අන්තර් සමාජ පළමු පෙළ රගර් | දිනමිණ

අන්තර් සමාජ පළමු පෙළ රගර්

ෆවුස් මොහොමඩ්
සී.ආර්. සහ මහනුවර කණ්ඩායම අතර තරගයේ අවස්ථාවක් ඡායාරූපය - චින්තක කුමාරසිංහ

සී.ආර්. පිලේ අභියෝගය ජයගැනීමට හෙට හැව්ලොක්ස් පිලට හැකිවේවිද ?

අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රගර් තරගමාලාවේ තරග 5කට පසුව ප්‍රසාද ලකුණු 23ක් ලබා දෙවැනි තැන පසුවන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සිය ස්ථානය රැකගැනීමේ අරමුණින් හෙට (9) පස්වරු 3.45ට සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව තරග බිමට පිවිසෙයි. සී.ආර්. පිටියේදී පැවැත්වෙන මේ තරගය ජේසන් මෙල්ඩර්ගේ නායකත්වයෙන් යුතු හැව්ලොක්ස් පිලට අතිශය වැදගත් තරගයක් වී ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන පසුවන ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සහ හැව්ලොක්ස් පිල අතර ලකුණු පරතරය 3කට අඩුවී ඇති බැවිනි.

පිට පිල පරාජයන් කිහිපයකටම මුහුණදීමට සිදුවූ කවිඳු පෙරේරාගේ නායකත්වයෙන් යුතු සී.ආර්.පිල හෙට තරගයට එක්විමට සිය කඳවුරේ දස්කම් මුවහත් කරමින් සිටින අතර හෙට තරගය ජයගෙන නැවතත් ජයමාවත විවර කරගැනීමේ දැඩි අදිටනින් යුතුව පසුවෙයි. සී.ආර්.පිල ප්‍රසාද ලකුණු 12ක් ලබා සමස්ත ලකුණු සටහනේ සිවුවැනි තැන පසුවන අතර හෙට තරගයේදී තම ස්ථානය ඉහළ දමාගැනීමේ අපේක්ෂාවෙන් බලා සිටී.

මෙතෙක් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වී සිටින මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ පසුගිය සතියේදී ලකුණු 24-12ක පරාජයක් උරුම කරගත් සී.ආර්.පිල මෙතෙක් වාර්තා කර ඇත්තේ ජයග්‍රහණ දෙකක් පමණි. ඉතිරි තරග 3ම ඔවුන් පරාජයට පත්විය. පළමු වටය නිමාවීමට ඉතිරිව ඇත්තේ තවත් තරග 2ක් පමණක් බැවින් අද තරගය සී.ආර්.පිලට තීරණාත්මකය. පළමු වටයේ අවසන් තරගයට ලබන 16 වැනිදා ඔවුන් මුහුණ දීමට නියමිතව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 4ක් ලබා අවසන් ස්ථානයේ පසුවන පොලිස් කණ්ඩායම සමගය.

මෙවර තරගාවලිය සී.ආර්.පිලට මෙතෙක් සාර්ථකත්වයක් ගෙනදීමට අසමත්වූවත් සෑම තරගයකදීම ඔවුන් දැක්වූ සටන්කාමීත්වය හෙට තරගයේදී හැව්ලොක්ස් පිලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ප්‍රමාණවත් එකකි. සී.ආර්.පිලේ අංක 8 ක්‍රීඩක ඕමල්ක ගුණරත්නගේ ශක්ති සම්පන්න ක්‍රීඩා විලාශයත්, ෆුල් බෑක් ක්‍රීඩක තරින්ද රත්වත්තගේ අධිෂ්ඨානශීලී තරග රටාවත් කණ්ඩායමට විශාල රුකුලක් වනු නිසැකය.

හෙට පැවැත්වෙන සෙසු තරග අතරින් වැඩි අවධානයක් දිනාගන්නා අනික් තරගය වන්නේ අපරාජිතව පෙරමුණේ පසුවන මහනුවර ක්‍රීඩා සමාජය සහ දෙවැනි තැන සිටින නාවික හමුදා කණ්ඩායම අතර නිත්තවෙල පැවැත්වෙන තරගයයි. මහනුවර පිලේ අපරාජිතබවට අභියෝග කිරීමට හැකි සෑම ආකාරයෙන්ම දස්කම් සපිරි ක්‍රීඩකයන් පිරිසක් සිටින නාවික හමුදා පිල හෙට තරගයට එක්වන්නේ හැව්ලොක්ස් පිල අත්කරගෙන සිටින ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන උදුරා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

පසුගිය සතියේදී ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 10-0ක ජයක් ලැබූ නාවික හමුදා පිලට මෙවර තරගාවලියේ වාර්තා කිහිපයක්ම අතැතිව සිටින ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වෙති. මහනුවර පිලේ ෆුල් බෑක් ක්‍රීඩක තිළිණ විජේසිංහ වැඩිම ලකුණුලාභියා ලෙස ලකුණු 55ක් ලබා සිටින අතර නාවික හමුදා පිලේ ෆුල් බෑක් ක්‍රිඩක තිළිණ වීරසිංහ ලබා සිටින ලකුණු සංඛ්‍යාව 54කි.

ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුළත් මහනුවර පිලේ අනුරුද්ධ විල්වර තරගාවලියේ මෙතෙක් වැඩිම උත්සාහක දිනුම්ලාභින් අතර පෙරමුණේ පසුවන්නේ උත්සාහක දිනුම් 7ක් තබමිනි. ඊට නොදෙවැනි ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරන ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් 6ක් ලබා දෙවැනි තැන පසුවෙයි. මීට අමතරව වැඩිම උත්සාහක දිනුම්ලාභීන් අතර සිවුවැනි තැන මහනුවර පිලේ තිළිණ විජේසිංහටත්, පස්වැනි තැන රිචඩ් ධර්මපාලටත් හිමිවි තිබේ.

මෙවර තරගාවලියේ පෙරලිකාර කණ්ඩායම බවට පත්වි සිටින සී.එච්. කණ්ඩායම සහ ගුවන් හමුදා පිල අතර තරගය ද හෙට රත්මලානේ දී පැවැත්වෙන අතර ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැන පසුවන යුද හමුදා පිල සහ පොලිස් පිල අතර තරගය අනිද්දා (10) රත්මලානේදී පැවැත්වෙයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...