හම්බන්තොට ගිවිසුමට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කිරීමට අවසරය | දිනමිණ

හම්බන්තොට ගිවිසුමට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කිරීමට අවසරය

නෙල්කා මැදගෙදර

හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රිත ඉඩම් අක්කර 1500ක් චීනයට වසර 99කට බදුදීමට ඇතිකර ගත් ගිවිසුමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ‍ගොනු කිරීම සඳහා නීතිපතිවරයාට අවසරදීමට ‍ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (7) තීරණය කෙළේය.

ඒ අනුව එම විරෝධතා සති දෙකක දී ගොනු කරන ලෙස නියම කළ අධිකරණය පෙත්සම ජනවාරි මස 11 දින කැඳවීමට නියම කෙළේය.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ හා විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

ගුණදාස අමරසේකර, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, නීතිඥ කපිල ගමගේ ඇතුළු හය දෙනකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

හම්බන්තොට වරාය චීනයට බදුදීම සඳහා වන ගිවිසුමක් ශ්‍රී ලංකා බලධාරීන් සහ චීන බලධාරීන් අතර අත්සන් කළ බව පවසන පෙත්සම්කරුවන් එම ගිවිසුම කැබිනට් අනුමැතිය ලබාගත් ගිවිසුමෙහි කෙටුම්පතට වඩා වෙනස් කරුණු ඇතුළු වූවක් බව පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

මෙලෙස ගිවිසුමකින් වරාය සහ ඒ ආශ්‍රිත අක්කර 1500ක භූමි ප්‍රමාණයක් වෙනත් රටකට ලබාදීමෙන් මෙරට වැසියන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් පෙන්වා දෙති.

එබැවින් එම ගිවිසුම බලරහිත කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

නීතිඥ කපිල ගමගේ මහතාගේ උපදෙස් මත නීතිඥ මනෝහාර ද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් සංජේ රාජරත්නම් මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටී. 


නව අදහස දක්වන්න

Or log in with...