදී විමැසිය යුතුව තිබේ.

රාජපක්ෂ පාලන සමය තුළ මූල්‍ය නීති උල්ලංඝනය කරමින් මහජන මුදල් අවභාවිත කළ අවස්ථා බොහොමයක් ගැන කරුණු හෙළිදරව් වී තිබේ. එය බැඳුම්කර අලෙවියේ සිට ස්මාරක තැනීම දක්වා ව්‍යාප්ත වී ඇතැ’යි සිතන්නට පුළුවන. අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ කතාවකින් කියැවෙන්නේ එදා බැඳුම්කර අලෙවිය පාලකයන්ගේ පෞද්ගලික කැමැත්තට අනුව සිදු වී ඇති බව ය. එය නිවැරැදි විය යුතු සේ ම ඒ ගැන පරීක්ෂණ ද පැවැත්විය යුතු ය. 2008 සිට 2014 දක්වා කාලය තුළ පැවැති මුළු බැඳුම්කරවලින් 90% ක් නිකුත් කර ඇත්තේ පෞද්ගලික සෘජු බැඳුම්කර ලෙස බව එක්තරා වාර්තාවක සඳහන් වේ.

ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක මූල්‍ය පාලනය සිදුවිය යුත්තේ පාර්ලිමේන්තුව හරහා බව කියති. එය පිළිගත් සම්ප්‍රදාය ද වෙයි. එහෙත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තුවට නොදන්වා ණය ලබාගෙන ඇත. කැබිනට් මණ්ඩලයට නො දන්වා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. මෙහි ඇත්ත තත්ත්වය වන්නේ කිහිප දෙනකු විසින් ආණ්ඩුව හා පාලනය ගෙන ගිය බව ය. ඒ කිහිපදෙනා වන්නේ හිටපු ජනාධිපතිවරයා, ඔහුගේ ආර්යාව හා සහෝදරයන් බව කවුරුත් දනිති. එදා කිසියම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නම්; ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ඇමැතිය යුතු ය. ජනාධිපති ළඟට බලය තිබුණේ ඔහුට ය. ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් නාමල් රාජපක්ෂ මහතාට Òසෑර්Ó යැයි ඇමතූ හැටි ද අප සිහියට නැ‍ඟේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩු විභාගය තව ම අවසන් නැත. ඒ පිළිබඳ තීන්දුවක් ලබාදීමට තවත් කාලයක් ගත වනු ඇත. ලබන 15 වනදාට අතුරු තහනම් නියෝගයට එරෙහිව කරුණු දැක්විය හැකි ය. නඩුවේ ඊළඟ පියවර දැනගත හැක්කේ ඊට පසුව ය. කිසියම් නඩුවක් කල්දැමීම හෝ නඩුව විභාග කිරීමට අතුරු තහනම් නියෝගයක් පැනවීම නඩුවේ පරාජයට හේතුවක් නොවේ. කෙසේ වුව මේ මඟින් සිදුවන්නේ යුක්තිය ඉටුවීම සඳහා යම් ප්‍රමාදයක් සිදුවීම ය. නඩු ප්‍රමාදය ශ්‍රී ලංකාවේ පොදු ලක්ෂණයක් හැටියට ද ගත හැකි ය.

ස්මාරක තනන්නේ කෙනකුගේ ගෞරවය සඳහා ය. ඒ ගෞරවයට ගැළපෙන ලෙස සාධාරණ හා යුක්ති සහගත මුදලකින් ඒවා නිමැවීම වැදගත් ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...