අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ඇරැඹේ | දිනමිණ

අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ඇරැඹේ

ජාතික ක්‍රිකට් සංචිතයට යොවුන් ක්‍රීඩකයන් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන දේශීය ක්‍රිකට් තරග බිමේ ප්‍රධානතම තරගාවලිය අන්තර් සමාජ පළමු කොටසේ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (8) ආරම්භ වෙයි.

කණ්ඩායම් 14ක් එක්වන පළමු කොටසේ තරගාවලිය ‘ඒ’ හා ‘බී’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර එහි මූලික වටය ලබන වසරේ ජනවාරි 21වැනිදා දක්වා පැවැත්වේ.

මූලික වටයේදී තරග 42ක් පැවැත්වෙන අතර එක් එක් කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 4 බැගින් සුපිරි අට වටයට එක්වෙයි. එම තරග සිවුදින තරග ලෙස ජනවාරි 25වැනිදා සිට පෙබරවාරි 18වැනිදා දක්වා පැවැත්වෙන අතර සෙසු කණ්ඩායම් පළඟ ශූරතාව සඳහා තරග වැදීමට නියමිතය. තුන්දින තරග ලෙසින්ම පැවැත්වෙන පළඟ ශූරතා වටය ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 11වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේ මේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට එස්.එස්.සී පිල සමත්වූ අතර පළඟ ශූරතාව සැරසන්ස් පිලට හිමිවිය. එහිදී පළමු කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වීම හේතුවෙන් ගාල්ල ක්‍රීඩා සමාජය මෙවර දෙවැනි කොටස දක්වා පහතට වැටී සිටින අතර දෙවැනි කොටසින් කාණ්ඩයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය පළමු කොටසට එක්වෙයි.

පසුගිය තරගාවලියේ ලකුණුලාභීන් අතර පෙරමුණ ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ සධීර සමරවික්‍රම සමත් වූ අතර පන්දු යවන්නන් අතර පෙරමුණ ගත්තේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ මලින්ද පුෂ්පකුමාරය.

ඔවුන් දෙදෙනාම පසුගියදා ජාත්‍යන්තර ටෙස්ට් තරග වරම් හිමිකර ගැනීම විශේෂත්වයකි.

එම තරග වාරයේ තරග 10කදී ශතක 3ක් හා අර්ධ ශතක 6ක් සමගින් ලකුණු 1016ක් රැස්කළ 22හැවිරිදි යොවුන් ක්‍රීඩක සධීර පසුගිය ඔක්තෝබර් 6වැනිදා ඩුබායිහිදී පාකිස්තානයට එරෙහිව මංගල ටෙස්ට් තරගයට සහභාගිවූ අතර 30 හැවිරිදි මලින්ද පුෂ්පකුමාර පසුගිය අගෝස්තු 3වැනිදා සංචාරක ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.

පසුගිය තරගාවලියේදී පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ නිපුන් කරුණානායක තරග 9කදී ලකුණු 926ක් රැස්කළ අතර ඇන්ජලෝ පෙරේරා ලකුණු 908ක් සමගින් (එන්.සී.සී) තෙවැනි ස්ථානයට පත්විය.

පන්දු යවන්නන් අතර පෙරමුණගත් මලින්ද පුෂ්පකුමාර තරග 9කදී කඩුලු 77ක් බිඳ දැමීමට සමත්වූ අතර කඩුලු 57ක් දවාගනිමින් මලිත් ද සිල්වා (බ්ලූම්ෆීල්ඩ්) දෙවැනි ස්ථානයටත්, බී.ආර්.සී කණ්ඩායමේ දිනුක් හෙට්ටිආරච්චි (52) තෙවැනි ස්ථානයට පත්වූහ.

මේ තරගාවලිය පසුගිය සතියේ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර කටයුතු යොදා තිබූ අතර රට තුළ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ සතිය දක්වා කල් දැමුණි. ඒ අනුව පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබූ තරග ලබන වසරේ ජනවාරි 19-21 දිනවල පැවැත්වේ. 

නිරෝෂාන් ප්‍රියංකර


නව අදහස දක්වන්න

Or log in with...