ගිය ආණ්ඩු කාලයේ සිදු වූ ගනුදෙනු ගැනත් වෙනම කොමිසමක් පත්කර සොයා බලන්න | දිනමිණ

ගිය ආණ්ඩු කාලයේ සිදු වූ ගනුදෙනු ගැනත් වෙනම කොමිසමක් පත්කර සොයා බලන්න

චන්ද්‍රිකා පෙරේරා

බැඳුම්කර ගනු දෙනුවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කර සොයා බැලූ අයුරින් පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ ගනු දෙනු සම්බන්ධයෙන් ද වෙනම කොමිසමක් පිහිටුවා සොයා බැලිය යුතු බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමති පී.හැරිසන් මහතා පැවසීය.

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගියදා (05) පැවැති ග්‍රාමීය කර්මාන්ත සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එම අදහස් පළ කෙළේ ය.

එහිදී හැරිසන් මහතා මෙසේ ද කීය.

බැදුම්කරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසමට කැඳ වූ සියලු දෙනා ඉදිරිපත් වෙලා සාක්කි ලබා දුන්නා. මීට කලින් ආණ්ඩුවේදී මේ සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන ගනු දෙනු සම්බන්ධයෙනුත් වෙනම කොමිෂන් සභාවක් පිහිටුවා ඒවායේ නිවැරදිතාවන් තහවුරු කර ගත යුතු වෙනවා.කෝප් කමිටු වාර්තාවේ සඳහන් කරුණු වගේම , මූල්‍ය මණ්ඩලයේ අවසරයක් නැතිව මිලියන 4000 කට වැඩි ප්‍රමාණයක් මුදල් ගනු දෙනු කර තිබෙන බව කියැවෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට , මූල්‍ය මණ්ඩලයට හෝ මහ බැංකුවට හෝ වගකියා නැහැ. ඒවා විවිධ පුද්ගලයන්ගේ පරිහරණය සඳහා යොදා ගෙන තිබෙන බව පෙනී යන්නේ . පසුගිය ආණ්ඩු සමයේ වූ බව කියන දූෂණ වංචා සම්බන්ධයෙන් මේ එක් කරුණක් පමණයි.

යහපාලන ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව ඡන්දය දුන්නේ නාස්තිය, දූෂණය, හොරකම, වංචාව නවත්වන්න වගේම පසුගිය කාලයේ සිදු වූ දේවල් පිළිබඳ සෙවීම සඳහායි. එය අපේ වගකීමක් නිසයි අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේ පහුගිය කාලයේ සිදු වුණ සිදුවීම් පිළිබඳවත් කොමිසමක් පත් කරලා හොයා බලන්න ඕන කියා .

වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ ජනතාව දැනුවත් නිසා අපට පුද්ගලයන්ට චෝදනා කරන්න හැකියාවක් නැහැ. යහපාලන ආණ්ඩුවේ කවුරු හෝ වැරැදි කර තිබෙනවා නම් දඩුවම් ලබා දීම අධිකරණයෙන් සිදු විය යුතුයි. අධිකරණ ක්‍රියාමාර්ගවලට ඕනම කෙනෙක් මුහුණ දිය යුතුයි. පහුගිය කාලයේ රටේ ජනතාව අපිට කිව්වේ හොරු අල්ලන්න කියා. ඒ හොරු ඇල්ලීම ඉදිරි වසර කිහිපයේදීත් සිදු වෙනවා. වරදක් වී තිබේ නම් අදාළ අයට දඩුවම් දීම අධිකරණයේ කාර්යක්. එය වෙනත් අයෙකුට හෝ පාර්ශ්වයකට කළ නොහැකියි. පසුගිය සමයේ අතුරුදන් වූ හා ඝාතනය වූ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ කරලා ෆයිල් 92 ක් අධිකරණ අමාත්‍යංශයට යොමු කර තියෙනවා.ඒ ෆයිල් තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ, දැන් තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය. මම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙනුත් ඉල්ලන්නේ කරුණාකර , ඉක්මනින් මේ කටයුතු අවසන් කරන ලෙසයි. රටේ ජනතාව බලා සිටිනවා වැරදිකරුවන් සොයා දඬුවම් දෙනතුරු . ජනතාව, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටත්, ආණ්ඩුවටත් සහාය දුන්නේ හොරු අල්ලන්න කියා. පොලීසිය දැන් පොලීසියේ කාර්යභාරය ඉටු කර තිබෙනවා . දැන් තිබෙන්නේ නීතීපති දෙපාර්තමේන්තුවේ කාර්ය ඉටු කිරීමයි. මේ සම්බන්ධයෙන් දැනට ලිපි ගොනු 92 ක් තිබෙනවා . ඒ ලිපි ගොනු 92 ක සම්බන්ධයෙන් හැකි ඉක්මනින් අවශ්‍යය රාජකාරී කටයුතු කරන්න කියා අපි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.

ආණ්ඩුව එක්ව පවත්වාගෙන ගියත් එක්සත් ජාතික පක්ෂය හැමදාම තනි පක්ෂයක් ලෙස සටන් කර තිබෙන්නේ. ඉදිරි ප්‍රාදේශීය සභා, පළාත් සභා මැතිවරණ අපි තනිව තරග කරනවා පමණක් නොවේ, මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ 70% කට වැඩි ජයග්‍රහණයක් එජපය ලබන බව විශ්වාසයි.

මාධ්‍යවේදීන් - මෛත්‍රී- මහින්ද දෙපිළක් බවට පත් කරන්නේ එජාපය බවට චෝදනාවක් තියෙනවා නේද?

ඇමැතිවරයා- අපිට කවුරුත් දෙකට -තුනට කඩන්න ඕන නෑ.ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා, සභාපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ තරග කරන්න අකමැති කණ්ඩායමක් තමයි වෙනම ගිහින් මැතිවරණයට තරග කරන්න හදන්නේ.ඒ ගොල්ලන්ට වෙන්නේ කුණු බක්කියට වැටෙන්න.ඉතිහාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම කණ්ඩායම් හදාගෙන ගියපු අය හිටියා ඒ අය මගදී හැලුණා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේත් වෙනම කණ්ඩායම් හදලා පක්ෂ හැදුවා ඒ ගොල්ලත් අවසානයේදී නැවතවතාවක් එක්සත් ජාතික පක්ෂයටම එන්න සිද්ධ වුණා.ඒ වගේම කවදා හරි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කකුල් දෙක ළඟට ඇවිත් වැටිලා සමාව ඉල්ලලා ඒ කාර්ය කරයි ඔය කණ්ඩායමත්.

මාධ්‍යවේදීන් - එක්සත් ජාතික පක්ෂය දෙකඩ කළේ මහින්ද මහත්තයාද?

ඇමැතිවරයා - එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරන්න දෙයක් නෑ, ඒක හැබෑවක් නේ.එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු ගණනාවක් කඩා බිද දැම්මා.මහින්ද රාජපක්ෂ මහත්තයා එක්සත් ජාතික පක්ෂය විතරක් නෙමෙයි, ජනතා විමුක්ති පෙරමුණ කඩා බිද දැම්මා, දෙමළ සන්ධානය කඩා බිද දාන්න උත්සහ කළා.ඒ වගේම මේ රටේ තවත් සුළු සුළු පක්ෂ ගණනාවක් විනාශ කළා.ප්‍රජාත්‍රන්තවාදය විනාශ කරලා තමයි එතුමා ඒ කාලසීමාවේදී රට පාලනය කළේ.

මාධ්‍යවේදීන් - ඔකී සුළි කුණාටුවෙන් රටට මේ දින විශාල ආපදාවක් සිදු වෙලා තියෙනවා.වත්මන් ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මෙවැනි ස්වාභාවික විපත් ගණනාවක්සිදු වුණා නේද?

ඇමැතිවරයා - ඔකී සුළි කුණාටුවට වඩා මහින්ද රාජපක්ෂ සුළි කුණාටුව රටට විශාල හානියක් සිදු කරලා තියෙනවා.ඒ නිසා ඒ ගැන කළබල වෙන්න දෙයක් නෑ.මේ සුළු කුණාටුව ආණ්ඩුව කියලා ගෙන්න ගත්ත එකක් නෙමෙයි.අපිට වගේම ඉන්දියාවට, බංගලිදේශය වගේ රටවලටත් මේ සුළි කුණාටුවෙන් බලපෑම් ඇති වෙලා තියෙනවා.ස්වාභාවික විපත් පරිසරයත් එක්ක ගැටෙන විපත් ඒවාට ආණ්ඩුවක් ලෙස, රටක් ලෙස අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

මාධ්‍යවේදීන් - පළාත් පාලන මැතිවරණය ඇත්තටම කවදා පැවැත්වෙයිද‍?

ඇමැතිවරයා - පළාත් පාලන මැතිවරණය පැහැදිලිවම පෙබරවාරී මාසේ 10 වැනිදා පැවැත්වෙනවා.

මාධ්‍යවේදීන් - මැතිවරණ ප්‍රතිඵලය මොන වගේ වෙයිද ?

ඇමැතිවරයා - පළාත් පාලන මැතිවරණයේ පැහැදිලි ජයග්‍රහණයක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා.ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපේ පක්ෂයේ බිම් මට්ටමේ පාක්ෂිකයන් මේ වන විට කැපවෙලා කටයුතු කරනවා.

මාධ්‍යවේදීන්- සුළි සුළගට භය නැති වත්මන් ආණ්ඩුව ගෝඨාභයගේ එළියට භයයි කියනවා. ඇත්තද ඒක?

ඇමැතිවරයා - ගෝඨාභයට භය වෙන්න තිබුණේ එයාට බලය තියෙන කොට.බලයක් නැති ගෝඨාභයට මොනවාට භය වෙන්නද ?

මාධ්‍යවේදීන් - ගොඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමක් සිදු වෙයිද?

ඇමැතිවරයා -ඒක මම දන්නේ නෑ.ඒක අධිකරණ කටයුත්තක්නේ.ඒ ගැන පැහැදිලිව කියන්න බෑ. යැයි පැවසීය. 

නව අදහස දක්වන්න