අය-වැය ණය යෝජනා ජනවාරියේ සිට ක්‍රියාවට | දිනමිණ

අය-වැය ණය යෝජනා ජනවාරියේ සිට ක්‍රියාවට

කමනි අල්විස්

මෙවර අයවැයෙන් හඳුන්වා දී තිබෙන සියලුම ණය යෝජනා ක්‍රම ලබන වසරේ ජනවාරියේ සිට ක්‍රියාත්මක කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග සිදුකරගෙන යන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. ඉතාමත් අඩු පොලී, පොලී නොමැති, ඇපකර නොමැති ණය යෝජනා ක්‍රම මේ අතර වේ.

කිසිදු බැංකුවකින් ලබානොදෙන ඇදහිය නොහැකි අවම පොලී යටතේ ණය මුදල් ලබාගැනීමට මේ යටතේ අවස්ථාව සැලසෙන බවත් රාජ්‍ය ඇමැති වික්‍රමරත්න මහතා පැවසීය.

සාමාන්‍ය ජනතාව, සුළු පරිමාණයේ ගොවීන් , ගොවි සංවිධාන, සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්, ස්වයං රැකියාලාභීන් තරුණ තරුණියන්, මාධ්‍යවේදීන් යන විවිධ ක්ෂේත්‍රවල උදවියට මෙමඟින් ප්‍රතිලාභ අත්විඳීමට මේ අනුව අවස්ථාව ලැබෙයි. මෙම ණය යෝජනා ක්‍රියාත්මක කිරීමේ පසුබිම දැනටමත් සකස් කර තිබෙන මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා, ඒ සඳහා කාර්ය සාධක බළකා කීපයක් පත්කර තිබෙන බවද රාජ්‍ය ඇමැති වික්‍රමරත්න මහතා පැවසීය.

නීල හරිත, සංහිඳියාව, ත්‍රිරෝද රථ මුදල් ණය යෝජනා ක්‍රමවලට අදාළ කාර්ය සාධන බළකා අනුව පත්කර තිබේ. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, උපදේශකවරු, විශේෂඥයන් මාසයකට වතාවක් අදාළ අමාත්‍යාංශවලින් කාර්යභාරය ඉෂ්ට වේදැයි පසුවිපරමක යෙදෙන බව පැවසු රාජ්‍ය ඇමැති වික්‍රමරත්න මහතා ඊට අමතරව සෑම සතියකම තමා අදාළ පසුවිපරමේ යෙදෙන බවත් කීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (7) මෙවර අයවැය කවුරු වෙනුවෙන්ද යනුවෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න