අම්බලන්ගොඩ ධර්මාශෝකයට සෞන්දර්ය ඒකකයක් | දිනමිණ

අම්බලන්ගොඩ ධර්මාශෝකයට සෞන්දර්ය ඒකකයක්

පසුගිය දිනක බස්රථවලින් බසින්නේ පාසල් ඇඳුමෙන් සැරසුණු වැඩිහිටියෝය. නිල් කොට කලිසමකින් හා සුදු අත්කොට බැනියමකින් සැරසුණු මොවුන්ගේ කරේ පොත් බෑගය සහ වතුර බෝතලය ද එල්ලා ඇත. සිසුවියන් ද සුදු ඇඳුමින් සැරසී ටයි පටියක්ඳ පැළඳ ඒ අයුරින්ම පැමිණේ. ඇතැමකුගේ කොන්ඩය ඉදී ඇත. රැවුල ද එසේමය. ඇතැමෙකුගේ තට්ට හිසය. එහෙත් මෙදින මේ අය පාසල් දරු දැරියයෝය.

‍මොවුන් මෙදින මේ සැරසෙන්නේ තම කුඩා කාලය සිහිකරමින් නැවත පාසල් සමයට යන්නටය. කෙසේ වුවද අවුරුදු 20-30 ගණන් හමු නොවූ පිරිස් මෙසේ පාසල් ඇඳුමෙන් හමු වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ Back to School වැඩසටහනේදීය.

මෙය වැඩි දෙනකුට සංවේදී දසුනක් විය. ඇතැමුන් එකිනෙකා හමුවී සිප වැළඳ ගනිමින් සතුටු කඳුළු වගුරන අයුරු දැකිය හැකිය. මේ වැඩිහිටි පිරිස වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ, අංශවල මෙන්ම රාජ්‍ය, පෞද්ගලික, හෝ ව්‍යාපාරිකයන්ය. වත්මන් විදුහල්පති හසිත කේසර වෙත්තමුනි මහතා මේ දරු දැරියන් පාලනය කිරීමට නම් ගියේ නැත. ඔවුන් සමග සමූහ ඡායාරූපවලට පෙනී සිටියේ ඒ මහතා සිනා මුහුණින්ය.

ආදී සිසුවකු වූ ඉරේෂ් රංජිත් ද සිල්වා මහතා - මට අවුරුදු 44ක්. අවුරුදු 23කට පස්සෙ තමයි පාසල් ඇඳුමෙන් සැරසිලා පාසලට ආවේ. මේක අලුත් අත්දැකීමක්. වෛද්‍ය පියදිගම ඇතුළු අපේ 94 කණ්ඩායම අද පාසලට සෞන්දර්ය ඒකකය හදන ව්‍යාපෘතිය බාර ගත්තා. ඒකට ලක්ෂ 05කට වැඩි මුදලක් වැය වෙනවා. මම කොළඹ රාජ්‍ය ආයතනයක රැකියාව කරනවා.

අම්බලන්ගොඩ කම්කරු කාර්යාලයේ ඉන්දිකා සිරිවර්ධන මහත්මිය - අපේ දරුවනුත් අපිව ආදර්ශයට ගනී. අද අපේ විදුහලට විශාල ආධාර ප්‍රමාණයක් ආදි දම්සෝ සිසු එකමුතුවෙන් ලැබෙනවා. මේවා රජයෙන්ම කරල දෙනතෙක් නොඉඳ මෙසේ කර ගැනීම අනෙක් පාසැල් වලටත් ආදර්‍ශයක්. ඒ වගේම අද අපේ අය මිලදී ගත් බෑග්, වතුර බොතල්, සපත්තු වගේ දේවල් විශාල ප්‍රමාණයකුත් පාසැලට පරිත්‍යාග කරනවා. ඒවා අඩුපාඩු තියෙන දරුවන්ට බෙදා දේවි.

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපාධිධාරී සංවර්ධන නිලධාරිනී අනූෂා මහත්මිය - අද පාසල් ඇඳුමෙන් සැරසී පාසලට එන විට අපි අපේ අතීතයට යනවා. විදේශවල මිතුරු මිතුරියන් ද පැමිණ සිටිනවා.

ගාල්ල දිස්ත්‍රික් සංචාරක ධර්මදාස සිරිවර්ධන

නව අදහස දක්වන්න