මන්ත්‍රීවරු එහේ හිටියට ජනතාව ඉන්නේ අපේ පැත්තේ | දිනමිණ

මන්ත්‍රීවරු එහේ හිටියට ජනතාව ඉන්නේ අපේ පැත්තේ

පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා

පළාත් පාලන ඡන්දය සම්බන්ධ කාරණා , ශ්‍රීපාදස්ථානය අයිති දිස්ත්‍රික්කය පිළිබඳ ගැටලුව, ශ්‍රීලනිපයේ බෙදීමට හේතු සහ ඉදිරි මැතිවරණයට එය කෙසේ බලපායිද ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා සමඟ කළ සාකච්ඡාවකි.

* මට එදත් ජනවරමක් තිබ්බා අදත් තියෙනවා
* විශ්වාසභංගවලට මම කිසිම බයක් නෑ
* අපි ඡන්ද කරන්නේ පරාජය වෙන්න නෙවෙයි

පසුගිය වසරේ රජය මඟින් ලබා දී තිබෙන ප්‍රතිපාදන උපයෝගි කර ගනිමින් වැඩ කළ වඩාත්ම කාර්යක්ෂම අමාත්‍යාංශය ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පත්ව තිබෙනවා. මොකද හිතෙන්නේ

භෞතික හා මුල්‍ය ප්‍රතිපාදන සියයට අනූ එකකටත් වඩා වැඩියෙන් භාවිතා කරමින් අපි ජනතාවට සේවය කරලා තියනවා. අඛණ්ඩව වසර තුනක්. ඒත්... අවාසනාවකට රටට ගිය පණිවිඩය තමයි සීමා නිර්ණය පිළිබඳ ප්‍රශ්නය. හැබැයි පසුගිය කාලයේ අපේ අමාත්‍යාංශය දැවැන්ත සංවර්ධනයක් කරලා තියනවා. ඒ නිසා පළාත් සභා හා පළාත් පාලන ආයතන මගින් ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කිරී‍ම වෙනුවෙන් විශාල වැඩ කොටසක් අපි කරලා තියනවා. ඒ නිසා තමයි අපිට මේ ඇගයීම ලැබුණේ.

පළාත් පාලන මැතිවරණයට දැන් තවත් පොල්ලක් වැටිලා තියනවා. අඹගමුව ප්‍රාදේශීය සභා ඡන්දයට එරෙහිව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබෙනවා. මේ පෙත්සම ඡන්දයට කොහොම බලපායිද?

මේක ඡන්දය පැවැත්වීමට කිසිම බාධාවක් වෙන්නේ නෑ. තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියනවා කියලා ඕනෑම කෙනෙකුට උසාවි යන්න පුළුවන්. ඒක පුද්ගලයන් සතු අයිතියක්. ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක්. හැබැයි අපි සත්භාවයෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කිසිම කෙනෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ලෙසට අපි අඹගමුව ප්‍රාදේශීය සභාව වෙන් කරලා නෑ. ඒක මා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

පළාත් පාලන ඇමැතිවරයා විදියට ඔබ පසුගිය කාලයේ ටිකක් පීඩනයෙන් සිටි බවක් පෙනුණා එවැනි තත්ත්වයක් ඔබට තිබුණද?

මට කිසිම පීඩනයක් තිබුණේ නෑ. දේශපාලනය කරන කොට හොඳ වගේම නරකත් අහන්න වෙනවා. ඒක තමයි දේශපාලනයේ ස්වභාවය. හැබැයි තමන්ගේ කටයුතු සත්භාවයෙන් යුතුව කරනවා නම් කිසිම බයක් සැකක් නැතිව ඉස්සරහට යෑමේ හැකියාව තියන බව මා විශ්වාස කරනවා. දේශපාලනයේ දී බොහෝ‍ දෙනා විවිධ දෘෂ්ටිකෝණවලින් බලනවා. ඒ වගේම ඡන්ද පරක්කු වීමේ පීඩනය ජනතාවටත් තියනවා. දේශපාලනඥයන්ටත් තිබෙනවා. දේශපාලන පක්ෂවලටත් තියනවා. ඒ නිසා ඒකෙදි බිලි බෝයි කෙනෙක් හොයන එක ලංකා දේශපාලනයේ ඉතිහාසයේ දැකලා තියනවා. මා දරපු තනතුර පදනම්කරගෙන නොයෙක් අය නොයෙක් දෝෂාරෝපණ කළා. හැබැයි අධිකරණයේදී මා නිර්දෝෂී බව පැහැදිලිවම කියන්න ඕනෑ.

පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම ප්‍රමාද වීම නිසා චෝදනා එල්ල වෙනවා. ඔබට චෝදනා කරන සමහරු කියන්නේ මේ පළාත් පාලන ඡන්ද දිගින් දිගටම කල් දැම්මේ ඔබ මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් නොවූ අයෙකු නිසාත් ඡන්දයේ වටිනාකම පිළිබඳව ඔබ දන්නේ නැති නිසාත් කියලා. ඔවුනට දිය හැකි පිළිතුර මොකක්ද?

මම මහනුවර දිස්ත්‍රික්කයෙන් දෙපාරක්ම මහජන ඡන්දයෙන් පත් වූ අයෙක්. මෙවර ජනාධිපතිතුමා මට ජාතික ලැයිස්තුවෙන් තරග කරන්න කියලා කිව්වා. ඒකට හේතුව මම පක්ෂය වෙනුවෙන් විවිධ කටයුතුවල නියුතුව සිටි නිසයි. මම කවදාවත් ඡන්දය නොඉල්ලපු කෙනෙක් නෙවෙයි. ඡන්දයට බය කෙනෙකුත් නෙවෙයි. මට එදත් ජනවරමක් තිබ්බා. අද වුණත් මට ජනවරමක් තියනවා කියා මා විශ්වාස කරනවා.

ශ්‍රීපාදස්ථානය මෙතෙක් අයත්ව තිබුණේ රත්නපුර දිස්ත්‍රික්කයට. නමුත් ඔබගේ ගැසට්ටුවෙන් පසු එය නුවර එළිය දිස්ත්‍රික්කයට අයත්ව තිබෙන බවට චෝදනා නැගෙනවා. මේ චෝදනාවල ඇත්තක් තියනවාද?

ඒ චෝදනාව මා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරන්නත් මට ප්‍රතිපාදන නෑ. රත්නපුර දිස්ත්‍රික්කයේ තිබුණු ආගමික ආයතනයක් නුවරඑළියට දාන්න මට කිසිදු නෛතික බලයක් නෑ. ඒ නිසා මේ ප්‍රකාශවල කිසිම සත්‍යතාවයක් නෑ.

ඔබට සහතිකයි ශ්‍රී පාදස්ථානය තවදුරටත් රත්නපුර දිස්ත්‍රික්කයටම අයත් බවට.

ඔව්, සත්‍ය වශයෙන්ම

පළාත් පාලන මැතිවරණය නිදහස් දිනට පසු එළඹෙන සෙනසුරාදා, පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. පී.හැරිසන් ඇමැතිවරයා පළාත් පාලන මැතිවරණය පෙබරවාරි දහවැනිදා පවත්වනවා කියලා කිව්වා. මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා පසෙක සිටිය දී ඇයි මේ දේශපාලනඥයන් මැතිවරණයට දින වකවානු වෙන් කරන්නේ.

මැතිවරණයක් පැවැත්වීමට රජයේ සහාය අවශ්‍යයි. ඒ දිනවල පාසල් වහලා සම්බන්ධීකරණ කටයුතු රැසක් කරන්න ඕනෑ. ඉතිහාසයේදිත් රජය විසින් මැතිවරණය පැවැත්විය යුතු දිනයන් යෝජනා කර තිබෙනවා. ඒ දින පිළිගෙන ඡන්දය පැවැත් වූ සම්ප්‍රදායක් තිබුණා. ඒ නිසා අගමැතිතුමා හෝ ඇමැතිවරයා මැතිවරණ දින නම් කිරීම ගැටලුවක් තියනවා කියා මා හිතන්නේ නෑ.

නමුත් ඒකාබද්ධ විපක්ෂයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා නම් කියන්නේ මේ ක්‍රියාව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාට සිදු කළ අනියම් බලපෑමක් කියලයි.

උදය ගම්මන්පිල දන්න නීතියයි මං දන්න නීතියයි අතර යම් වෙනසක් තියෙන්න පුළුවන්. එතුමා ‍එහෙම කියනවානම් එතුමා එක මතයක ඉන්න පුළුවන්. මං තව මතයක ඉන්න පුළුවන්. උසාවිය තීන්දුවක් දුන්නේ නැතිනම් මේ සම්බන්ධයෙන් මත දෙකක් හැටියට එය පවතීවි.

ඔබට එරෙහිව විශ්වාසභංග දෙකක් ඉදිරිපත්ව තිබෙනවා. මේ අභියෝගයට මුහුණදීමට සූදානම්ද?

මම නිර්දෝශියි. මේ විශ්වාසභංගවලට මට කිසිම බයක් නෑ. මේ විශ්වාසභංග විභාගයට ගන්නා අවස්ථාවේදී පාර්ලිමේන්තු බහුතරය මට ලබා ගන්න පුළුවන් කියන දැඩි විශ්වාසය මා තුළ පවතිනවා.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම කොහොමද?

අනිවාර්යෙන්ම අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා.

කොහොමද විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා කියන්නේ. ඒකාබද්ධ විපක්ෂය වෙනම ෙන් ඉල්ලන්නේ.

ඕනෑම පක්ෂයක් දෙකට බෙදෙනකොට බලපෑමක් තියනවා. ඒත් ඒ අභියෝගයට මුහුණ දී ජය ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව තිබෙනවා.

පක්ෂය දෙකට කඩා ගන්නේ නැතිව එකට ගියානම් තමයි පාක්ෂිකයන්ට හොඳ නේද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමේ වාසිය ගන්නේ එක්සත් ජාතික පක්ෂයයි. මේ බෙදීම කරන්නේ පොහොට්ටුවේ උදවියයි. එයාලා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් කියන සැකය අපිට තිබෙනවා.

පොහොට්ටුවේ ප්‍රධානින් ලෙස ඉන්නේ බැසිල් රාජපක්ෂ ජී.එල්.පීරිස් මහත්වරුන්. එයාලා එජාප ජයග්‍රහණයට පාර කපනවා කියලද ඔබ කියන්නේ.

ජී.ඇල් පීරිස් ගැන අපි හොඳට දන්නවා. එයා උදේ පොත එක පැත්තකට හරවනවා. හවස පොත තව පැත්තකට හරවනවා. එයා ගැන ඊට වඩා කතා කරලා වැඩක් නෑ. ජී.ඇල්.පීරිස් කියන්නේ එක පොතම දෙපැත්තට හරවන්න පුළුවන් කෙනෙක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ධුර දරමින් වෙනත් පක්ෂ ප්‍රවර්ධනය කරන්න බෑ. එලෙස කටයුතු කරන ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? පොදුජන පෙරමුණට සහාය දෙන අය සම්බන්ධයෙන්.

ඒ ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගනියි. ඕනෑම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් වෙනත් පක්ෂයකට සහාය දුන්නොත් ඒ පක්ෂය නිකන් ඉන්නේ නෑනේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දීම දැන් වසරකටත් වැඩි කාලයක සිට කෙරෙනවා. ඒත් තවම විනය ක්‍රියාමාර්ග අරන් නෑ.

මේ පළාත් පාලන ඡන්දයේ දී ඍජුවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂවලට සහාය දෙනවානම් අනිවාර්යෙන්ම ඒ අය පිළිබඳ මධ්‍යම කාරක සභාව තීන්දු ගන්නවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා “එළිය” සම්මන්ත්‍රණයකදී කියා සිටියේ බලය බෙදීම ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොවේ කියලයි. මේ මතය ගැන මොනවද හිතන්නේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය අපි ඉදිරිපත් කරලා තියනවා. අපේ රටේ ඒකීයභාවය රැකගෙන ස්වෛරීභාවය රැකගෙන රටට හානියක් නොවන විදියට බලය විමධ්‍යගත කිරීම කිසිම ගැටලුවක් නෑ. එවැනි බල බෙදීමකට අපි එකඟයි. තාම සාකච්ඡා යනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරියේ දී එයිද?, තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන එයිද? මේවා දැන්ම කියන්න බෑ. තවම කෙටුම්පතක්වත් හැදිලා නෑ.

එතකොට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය ඔබට සහතිකයිද?

ඔව්, අපි ඡන්ද කරන්නේ පරාජය වෙන්න නෙවෙයි.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් සහාය දෙන්නේ පොදු‍ජන පෙරමුණට නේද?

බහුතර මන්ත්‍රිවරුන් හිටියට බහුතර පාක්ෂිකයෝ ඉන්නේ කොතනද කියලා බලමුකෝ. මන්ත්‍රීවරුන් එහේ හිටියට ජනතාව ඉන්නේ අපිත් එක්ක. අනික මැතිවරණයකදී ජයග්‍රහණය තීරණය කරන්නේ පාවෙන ඡන්ද. මේ රටේ වෙනස ඇති කරන්නේ හැමදාම ලේබල් ගහගත්ත ශ්‍රීලනිප පාක්ෂිකයෝවත් එජාප පාක්ෂිකයෝවත් නෙවෙයි. පාවෙන ඡන්ද , නිහඬ ඡන්ද තමයි රටේ දිශාව තීන්දු කරන්නේ. එයාලා තමයි රටට ඕනෑ. එජාපයද ශ්‍රීලනිපයද පොහොට්ටුවද කියා තීන්දු කරන්නේ. අපිට මේ නිහඬ පාවෙන ඡන්ද ගැනත් ලොකු විශ්වාසයක් තියනවා. 

ගාමිණී බණ්ඩා­ර­නා­යක    

නව අදහස දක්වන්න