කබඩි සංගමය තහනම් කරයි | දිනමිණ

කබඩි සංගමය තහනම් කරයි

ප්‍රින්ස් ගුණසේකර

බලතල ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් යටතට

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලියාපදිංචිය වහාම අත්හිටුවීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි කබඩි සම්මේලනයේ කටයුතු අත්හිටුවා එහි නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි. පෙරේදා නිකුත්වූ එම ගැසට් නිවේදනය අනුව කබඩි සම්මේලනයේ නිලවරණය ඉක්මණින් පැවැත්වීම උදෙසා නාම යෝජනා කැඳවන ලෙසට ද නියෝග කොට ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 වගන්ති යටතේ ඇමැතිවරයා සතු බලතල ප්‍රකාරව, කබඩි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවීමට හේතුවී ඇත්තේ පැවැති නිලධාරීන්ගේ අර්බුද දුරදිග යෑම හේතුවෙනි.

ශ්‍රී ලංකා කබඩි සම්මේලන පරිපාලන කටයුතුවලට සම්බන්ධව සිටි හිටපු නිලධාරීන් කිහිප දෙනකුට කලක පටන් සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වූ අතර පාර්ශ්ව කිහිපයකට බෙදීමෙන් පරිපාලන ප්‍රශ්න රැසක් ඇති විය. විදෙස් සංචාරවලට ක්‍රීඩක කණ්ඩායම් නම් කිරීමේදී අසාධාරණ වූ බවට ද ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබුණි.

මෙයට අමතරව නිසි වේලාවට නිලවරණය පැවැත්වීමට අසමත්වීම සම්බන්ධවද කබඩි සම්මේලන නිලධාරීන්ට චෝදනා එල්ල විය. මේ පිළිබඳ සොයා බැලූ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කබඩි පරිපාලනය විධිමත් කිරීමට ක්‍රියා මාර්ග රැසකට එළැඹියේය. එහි අවසන් පියවර වූයේ කබඩි සම්මේලනයේ ලියා පදිංචිය අත්හිටුවා ඉක්මණින් නිලවරණයක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පැවැත්වීමට කටයුතු කිරීමය.

මේ ආකාරයෙන්ම ලියාපදිංචිය අත්හිටවූ ජූඩෝ හා හෑන්ඩ්බෝල් සංගම්වල නිලවරණ පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය දැන් කටයුතු ආරම්භ කොට තිබේ.

මේ අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම උදෙසා මැලේසියාවේ පිහිටි ලෝක බැඩ්මින්ටන් නිලධාරීන් හමුවීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අවස්ථාවක් ඉල්ලා ඇත. ලෝක බැඩ්මින්ටන් සම්මේලනය ශ්‍රී ලංකාවට පැනවූ ජාත්‍යන්තර තහනම ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් ජාත්‍යන්තර බැඩිමින්ටන් සම්මේලනයට ලබාදෙන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත ක්‍රීඩා අමාත්‍යාංශය මෙයට පෙර ලිපියක් යොමු කර තිබුණද, මෙය ලෝක බැඩ්මින්ටන් සංගමය සමග සාකච්ඡා කොට විසදා ගන්නා ලෙස දැනුම්දී ඇත.

ඒ අනුව දිනයක් හා වේලාවක් ලැබුණු වහාම මැලේසියාව බලා පිටත්වන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අප කළ විමසීමකදී පැවැසීය.

බැඩ්මින්ටන් සම්මේලනයට පැනවූ මේ තහනම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිදු ජාත්‍යන්තර තරගාවලියකට සහභාගීවීමේ අවස්ථාව අහිමිවී ඇත. මේ මස 31වැනිදාට පෙර ජාත්‍යන්තර බැඩ්මින්ටන් තහනම ඉවත් නොවුණහොත් ලබන වසරේ අප්‍රේල් මාසයේ ගෝල්ඩ් කොස්ට් හී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිලට අහිමි වේ.

නව අදහස දක්වන්න