රජයට පවරාගත් 'සූරියවැව' ඉඩම්වලට රාජපක්ෂ පාලනය වන්දි ‍ගෙවා නැහැ | දිනමිණ

රජයට පවරාගත් 'සූරියවැව' ඉඩම්වලට රාජපක්ෂ පාලනය වන්දි ‍ගෙවා නැහැ

හම්බන්තො‍ට, මිරිජ්ජවිල සූරියවැව මාර්ගය ඉදිකිරීම සඳහා පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය ආරක්ෂක අංශ යොදවා ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවත් එම ඉඩම් වෙනුවෙන් ශතයක්වත් වන්දි ගෙවා නොමැති බවත් සභානායක, මහා මාර්ග හා විශ්වවිද්‍යාල අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි ඊ‍යේ (07)ජෙ

අත්පත් කරගෙන ඇති ඉඩම් වෙනුවෙන් වන්දි ලෙස රුපියල් මිලියන 1992ක මුදලක් ගෙවීමට ඇති බවත් එම ඉඩම් වෙනුවෙන් පසුගිය රජය නොගෙවූ වන්දි මුදල් ගෙවීම වත්මන් රජය යටතේ සිදුකරන බවත් ඇමැතිවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා 23/2 යටතේ මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසී ය.

මෙම ඉඩම් වෙනුවෙන් ලබාදිය යුතු වන්දි මුදල් වලින් දැනටමත් මිලියන 400ක් පමණ රජය ගෙවා ඇති අතර වන්දි ගෙවීමට ඉතිරිව ඇති ඉඩම් කැබලි 1125 සම්බන්ධයෙන් වන්දි පරික්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ඇමැතිවරයා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසිය.

මිරිජ්ජවිල සූරියවැව මාර්ගය - මංතීරු 06ක් සහිතව කිලෝමීටර් 23.5 දුරක් සඳහා පුළුල් කිරිම සඳහා 2009 වර්ෂයේ සිට ඉඩම් අත්පත් කරගැනීම සිදුකර ඇති අතර ඒ යටතේ මංතීරු 04ක් ඉදිකිරිම දේශීය බැංකු අරමුදල් ව්‍යාපෘතිය මඟින් හැටන් නැෂනල් බැංකුවේ ණය මත සිදුකෙරී ඇත.

හම්බන්තොට සහ සූරියවැව යන ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක තුළ ඉඩම් කැබලි 1958ක් ඒ සඳහා අත්කරගැනීම සිදුකර ඇති අතර ඒ අතරින් වන්දි ගෙවිය යුතු ඉඩම් කැබලි සංඛ්‍යාව එනම් පෞද්ගලික ඉඩම් කැබලි සංඛ්‍යාව 1534කි.

මෙම මාර්ගය පුළුල් කිරිමට අදාලව ඉඩම් අත්කරගැනීමේ පනතේ දෙවැනි වගන්තියේ නිකුත් කිරිම් 2009.01.28 වන දින 2009.04.01 වන දින 2009.08.25 සහ 2010.11.15 යන දිනවලදි සිදුකර ඇත. එමෙන්ම 38 අතුරු විධානය යටතේ කඩිනමින් ඉඩම් අත්පත් කරගැනීම සඳහා 2010.11.10, 2011.01.31 සහ 2013.08.21 යන දිනවල ගැසට් පත‍්‍ර පලකර ඇත.

මේ යටතේ කිලෝමීටර් 05 දක්වා වන කොටස පුළුල් කිරිම 2011 වර්ෂයේ සිට සිදුකර ඇත. ඉතිරි කොටස පුළුල් කිරිම 2013 වර්ෂයේ ආරම්භ කර ඇති අතර 2015 වර්ෂය තුළ අවසන් කලයුතුව තිබුණි. කෙසේවුවත් කොන්ත‍්‍රාත්කරු විසින් ඉදිකිරිම් කටයුතු ප‍්‍රමාද කිරිම හේතුවෙන් සංවර්ධන කටයුතු 2016 වර්ෂය දක්වාම සිදු වී ඇත. ඉඩම් අත්පත් කරගැනීම් පසුගිය රජය විසින් 2009 වර්ෂයේ ආරම්භ කර ඇති අතර වන්දි ගෙවීමද 2009 සිට 2014 දක්වා වර්ෂවල සිදුවිය යුතුව තිබිණ. කෙසේවුවත් අත්පත් කරගත් ඉඩම් සඳහා වන්දි ගෙවීම් පසුගිය රජය කාලය තුල සිදු වී නොතිබුණ අතර ඉඩම් සඳහා වන්දි ගෙවීම් පිණිස අදාල වටිනාකම් තක්සේරු කිරිම පවා උක්ත වකවානු තුළ සිදුවී නැත. වර්තමාන රජය බලයට පත් වු පසු අත්පත් කරගෙන ඇති ඉඩම් සඳහා ගෙවිය යුතු වන්දි ප‍්‍රමාණය ඇස්තමේන්තු කිරිම ආරම්භ කරන ලද අතර ඒ අනුව වන්දි ගෙවීම් අවශ්‍ය ඇස්තමේන්තු ගත මුදල මිලියන 1992 කි.

දැන් පසුගිය ආණ්ඩු කාලයේ මේක පවරගෙන තියෙනවා. සතයක්වත් වන්දි ගෙවලා නැ ගරු කථානායකතුමනි. මිලියන 1992ක් වන්දි ගෙවන්න තියෙනවා. පසුගිය ආණ්ඩු කාලයේ බලහත්කාරයෙන් මේ ඉඩම් පවරගත්තේ. කිසිම තක්සේරුවක් නැතුව ඉඩම් පවරගත්තා බලහත්කාරයෙන්.

2015 වර්ෂයේ සිට මාගේ අමාත්‍යාංශය ඉඩම් අත්පත් කරගැනීම සඳහා වාර්ෂිකව වෙන්කරනු ලබන ප‍්‍රතිපාදන මත ඉහත අත්පත් කරගැනීම් සඳහා වන්දි ගෙවීම් කටයුතු ආරම්භ කර ඇත. මේ වන විට ඉඩම් කැබලි 281 ක් සඳහා මිලියන 370.2 ක් වන්දි මුදල් ප‍්‍රමාණයක් ගෙවා නිමකර ඇති අතර තවත් ඉඩම් කැබලි 128ක් සඳහා මිලියන 101.1ක වව්චර්පත් මහාමාර්ග අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත. ඒ සඳහා වන ප‍්‍රතිපාදන හා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති අතර ප‍්‍රතිපාදන හා මුදල් ලද වහාම අදාළ වන්දි ගෙවීමට කටයුතු කරනු ලැබේ.

ඊට අමතරව ඉතිරි ඉඩම් කැබලි 1125 සම්බන්ධයෙන් හම්බන්තොට සහ සූරියවැව ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාල මඟින් වන්දි පරීක්ෂන කටයුතු දැනට සිදුකරමින් පවති. හිමිකම් තීරණය කර ඊට අදාළ වන්දි මුදල් තක්සේරු කොට වව්චර්පත් මෙම අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කල පසු ගෙවීමේ කටයුතු සිදුකල බව සඳහන් කරමි. ඇත්තවශයෙන්ම මේ හම්බන්තොට ප‍්‍රදේශයේ මංතීරු 06ක පාරක්. මංතීරු 04ක් තිබ්බානම් හොඳටම ඇති. නමුත් මංතීරු 06ක් සඳහා බලහත්කාරයෙන් හමුදාව දාලා ඉඩම් පවරගෙන තියෙනවා.. සතයක්වත් වන්දි ගෙවලා නෑ. දැන් ඒ බර ඔක්කොම අපිට තමා උසුලන්න වෙලා තියෙන්නේ, ගරු කථානායකතුමනි. නමුත් අපි එ් වන්දි ගෙවනවා. දැනටමත් මිලියන 400ක් විතර ගෙවලා තියෙනවා.

ගරු කථානායකතුමනි, පසුගිය ආණ්ඩු කාලේ ඉඩම් පවරගත්ත ආකාරය මැනවින් පැහැදිලි වෙනවා. මිලියන 1992 ක් වටිනා ඉඩම් බලහත්කාරයෙන් පවරගෙන සතයක්වත් ගෙවලා නැහැ. නමුත් අපි ගෙවනවා. 

නව අදහස දක්වන්න