අධිවේගයේ ඉඩම් වන්දි වේගය මදිලු | දිනමිණ

අධිවේගයේ ඉඩම් වන්දි වේගය මදිලු

අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොතුහැර ගලගෙදර දක්වා වූ පළමු අදියරේ ඉඩම් අත්පත් කර ගැනීමේදී තුම්පහේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් තිහකට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බව එම ඉඩම් හිමියෝ පවසති.

පළමු අදියර යටතේ අධිවේගී මාර්ගය සඳහා ගලගෙදර ග්‍රාමසේවා වසමින් පවරාගන්නා ඉඩම් ප්‍රමාණය අක්කර විසිඅටකට ආසන්න වේ. ඉඩම් කට්ටි වශයෙන් ගත්කල එය සියයක් පමණ වන අතර එයින් ඉඩම් කට්ටි හැත්තෑවකට පමණ වන්දි මුදල් පිරිනමා ඇත. එහිදී ඉඩම් අහිමිවීමේ දීමනාව, රැකියා අහිමිවීමේ දීමනාව, ව්‍යාපාර අහිමිවීමේ දීමනාව හා ආබාධිත දීමනාව නියමිත කාලයට ඉඩමින් ඉවත්වීමේ දීමනාව ඉඩම් හිමියන්ට ලබාදී තිබේ.

වගා සඳහාද යම් තක්සේරුවක් ඉඩම් හිමියන්ට ලබාදී ඇත. නමුත් දැනට වන්දි මුදල් ලබාගත හැකි පවුල් තිහ සඳහා තක්සේරුව නිසි පරිදි හිමිව නැති නිසා එම පවුල් දැඩි පීඩනයකට හා කලකිරීමකට පත්ව සිටිති.

මෙම අසාධාරණය සම්බන්ධව ඉඩම් අත්පත් කිරීමේ හා නැවත ස්ථාපනය කිරීමේ කමිටුවට කරුණු ඉදිරිපත් කළද සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණු නිසා අසාධාරණයට ලක්වූ පවුල් තිහට අයත් පිරිසට සටන් ක්‍රියාමාර්ගවලට පිවිසීමට සිදුව තිබෙන බවද කියා සිටිති. මෙම තත්ත්වයට තමන් ඇදදැම්මේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් බවද පවසන එම පිරිස, තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමන්ට සාධාරණය ඉටුකර නොමැති බවද කියා සිටිති.

මේ සම්බන්ධව අදහස් දක්වන ස්වාමියා අහිමි කතක්වූ ඩබ්ලිව්.එම්.ඒ. වීරසේකර මහත්මිය,

එකම ඉඩමට තක්සේරු දෙකක්. පළමු කොටසට පර්චස් එකකට රුපියල් ලක්ෂ දෙක ගානේ ගෙව්ව. මට පර්චස් එකකට රුපියල් ලක්ෂය ගානේ ගෙවන්න තක්සේරු කෙරුවා. මගෙ ස්වාමියා නෑ. දුව උසස් අධ්‍යාපනය ලබනවා. ඒ සඳහා යන වියදම ගෙවතු වගාවෙන් උපයා ගත්තෙ. මාසිකව රුපියල් තිස්දාහක් විතර උපයා ගත්තා. නමුත් දැන් ඉඩම රජයට පවරා ගත්තා. මගේ අම්මට වයස අවුරුදු අසූවක් වෙනවා. ඇයත් ඉන්නේ මා ළඟ. දැන් අපි අසරණ තත්ත්වයකට පත්වෙලා. නැවත මේ ලැබෙන වන්දි මුදලින් ඉඩමක් මිලදී අර‍ෙගන ගෙයක් හදා ගන්නවා කියන එක සිහිනයක්. අපි කියන්නෙ අපටත් සාධාරණය ඉටු කරන්න කියලා. අතිගරු ජනාධිපතිතුමා අගමැති තුමා අපගේ ප්‍රශ්නය දෙස බලල අපට සාධාරණය ඉෂ්ට කරන්න කියල තමයි අපි කියන්නෙ. නිලධාරීන් අපට සාධාරණය ඉටුකරන්නෙ නෑ.

එම්.එම්. පුංචි බණ්ඩා මහතා - මගේ ඉඩම් අක්කර එකකට වැඩි ප්‍රමාණයක් මාර්ග සංවර්ධනය සඳහා රජයට පවරාගෙන තිබෙනවා. වගා කරපු ගොඩ ඉඩම් මඩ ඉඩම් දෙකම එකම තක්සේරුවකට යටත් කරලා වගාවලට කිසිම ගෙවීමක් නැහැ. අපේ ඉඩම් බාහිර ඉඩම් විදිහට ගණනය කරල නැහැ. මේක ලොකු අසාධාරණයක්. නිලධාරීන්ගෙන් අපට සාධාරණය ඉටුවුණේම නෑ. දැන් මට වයස හැත්තෑ පහක්. මාසිකව ලෙඩට බෙහෙත් ගන්න රුපියල් දහදාහක් ඕනෑ. ඉඩම්වල ආදායමෙන් තමයි මේ සියලු කටයුතු කෙරුවෙ. දැන් මට ඒ ආදායම අහිමි වෙලා තිබෙනවා. සාධාරණ වන්දි මුදලක් මට හිමිවෙලා නැහැ. මම රජයෙන් ඉල්ලන්නෙ පළමු අදියරේ වන්දි ගෙවපු විදියට මගේ ඉඩමටත් වන්දි මුදලක් ලබාදෙන්න කියලා.

බී.එච්.සහීඩ් මහතා - මගෙ අක්කර දෙකක ඉඩමක් ව්‍යාපෘතියට පවරාගෙන තිබෙනවා. නමුත් වන්දි මුදල් තවම ලැබී නැහැ. ආරංචි විදිහට මට අක්කරයකට රුපියල් අනූදාහලු ගෙවන්න යන්නෙ. රබර් වගා ඉඩම් තමයි මේ පවරාගෙන තිබෙන්නෙ. අද ගලගෙදර ප්‍රදේශයෙන් ඉඩම් පර්චස් එකක් රුපියල් ලක්ෂ දෙකකට ගන්න බෑ. අපි කියන්නෙ සාධාරණ තක්සේරුවක් කරල වන්දි මුදල ලබා දෙන්න කියලා.

ඉන්දික අගුරු කුඹුර මහතා,

“මගෙ පර්චස් තිස් අටක් පවරා‍ෙගන තිබෙනවා. ගෙවන්න තක්සේරු කරල තිබෙන මුදල සාධරණ නෑ. පළමු අදියරේ තක්සේරු කරපු විදිහට තක්සේරු කරල අපට වන්දි මුදල් ලබාදෙන ලෙස තමයි අපි රජයට කියන්නෙ.

හිමාලි වීරකෝන් මහත්මිය,

මඟ නැඟුම යටතේ තිබ්බ රැස්වීම්වලදී අපට නිලධාරීන් කිව්වා උපරිම සාධාරණය ඉටු කරනව කියල. අප රැක බලාගන්න පොරොන්දු වුණා. නමුත් ඒ සියල්ල අද වන විට පුස්සක් වෙලා. ඇත්තටම නිලධාඍින් ගැන අප තුළ විශ්වාසයක් නෑ. අප අතිගරු ජනාධිපතිතුමාගෙන් අගමැති තුමාගෙන් ඉල්ලා සිටින්නෙ අපට යම් සාධාරණයක් ඉෂ්ට කරල දෙන්න කියලා

මේ සියලු දෙනාම අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට විරුද්ධ නැහැ. ඔවුන් කියා සිටින්නේ ඔවුන්ගේ ඉඩම් මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට ලබා දුන්නා සේම ඒ සඳහා සාධාරණ වන්දි මුදලක් ලබාදෙන්න කියලා.

මේ සම්බන්ධව තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කළ විමසුමකදී එහි නිලධාරියකු කියා සිටියේ තව නොබෝ දිනකින්අගමැතිතුමා සමඟ කරන සාකච්ඡාවේදී මේ සම්බන්ධව කිසියම් විසඳුමකට එළඹෙන්න හැකිවෙන බවය.

කේ චන්ද්‍රරත්න
මහනුවර දිසා සමූහ

නව අදහස දක්වන්න