ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් ආනන්දප්පා අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් ආනන්දප්පා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් ආනන්දප්පා මහතා ඊයේ (7) උදෑසන හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. 68 හැවිරිදි වියෙහි පසුවූ ආනන්දප්පා මහතා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක් හවුස්) ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙස වසර 28ක දීර්ඝ සේවා කාලයක් ගෙවමින් සිටියේය. ඔහු මුල් කාලයේ ‘සන්‘ පුවත්පතේ සේවය කළ අතර පසුව ලේක්හවුස් ආයතනයට එක්විය. ඔහු මියයනවිට ‘සන්ඩේ ඔබ්සර්වර්‘ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙස සේවය කරමින් සිටියේය.

කඳාන ඩි මැසනද් සහ කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවකු වන ඒ මහතා වසර 1967-68 කාලයේ ආනන්ද විදුහලේ පළමුපෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට ක්‍රීඩකයකු විය. ආනන්ද විදුහලේ ආදි සිසුන් වන ඇමැති රාජිත සේනාරත්න සහ ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ සමකාලීනයෙකි.

පාසල් දිවියෙන් අනතුරුව පළමුපෙළ ක්‍රිකට් තරග ක්ෂේත්‍රය තුළ විනිසුරුවකු සහ තරග තීරකවරයකු ලෙස කටයුතු කළ ආනන්දප්පා මහතා මෙරට ඉංග්‍රීසි පුවත්පත් අතර ප්‍රකට තීරු ලිපි රචකයකු ද විය. හෙතෙම දෙස් විදෙස් ක්‍රිකට් තරගවලට අමතරව රගර්, මෝටර් රථ ක්‍රීඩා වැනි තවත් ක්‍රීඩා ක්ෂේත්‍ර රැසක් ආවරණය කළේය.

මාධ්‍යවේදියකු සහ ක්‍රිකට් විනිසුරුවරයකුට අමතරව ගායනයට ද උපන් හපන්කම් දැක්වූ ඒ මහතා වසර 1996 ලෝක කුසලානය දිනාගැනීමෙන් පසුව ක්‍රිකට් ගීතයක් ඇතුළත් කැසට් පටියක් ද එළි දැක්විය.

ක්‍රිස්ටින් මහත්මිය සමග විවාහ වී සිටි හෙතෙම දියනියකගේ සහ පුතකුගේ ආදරණිය පියෙකි.

ඔහුගේ දේහය අද සිට බොරැල්ල බානි රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේ දී පසුව සිදු කිරීමට නියමිතය. 


නව අදහස දක්වන්න

Or log in with...