ශ්‍රීලනිප ඇමැතිවරු වරප්‍රසාද අතහැර ජනතාව වෙනුවෙන් එළියට බැසීමට සුදානම් නැහැ | දිනමිණ

ශ්‍රීලනිප ඇමැතිවරු වරප්‍රසාද අතහැර ජනතාව වෙනුවෙන් එළියට බැසීමට සුදානම් නැහැ

සමන්මලී ප්‍රියශාන්ති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු සිය ඇමැතිකම් හා වරප්‍රසාද අතහැර ජනතාව වෙනුවෙන් එළියට බැසීමට සුදානම් නැති නිසා ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා බිඳ වැටුණේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කෙළේය.

ඒ මහතා මේ බව පැවසුවේ බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ දී ඊයේ (07) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවැසීය.

පොහොට්ටුව කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් රැක ගැනීමේ මෙවලමක්. මේ ආණ්ඩුව ගෙන යන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට යටත්වයි. එවැනි අවස්ථාවක අපට එකතු වීමේ හැකියාවක් නැහැ.

එක්සත් ජාතික පක්ෂය රටේ යහපතට නෙවෙයි පක්ෂයේ සහ ඒ උදවියගේ යහපත වෙනුවෙනුයි ප්‍රතිපත්ති හදන්නේ. මහ බැංකු මංකොල්ලය කලෙත් ඒකට. දිගින් දිගටම ජනතා විරෝධී වැඩ කරමින් ජනතාවට පව් නො දී වද නො දී ඉල්ලා අස්වෙලා යන්න. අගමැතිවරයා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශ කරන්න හදනවා. මේ විශේෂ ප්‍රකාශවලින් රටට ඇති වු සෙතක් නැහැ. අපි මේ රටේ අයිතීන් ආරක්ෂා කරමින් හැමදාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරනවා. අද ඉන්න එකම විරුද්ධ පක්ෂය අපියි. ආණ්ඩුවත් එක්ක ඩීල් දාගෙනයි අනිත් විපක්ෂයේ පක්ෂ ඉන්න. ඩීල් දාගන්න බැරි නිසා අපිට කතා කරනවා හවුල් වෙන්න.

පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා-ජනතාව ජනවාරි 08 වැනිදා වෙනසක් බලාපොරොත්තු වුනත් අද ඒ වෙනස ගැන ජනතාව තීප්තිමත්ද කියලා තීරණය කරන්න අවස්ථාවක් ඇවිත් තිබෙනවා. ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ උරුමක්කාරයා කවුදැයි ජනතාව තීරණය කරයි.

ජීවින වියදම අද වැඩිවෙලා තිබෙනවා. අක්කර ලක්ෂ තුනක් වී ගොවිතැන නැවැත්තලා දැන් හාල් පොල් පිටරටින් ගේන්න වෙලා. ජනතාවගේ ජිවිනෝපාය මාර්ග වැහෙමින් තිබෙනවා. හම්බන්තොට 340කගේ රැකි රක්ෂා අහිමි වෙන්න නියමිතයි. රටේ සම්පත් කුණු කොල්ලයට විකිණෙනවා. මේ රජය සේරටම වඩා උනන්දුවක් දක්වන්නේ රටේ ජාතික සම්පත් විකූණා දමන්න.එයින් සාක්කු පිරෙනවා.ජාතික ධනය නැති වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා-ආණ්ඩුව කෙකර ගාලා කොකර ගාලා පළාත් පාලන මැතිවරණය තියන්න සූදානම් වෙනවා. පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට සංශෝධන රැසක් ඉදිරිපත් කරලා සම්මත කරගත්තා. එයින් ක්ෂේත්‍ර නිලධාරින්ට ඡන්දයට ඉදිරිපත් වීමට තිබුණු අයිතිය නැති කළා. අද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ මගින් මේ පනතේ වගන්තිවල වැරදි අඩුපාඩු මග හැරවීමයි පරමාර්ථය. සම්මත කරපු ඉංගි‍්‍රසි හා සිංහල කෙටුම්පත් අතර පරස්පරතාවයක් තියෙන බවයි කියන්නේ.

ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා-මේ ආණ්ඩුව බලයට එන කොට 80% තිබුණු වක්‍ර බද්ද 60% කරනවා කිව්වා. මේ අවුරුද්ද තුලම 70%කින් වැට් බද්ද වැඩි කරලා. පොරොන්දු වුණේ අඩු කරන බවටයි. මොනවා පොරොන්දු වුනත් අයවැය ඉදිරිපත් කරද්දි එළැඹෙන වසරේ දී වෙන්නෙත් මේකමයි. ආණ්ඩුවට පක්ෂ ආර්ථික විද්‍යාඥයින් පවා වක්‍ර බද්ද 83%ට වැඩිවූ බව කියනවා. අනිත් පැත්තේන් කෝටිපතියන්ගෙන් අයකරන බදු වැඩි කරන බව කිව්වට එහෙම කරලා නැහැ. 20% ක් වුනු සෘජු බද්ද 40%ක් කරනවා කිව්ව ආණ්ඩුව එය 17%ක් බවට පත් කරලා. රට ආර්ථික වශයෙන් කඩා වැටෙනවා විතරක් නෙවේ ණය බරින් වැඩි කරලා. අපේ ජලය පිටරට ඇමරිකන් සමාගමට භාර දෙන්න සූදානම. ඒ විදියේ රට විකුණන වැඩපිළීවෙළක් තමයි ආණ්ඩුව ගෙනයන්නේ. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් රට බේරා ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ මැතිවරණයෙන් ඇරඹෙන්නේ රට බේරා ගැනීමේ ගමනයි. යැයි කීවේය. 

නව අදහස දක්වන්න