ක්ලේමෝ පාක්‍යන් ඇතුළු කොටි සංවිධානයේ 7ක් බර වැඩ ඇතිව වසර 56ක් හිරේ | දිනමිණ

ක්ලේමෝ පාක්‍යන් ඇතුළු කොටි සංවිධානයේ 7ක් බර වැඩ ඇතිව වසර 56ක් හිරේ

අනුරාධපුර මධ්‍යම විශේෂ

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පරීක්ෂණ කටයුත්තක් සඳහා පැමිණි වෛද්‍යවරයකු ඇතුළු දේශීය සංචාරකයන් හත්දෙනෙකු ගමන් කළ කැබ් රථයක් ඉලක්කකර ක්ලේමෝ බොම්බයක් පුපුරුවා හැර ඔවුන්ගේ මරණය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා අටකට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ වරද පිළිගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නම් දැරූ ක්ලේමෝ බෝම්බ පුපුරවා හරින්නෙකු වූ ක්ලේමෝ පාක්‍යන් ඇතුළු විත්තිකරුවන් හතකට වසර පනස් හය බැගින් බරපතළ වැඩ සහිත සිර දඩුවම් පැනවිණි.

අනුරාධපුර විශේෂ මහාධිකරණ හිටපු විනිසුරු හා වර්තමාන උතුරුමැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරන විනිසුරු මහෙෂ් වීරමන් මහතා මේ දඬුවම් නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහිව නගාතිබූ අධි චෝදනා අටකට වසර හත බැගින් වසර 56ක සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එම දඬුවම එකවර ගෙවියන ලෙස නියෝග ලබා දුන්නේය.

මෙලෙස බරපතළ වැඩ සහිත දඬුවම් නියම වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයන් හත්දෙනෙකු වූ සිමියොන් සන්දරයෝගු නොහොත් ක්ලේමෝ පාක්‍යම්, රාගවන් සුරේෂ් නොහොත් පුදියවන්, සිරිල් රාසමනී නොහොත් සීරාලන්, සින්නප්පන් පාක්‍යනාදන් නොහොත් පාක්‍යම් අයියා, මුත්තු මරික්කාර් අබ්දුල් සලීම් නොහොත් සලීම් අයියා, සාන්දන් ස්ටැනිස් රමේෂ් නොහොත් වල්ලුවන්, නඩරාසා සරවන බවන් නොහොත් සීට්ටු යන විත්තිකරුවන්ටය.

ඔවුන් මන්නාරාම වව්නියාව පුත්තලම හා චාවකච්චේරි යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

විත්තිකරුවන් 2011වර්ෂයේ දී මහනුවර මධ්‍යම පළාත් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසර හයකට වැඩි කාලයක් අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාරගතව සිටියහ.

මෙම නඩුවේ සිවුවන විත්තිකරු වන සින්නප්පන් පාක්‍යනාදන් නොහොත් පාක්‍යම් අයියා යන හිටපු ත්‍රස්තවාදි සමාජීකයාට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 241 වගන්තිය ප්‍රකාරාව වව්නියාව මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමකර තිබේ.

විත්තිකරුවන් වර්ෂ 2006 මැයි මස පළමුවනිදා සිට මැයි මස 26 වනදා දක්වා කාලයේ දී විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළුවී එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සමාජිකයන් හෝ අපරාධකරුවන් ලෙස පෙනී සිටිමින් දේශීය සංචාරකයන් ගමන් කළ කැබ් රථයක් ඉලක්කකර බෝම්බ ප්‍රහාරයන් එල්ල කිරීමට එක්ව ක්‍රියාකිරීම, අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම, වර්ෂ 2006 මැයි මස 27 වනදා බෝම්බ ප්‍රහාරය එල්ලකර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 113(අ) හා 102 වගන්තිය සමඟ කියවෙන වර්ෂ 1988 අංක 22 සහ 1982 අංක 10 දරණ පනතින් සංශෝධිත 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) 2(1)(ඌ) වගන්තිය සමඟ කියවියයුතු 3(අ) සහ 3(ආ) වගන්තිය ප්‍රකාරව වරදක් සිදුකර තිබෙන බවට නීතිපතිවරයා අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.

ත්‍රස්තවාදීන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කොක්මොටේ ගග ප්‍රදේශයේ පිහිටි කට්ටාරම්බු විල ප්‍රදේශයේ සැගවී කැබ් රථය ඉලක්කකර අධි බලැති ක්ලේමෝ බොම්බය පුපුරවා හැර වෛද්‍යවරයා ඇතුළු දේශීය සංචාරකයන් හත් දෙනාගේ මරණය සිදුකර තිබුණි. බෝම්බ ප්‍රහාරයෙන් නිහාල් සිල්වා, නන්ද අඹේසූරිය, දිසානායකගේ අනුර දිසානායක, හෙන්ද්‍රි ඊවා අබේසූරිය, චන්ද්‍රන් ආශිර්වාදන්, ඩැරල් චාල්ස් පෙරේරා හා අනුලා ආශිර්වාදන් යන පිරිස මරණයට පත්වී තිබුණි.

නඩුවේ ප්‍රධාන විත්තිකරුවූ හිටපු එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සමාජිකයෙකුවන සිමියොන් සන්දරයෝගු නොහොත් ක්ලේමෝ පාක්‍යම් නැමත්තා ප්‍රහාර සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කරමින් කියා තිබුණේ මෙම ප්‍රහාරය යුද හමුදා කැබ්රථයක් බවට ලැබුණු වරැදි තොරතුරුමත අත්වැරදීමකින් එල්ල වූ එකක් බවයි. එම අවස්ථාවේ ප්‍රහාරයට අණදුන් කමාන්ඩර් පහිදරන් නැමත්තා ලබාදුන් වැරැදි තොරතුරකට අනුව පිපිරවීම කළ බවත් පසුව එම කැබ් රථයේ වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් ගමන්කර ඇති බව දැනගත්තේ යැයි ඔහු පවසා තිබුණි.

මෙම සිද්ධියෙන් පසුව ප්‍රහාරයට වැරැදි අණක්දුන් කමාන්ඩර් පහිදරන් නැමත්තා ඇතුළු පිරිසට එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයා මාස හයක සිර දඬුවම් නියම කළ බවත් ප්‍රහාරයෙන් පසුව මියගිය වෛද්‍යවරයා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සේවය කරන පුද්ගලයකු නිසා තමන් එල්ල කළ ප්‍රහාරය පිළිබඳව දැඩිව කනගාටු වූ බවත් පාපොච්චාරණයේ සඳහන් කර තිබුණි. 

නව අදහස දක්වන්න