වඳවී ගොස් ඇතැයි සැක මුහුදු ඌරන් කල්පිටිය කළපුව ආශ්‍රිතව සිටින බව හෙළිවෙයි | දිනමිණ

වඳවී ගොස් ඇතැයි සැක මුහුදු ඌරන් කල්පිටිය කළපුව ආශ්‍රිතව සිටින බව හෙළිවෙයි

මානෙල් පුෂ්ප කුමාරි

ශ්‍රී ලංකාවේ මුහුදු තීරයෙන් වඳවී ගොස් ඇතැයි සැක කෙරුණු මුහුදු ඌරන් කල්පිටිය කලපුවේ දූපතක් ආශ්‍රිතව සිටින බවට අනාවරණය වී ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉකුත්දා (05) ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැත්වූ සම්මන්ත්‍රණයේ දී සංචාරක මඟ පෙන්වන්නෙකු වන සමිත් ප්‍රනාන්දු මහතා මේ බව හෙළි කළේය.

මේ වසරේ නොවැම්බර් මස 08 වැනි දින දහවල් 12.30ට පමණ සංචාරකයන් පිරිසකට කඹරමුල්ලා ඩොල්ෆින් විශේෂය පෙන්වීමට කල්පිටිය කලපුවට ගිය අවස්ථාවේ එම කලපුවෙන් මුහුදු ඌරන් 05 දෙනෙකු සමිත් මහතා දැක ඇත.

ඒ මහතාගේ මුහුදු අත්දැකීම්වලට අනුව කොළපාට ජලයේ බහුල වශයෙන් ආහාර පවතින බවත් ඒ ආශ්‍රිතව මේ තෘණ විශේෂය පාවෙමින් තිබූ බවත් එදින වැසි කාලගුණ තත්ත්වයක් තිබූ බවත් ඔහු පැවසීය.

අද වන විට ඉතා දුලබ මේ සත්ත්ව විශේෂය 19 වැනි සියවසේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ දී මන්නාරම් බොක්ක සහ යාපනය දූපත් ආශ්‍රිතව සැලකිය යුතු ගහනයක් වාර්තා වී ඇත. මේ ප්‍රදේශවලින් 1950 දශකයේ දී වාර්ෂිකව සතුන් 100 - 150 ක් පමණ ධීවරයන් විසින් අල්ලා කොළඹට ප්‍රවාහනය කළ බවට වාර්තා වී තිබේ. පුත්තලම කලපුවේ ද මුහුදු ඌරන් ගහනයක් සිටි බවට වාර්තා ලැබී ඇත.

මෙලෙස මිනිසුන්ගේ ආහාරය සඳහා මරණයට පත් කිරීමෙන් මුහුදු ඌරන් දැඩි තර්ජනයට ලක් වී තිබේ.මස් පිණිස මැරීමට අමතරව වාසස්ථාන අහිමි වීම, වෙනත් සතුන්ට යොදන දැල්වල පැටලීම, නැව් සහ බෝට්ටුවල වැදීම සහ සමුද්‍ර දූෂණය වැනි තර්ජනවලට මුහුදු ඌරන් මුහුණ පායි.

මේ අනුව අධික ලෙස වඳ වීමේ තර්ජනයට ලක් වී ඇති සත්ත්ව කාණ්ඩයක් වන මුහුදු ඌරා සංරක්ෂණය කළ යුතු ජීවියෙකි. මුහුදු ඌරන් සහ ඌ අනුභව කරන තෘණ විශේෂය සංරක්ෂණය කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීම, ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම, පර්යේෂණ සහ සමීක්ෂණ සිදු කිරීම, ධීවරයන්ට වෙනත් විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීම, නීති ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂිත කලාප පිහිටුවීම වැනි ක්‍රියාමාර්ග ගත හැකි වන බව මේ විෂය සම්බන්ධ නිලධාරීහු පෙන්වා දෙති.

ව්‍යාපෘති භාර මහත්වරුන් වන ආචාර්ය ලක්ෂ්මන් පීරිස්,ආචාර්ය ආනන්ද මලවතන්ත්‍රි, ආජන් රාජසූරිය, තුෂාන් කුපුරුසිංහ, රනිල් නානායක්කාර මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.

ඡායාරූපය-සිරිපාල හල්වල

නව අදහස දක්වන්න