ඒකාබද්ධයේ කෑලි හැලෙද්දී එජාපය ගෙන් ගෙට යන්න හදයි | දිනමිණ

ඒකාබද්ධයේ කෑලි හැලෙද්දී එජාපය ගෙන් ගෙට යන්න හදයි

* රාජිතට සජිත්ට ජනපතිෙගන් පැසසුම්
* දිනේශ් මෛත්‍රීගේ සන්ධානයේ

දකුණු කොරියාවේ සාර්ථක සංචාරයකින් පසුව සියරට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි කතාබහක් ඇතිව තිබුණා. ජනාධිපතිතුමාට සෝල් නුවර ගෞරවනීය පුරවැසිභාවය හිමිවීම එම කතාබහට මුල් වුණා. ඇතැමුන් ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැන් ද්විත්ව පුරවැසිභාවයක් දරන නිසා ජනාධිපතිධුරයට නුසුදුස්සකු බවට පත්ව ඇති බවයි. කෙසේ වෙතත් තතුදත් විද්වතුන් පෙන්වා දුන්නේ එය වැරදි අදහසක් බවත් ගෞරවනීය පුරවැසිභාවය යන්න සම්මානයක් පමණක් වන බවත් ය. ඉන් පසුව එම වැරදි ප්‍රචාරය නැවතුණ බවත් පෙනී ගියා.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී කම්කරු දෙපාර්තමේන්තුවට බඳවාගත් කම්කරු නිලධාරින්ට පත්වීම් ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් පසුගිය සිකුරාදා සිදුවුණා. කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිතුමා ඒ සඳහා එක්ව සිටියා. කම්කරු නිලධාරින් හා නිලධාරිනියන් 191 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම එහි දී සිදු වුණා.

එහි දී කතා කළ ජනාධිපතිතුමා කීවේ හාම්පුතුන්ගේ සාක්කුවට නොවැටී සේවක සේවිකාවන්ගේ හදවතේ සෙනහස දිනාගැනීම ගැන කම්කරු නිලධාරින් සිතා බැලිය යුතු බවයි. කම්කරු ප්‍රශ්න විසඳන්න ගොස් කම්කරුවන් හමුනොවී, හාම්පුතුන් හා කතාබහකොට සංතෝසම් ලබාගත් කම්කරු නිලධාරින් ගැන කලෙකට පෙර තමන්ට අසන්නට ලැබුණු බව කී ජනාධිපතිතුමා මෑතක එම තත්ත්වය වාර්තා නොවූ බව ද කීවා. රජයේ සේවයට එක්වීමට අවස්ථාව හිමිකරගත් මෙම පිරිස වාසනාවන්තයින් බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ජාතික ආපදාවක දී රජයේ සේවකයන් කරන විශිෂ්ට සේවය ගැන මතක්කොට එය අගය කිරීමටත් ජනාධිපතිතුමා ‍මේ අවස්ථාව යොදාගත්තා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක නාපාන පේමසිරි හිමියන්ගේ 96 වන ජන්ම දිනය පසුගියදාට යෙදී තිබුණා. ජනාධිපතිතුමා මහනුවර හුරිකඩුව විද්‍යාසාගර මහ පිරිවෙනට ගොස් අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහනාහිමියන් බැහැදැක උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා.

මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත කිරීමටද ජනාධිපතිතුමා එදිනම සහභාගී වුණා. බැඩ්මින්ටන්, මේසපන්දු, අත් පන්දු, දැල් පන්දු ආදී ක්‍රීඩා සඳහා මෙම නව ක්‍රීඩාගාරය ඉදිකර තිබෙන්නේ රුපියල් කෝටි විසි දෙකක වියදමෙන්.

අයවැය විවාදයට සහභාගි වීමට ජනාධිපතිතුමා පසුගිය සඳුදා පාර්ලිමේන්තුවට ගියා. එතුමා එහි දී කිව්වේ තමන් විශේෂයෙන්ම පැමිණියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙන අවස්ථාවට සහභාගී වීම සඳහා බවයි. එම ක්ෂේත්‍රයේ වර්ධනයට විශාල සේවයක් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් සිදුකොට තිබෙන බව ජනාධිපතිතුමා කීවා. සෞඛ්‍ය ඇමැතිතුමා පින්වන්තයෙක් බව ජනාධිපතිතුමා කීවා. එමෙන්ම සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ නිවාස වැඩපිළිවෙළ ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් වුණා. ජනාධිපතිතුමා කීවේ සජිත් ඉලක්කයට වැඩ කරන දක්ෂයෙක් බවයි. ආණ්ඩුව දුප්පත් ජනයාගේ හද ගැස්ම තේරුම්ගෙන තිබෙන බවත්, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය නැංවීමට රජය උපරිම සහය දෙන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

පොළොන්නරුවේ ඉදිවන වකුගඩු විශේෂ රෝහලට මුල්ගල තැබීම ජනාධිපතිතුමා අතින් පසුගිය බදාදා සිදු වුණා. ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව චීන රජයෙන් ලැබුණු රුපියල් මිලියන දොළොස් දහසක පරිත්‍යාගයකින් මෙය ඉදිකෙරෙනවා. පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල පැතිරෙන වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබාදීම වඩාත් පුළුල් කිරීම මෙම විශේෂිත රෝහල ඉදිකිරීමේ අරමුණ වෙනවා.

රටට ලැබී ඇති අන්තර්ජාතික සහයෝගීතාවයෙන් සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට කටයුතු කරන බව ජනපතිතුමා එහි දී කීවා. චීන රජයෙන් මෙම රෝහල ලබා දුන්නා සේම ඉන්දියානු රජයෙන් ත්‍රෛයිභාෂා පාසලක් සඳහා ආධාර ලැබී ඇති බවත් එය දැන් ඉදිවෙමින් තිබෙන බවත් ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා උදේ තිබූ විශේෂ කැබිනට් හමුව නිමකොට අරලිය ගහ මැදුරට පැමිණියා.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල හා සෙසු මැති ඇමතිවරු එහි පැමිණ සිටියා.

“ අද මගුල් ගෙවල් කීපයකුත් තියෙනවා. පාර්ලිමේන්තු යන්නත් අවශ්‍යයි. රැස්වීමුත් ගොඩයි. දවසකට පැය 48 ක්වත් තිබුණා නම් හොදයි” අරලිය ගහ මැදුරට ඇතුළු වන ගමන් අගමැතිවරයා කීව්වා.

“ අද බ්‍රහස්පතින්දා විශේෂ කැබිනට් එක මොකක්ද ” රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ඇසුවා.

“ හම්බන්තොට වරාය හෙට චීන සමාගමට පැවරෙනවා.ඒ ගැනයි කතා කළේ. නීතිය අනුව කැබිනට් එක අනුමත කරල දින කීපයකට පසුව යි ගැසට් එක ගහන්න ඕනෑ. ඒත් අද කැබිනට් එක සම්මත කළ නිසා හෙට පාර්ලිමේන්තුවට දාල සම්මත කළාම හරි.පාර්ලිමේන්තුවට දාල සම්මත කරන එක ගැසට් ගහනවටත් වඩා විවෘත ක්‍රියාවක්” ලක්ෂමන් කිරිඇල්ල කිව්වා.

“ හාල් මිල ඉහළ යාම නවත්වන්න ඕන කෙනෙකුට තාවකාලිකව හාල් ගේන්න අවසර දීමත් වටිනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයකට පාලන මිලක් දැමීමත් හොදයි. එත් ජනතාවට ඒවා යනවාද කියල සොයා බැලීම වටිනවා. ” දයා ගමගේ කීව්වා.

“ වරායේ වැඩට නාමල්ල දාලා ස්ථිර නොකළ තරුණ පිරිස කුලප්පු කරන්න තාම ඒ අය දඟලනවා. ඔවුන්ට ලොකු වන්දියක්, මාස 5 ½ ක පඩි හා අවශ්‍ය නම් නව සමාගමේ රැකියාවක් දීල තියෙද් දී ඔවුන් දේශපාලන ගේම්වලට කොටු වීම කනගාටුවක්" වජිර අබේවර්ධන කිව්වා.

"2008 ඉඳල 2014 දක්වා අතීත බැඳුම්කර ගැන අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී රටට පැහැදිලි කිරීම වටිනවා. ඒ යුගයේ දී සිදු වූ රු:බිලියන 5100ක මහා ධනස්කන්ධයක බැඳුම්කරවලින් 90% ක් පෞද්ගලික මිල දී ගැනීම් විදියට හිතවතුන්ට දීලා පිරමිඩ් සූදුවක් කරලා. කබ්රාල් හා පර්පෙචුවෙල් සමාගමේ අධ්‍යක්ෂ එයාගෙ නංගිත් මේවට උදවු කරපු බව අගමැතිතුමාගෙ කතාවෙන් තහවුරු වුණා." ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වා.

"අපේ කාලෙ බැඳුම්කර වගේම ඒ අතීතය ගැනත් ජනාධිපති කොමිසන් දාල හොයන්න ඕනෑ" රන්ජන් රාමනායක කිව්වා.

"මේ බැඳුම්කර කොමිසන් වාර්තාව 08 දා එනවද" පී.හැරිසන් අගමැතිවරයාගෙන් ඇසුවා.

"ඒ වාර්තාවෙ ප්‍රකාශ වගේ දේවල් මුලින් සහතික කළ යුතුයි. තාම මගේ ප්‍රශ්න කිරීම ගැන මගේ සහතික කිරීම් අරගෙනත් නෑ. ප්‍රින්ටින් මිස්ටේක් කියල බොරු දාන්න බෑ. ඒ නිසා වාර්තාව දින කීපයක් පරක්කු වේවි. ඒත් වාර්තාවෙ හරයට ඒකෙන් බලපෑමක් වෙන එකක් නෑ" අගමැතිවරයා පැහැදිලි කළා .

"ලංකාවෙ දිගම හා හොඳම බස්නැවතුම්පොළ තිබුණෙ ගාල්ලෙයි. දැන් ඒ වාර්තාව අම්පාරට ගියා නේද වජිර අබේවර්ධන මහතා කිව්වා.

"මම අම්පාරෙ වුණාට මගේත් මුල ගාල්ලේ. අම්පාර බස්නැවතුමට රු:දශලක්ෂ 280ක් වැය කළා. ඒක නවීනතම එකක්. ඕස්ට්‍රේලියාව උදවු කළා" දයා ගමගේ මහතා කිව්වා.

"මහනුවර සුදුහුම්පොළදි අපිත් රු:දශලක්ෂ 230ක් වැය කරලා විශාල ගෘහස්ත ක්‍රීඩාංගණයක් හැදුවා. 2000කට තරග නරඹන්නත් පුළුවන්" ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවා.

"2020 දි ජනපතිවරණයෙදි ගෝඨා දිනන බව රටට අගවන්න කොළඹ විශ්වවිද්‍යාලයේ නම විකුණලා කවුද මහාචාර්යවරියකුයි තව කීපදෙනෙකුයි බොරු සමීක්ෂණයක් කරලලු නේද" ගයන්ත කරුණාතිලක අගමැතිවරයාගෙන් ඇසුවා.

"2020 දි ජනපතිවරණයක් පවත්වනවාද නැද්ද කියලවත් තාම කවුරුවත් දන්නේ නෑ. කඩේ යන එකත් ලැජ්ජ නොවී කරන්න ඕනෑ නේද" අගමැතිවරයා සිනාසෙමින් කිව්වා.

"ඕන කෙනෙකුට ඡන්ද ඉල්ලන්න පුළුවන්. රාජපක්ෂලාගෙ නෑයෙකුත් ගෝඨා දිනනවා කියල තිබුණා. අනික ගෝඨා එනවට මහින්දලා බැසිල්ලා විශේෂයෙන් නාමල් කැමතිද කියල ගෝඨාභය හා ඒ ගෝලබාලයො මුලින්ම බලන්න ඕනෑ." රන්ජන් රාමනායක කීවේ සිනාමැදයි.

ගෝඨා අත් අඩංගුවට ගැනීම වළක්වලා දීපු අතුරු තහනම දික් කරලා නේද?

"නීතිපති දෙපාර්තුමේන්තුව ඒකට විරුද්ධ වෙලා තියෙනවා. නීතිපතිගෙ උපදෙස් අනුව රටේ නීතිය ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ආණ්ඩුවේ ස්ථාවරයයි" අගමැතිවරයා කිව්වා.

"මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව සමුළුවේ දී අගමැතිතුමාගෙ සැර කතාව මුළු රටම අගය කරනවා" ගයන්ත කරුණාතිලක කීවා.

"මරපු මාධ්‍යවේදින් ගැන, ගිනි තියපු ආයතන ගැන බොහෝ මාධ්‍ය ප්‍රධානීන්ට හා කර්තෘලට හැඟීමක් නැහැ. මාධ්‍යකරුවන් මැරුවත් කමක් නෑ රාජපක්ෂලා එක්ක ආපහු බිස්නස් කරල හම්බ කරන්න වෙන්නැති එයාලට ඕනෑ. ආණ්ඩුවට ගහලා රාජපක්ෂලා ගේන්න මේ අය දඟලන්නෙ ඒකයි" අගමැතිවරයා කීය.

"මංගල ඇමතිතුමාත් ඊට දින දෙකකට පස්සෙ හොරුන්ට කඩේ යන මාධ්‍යවලට හොඳට දුන්නා" වජිර අබේවර්ධන කීවා.

"ආණ්ඩුවට ගැහුවත් බොහෝ මාධ්‍ය මගේ ඒ කතාවට මුල්තැන දුන්නා. ඒත් සමබර යයි කියන පත්තරයක් ඒ කතාව හංගල තිබුණා" අගමැතිවරයා කිව්වා.

“ රාජපක්ෂල එක්ක ඒ අය එහෙනම් බිස්නස් කරනවද දන්නේ නෑ. ” රන්ජන් රාමනායක කිව්වා.

“ කඩේ යන හාමුදුරුවන් හා කඩේ යන මාධ්‍ය ප්‍රධානීන්ට බොහෝ හිමිවරු හා මාධ්‍යකරුවන් කැමති නෑ. සමබර අය එකතු කරලා සංඝ හා මාධ්‍ය සංගායනාවල් පවත්වන්න ඕනෑ. ”රන්ජන් කී කතාව අගමැතිවරයාද අනුමත කිරීම විශේෂත්වයක් වුණා.

“මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හා කර්තෘලගෙ තනි මතයටයි මාධ්‍ය අද ක්‍රියා කරන්නේ.අපි දීපු මාධ්‍ය නිදහස භුක්ති විඳීමට හා කාගේත් සමබර අදහස් මත මාධ්‍ය ක්‍රියා කිරීම අවශ්‍ය බව ඒ ක්ෂේත්‍රයේ 95% ක් අද කියනවා” අගමැති කීවා.

ඒ අතරේ නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගෙන් අගමැතිවරයාට ඇමතුමක් ලැබුණා.

“නැගෙනහිර පළාතේ උපාධිධාරීන් 1500කට ගුරු පත්වීම් දීපු උත්සවවලට ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට එන්න බැරි වුණත් මම විශාල උත්සව 02ක් තියල ඡන්දයට කලින් ඒ වැඩේ හොදට කළා.මම ජනාධිපතිතුමාටත් කතා කළා ” බෝගොල්ලාගම කිව්වා. පළාත් සභාව විසුරුවා තිබියදීත් නැගෙනහිර කටයුතුද ඉතා හොදින් ඉදිරියට යාම ගැන අගමැතිවරයා බෝගොල්ලාගමට ස්තූති කළා.

“ ඒකාබද්දෙ බදුලු රැළියට හොඳට සෙනග ඇදල තිබුණා. ඒත් දිනේෂ්, වීරවංශ, ගම්මන්පිල ගියේ නෑ.ඒකාබද්දේ දෙදරල දැන් කෑලි ගැලවෙනවා.අගමැතිතුමා ගේම සෙට් කළා කියලයි මිනිස්සු කියන්නේ. ” වජිර අබේවර්ධන කීව්වා.

“ මිනිස්සු එහෙම හිතනව නම් මම මොකක් කරන්නද ? රටට වැඩ කරල ජනතාවට සහන දෙන්න හා මේ මහා ණය කන්ද ඉවර කරන්නයි මම දඟලන්නේ.රාජපක්ෂල වගේ පක්ෂ කඩන්න දිවා රෑ මම වෙහෙසෙන්නේ නෑ. ” අගමැතිවරයා කිව්වා.

“එජාපෙන් නාමයෝජනා ගන්න 24, 000ක් ඉල්ලුම් පත් එවලා. ඒක අපේක්ෂකයෝ වගේ තුන් ගුණයක්. ” දයා ගමගේ කිව්වා.

“ පළාත් පාලන වගේ ඡන්දවලට මිනිස්සු දඟලන්නේ නෑ. පවතින ආණ්ඩුව දිනවල ගමේ වැඩ ටික කරගන්නවා.බදුල්ලට බස් දාල ඒකාබද්දෙට සෙනග ගේන්න වුණේ ඒකයි. තීරණාත්මක ඡන්දයකදීයි මිනිස්සු තමන් හිතල බහින්නේ. ඒ නිසා මේ ඡන්දයෙදී ගෙන් ගෙට යාම එජාපෙ කළ යුතු එකම ක්‍රමවේදයයි" ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැතිවරයාද එක හෙළා අනුමත කළා.

ඉකුත් සති අන්තයේ දිනක උදෑසන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇමතූ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කීවේ අද මගේ ජීවිතයේ ආඩම්බරම දවස’ යි කියායි. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ‘ ඒ ඇයි’ කියා කුතුහලයෙන් අසද් දී සජිත් කීවේ ‘අද මම 500 වැනි උදා ගම්මානයට මුල්ගල් තියලා වැඩ ආරම්භ කරනවා යනුවෙනි. ‘ මම දන්නවනේ ඔයා දක්ෂයා කියලා. බොහොම හොඳයි. මටත් ආඩම්බරයි. ජනාධිපතිවරයාගේ පිළිතුර වුණා. අගමැතිවරයා කීවෙ ‘ඔයා හොඳට වැඩ කරන නිසානේ මේ පාර වැඩිපුර සල්ලි වෙන් කරලා දීලා තියෙන්නේ කියායි. උදාගම්මානයට මුල්ගල් තැබීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයට ගිය මෝටර් රථයෙන් යමින් සිටිය දී සජිත් කල්පනා කළේ ඊට තබන නම කුමක්ද යන්න ගැනයි. එහි දී සජිත්ට එකවරම සිහිපත් වුණේ කුඩා කල දී දිනක් සිය පියා තමන් වෙත පොත් පිංචක් තෑගි කරමින් ‘මේක කියවන්න. දුටුගැමුණු රජ්ජුරු‍වෝ මේ රට රැකගෙන ක්‍රියා කරපු ආකාරය තමයි මේකෙ තියෙන් කියා කී ආකාරයයි. සජිත් ඒ මොහොතේම අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පරපුරේ කෙනෙකුට දුරකථනයෙන් කතාකොට ඇසුවේ ‘සිරිගැමුණු රජගම’ යන නම ඊට සුදුසුද කියායි. පිළිතුර වූයේ ‘හොඳයි’ යන්නයි. මේ වසරේ දෙසැම්බර් ආරම්භය වනවිටම ගම්මාන 500 ඉලක්කය සපිරීමට හැකිවීම පිළිබඳ සජිත් සඳුදා පාර්ලිමේන්තුවේ පැවැති සිය අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ සාකච්ඡා වාරයේ දී සඳහන් කළ අතර එදින පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වූ ජනාධිපතිවරයා සිය කථාවේ දී ‘සජිත් ප්‍රේමදාස කියන්නේ ඉලක්ක සපුරන ඇමතිවරයෙක්’ කියමින් සජිත්ට ප්‍රශංසා කළා.

ඉකුත් 26 වනදා රාත්‍රිය වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ඇති වු වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුණා. එයින් විපතට පත් වුවන්ට කඩිනමින් සහන සැලසීමට රජය පියවර රාශියක් ගත්තා. 30 වන දා සවස පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත් වුණා.මේ සඳහා ඇමැති වජිර අබේවර්ධන මහතා ද සහභාගි වුණා.ඒ වනවිටත් ආපදා කටයුතු ආරම්භ කරන්නට වජිර අබේවර්ධන අබේවර්ධන ඇමැතිවරයා ක්‍රියා කොට තිබුණා.

1 වැනි දින උදෑසනම වජිර අබේවර්ධන ඇමතිවරයා ගාල්ලට ගියේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබදව වැඩිදුරටත් සොයා බලා විපතට පත් වුවන්ට සහන සැලසීමටයි.ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ඇමතිවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාලයේ දී අදාළ සියලූ පාර්ශ්ව සමඟ සාකච්ජා කළා. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පියවර ගැනීමටත්, ඉදිරියේ දී ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමටත් මෙම රැස්වීමේදි සැලසුම් කෙරුණා.

හානියට පත් නිවාස සඳහා පවුල් 23කට රුපියල් 10, 000 බැගින් වන්දි මුදලක් ප්‍රදානය කිරීමට ඇමැති වජිර එක් වුණා. මෙම මුදල ලබාදෙන ලද්දේ ඔවුන්ගේ නිවාසවලට සිදු වු හානිය තක්සේරු කර වන්දි මුදල ලබාදීමට පෙර හදසි අවශ්‍යතාවන් සඳහා ප්‍රයෝජනයට ගැනීමේ අත්තිකාරම් මුදලක් වශයෙන්.

දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මහ මුහුදේ දී අනතුරට පත් ව මිය ගිය රත්ගම, දොඩංදූව සහ අම්බලන්ගොඩ පදිංචිව සිටි ධීවරයින්ගේ නිවෙස්වලට ගොස් අවසන් ගෞරව දැක් වු ඇමැති වජිර එම ධීවරයින්ගේ ඥාතීන්ට රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් ප්‍රදානය කිරීමට කටයුතු කළා.එහි දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝකය ද අමාත්‍යතුමා එම පවුල්වල ඥාතීන්ට දැනුම් දුන්නේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් අනුවයි.

මෙම වන්දි මුදල ලබාදෙන ලද්දේ ඔවුන් වෙනුවෙන් ඥාතීන්ට ලබාදීමට නියමිත රුපියල් ලක්ෂ 10 ක් වු වන්දි මුදලින් අත්තිකාරම් මුදලක් වශයෙන්. එය මියගිය ධීවරයින්ගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් රජය විසින් කරන ලද හදිසි ප්‍රදානයක්. ඉතිරි රුපියල් ලක්ෂ 09ක මුදල ඉතා කඩිනමින් ඔවුන්ට ලබාදීමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා ඔවුන්ට දන්වා සිටියා.

දැඩි සුළං තත්ත්වය හේතුවෙන් සිදුව ඇති විදුලි බිදවැටීම් යළි සැකසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් 2 දා සවස ගාල්ල දිසිත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද සහභාගි වුණා.එහි දී ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ ඉරිදා දිනය ඇතුළත ගාල්ල දිසිත්‍රික්කයේ විදුලිය බිදවැටීම් සියල්ල යළි සැකසීමට හැකියාව ලැබෙනු බවයි. මේ සඳහා වෙනත් ප්‍රදේශවලින් ද විදුලිබල මණ්ඩලයේ සේවකයින් කැදවා කඩිනමින් යථාතත්වයට පත් කිරීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා කීවා.

පසුගිය මැයි මාසයේ ඇති වු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හානියට පත් නිවාස සඳහා පවුල් 354 කට රුපියල් ලක්ෂ 12 බැගින් ලක්ෂ 428ක මුදලක් ලබාදීමට රජය කටයුතු කර තිබේනවා. ඉකුත් සදුදා උදෑසන ගාල්ලට ගිය ඇමැති වජිර එම ප්‍රතිලාභීන්ට රුපියල් ලක්ෂ 02ක බැගින් පළමු වාරිකය පිරිනැමුවා. ගාල්ල දිසත්‍රික් ලේකම් කාර්යාලයේ දී එම මුදල් පිරිනමමින් වජිර අබේවර්ධන ඇමතිවරයා කියා සිටියේ ඉතිරි රුපියල් ලක්ෂ 10ක මුදල වාරික පහකින් ලබාදෙන බවයි. එම පවුල් සඳහා සුදුසු ඉඩම් ද රජයෙන් ලබා දී ඇති අතර මෙම මුදල් වෙනත් කාර්යන් සඳහා වියදම් නොකර නිවාස සදා ගැනීමට යොදා ගන්නා ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියා. නිවාස සෑදීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන්නේ නම් ඉතිරි වාරික මුදල් ද ඉක්මණින් ම ලබාගෙන නිවසේ වැඩ අවසන් කිරීමට හැකි වන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.

මේ අතර පසුගිය දා ඇති වු සුළං තත්ත්වයෙන් හානියට පත් වතු නිවාසවල ජීවත් වු පවුල් සඳහා ද ලැබීමට නියමිත වන්දි මුදලින් අත්තිකාරමක් ලෙස රුපියල් 10, 000 බැගින් ලබාදීමට වජිර අබේවර්ධන ඇමතිවරයා කටයුතු කළා. ස්වභාවික විපත්වල දී මීට ඉහත වතු නිවාස සඳහා රජයෙන් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ, අධිකරණයේ සහ වෙනත් ක්‍ෂෙත්‍රවල දී විශාල හඬක් නැගුවා.මේ අතර ජවිපෙ නායකයන් දිස්ත්‍රික් මට්ටමින් පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් කිරීමේ කටයුතු ආරම්භ කළා.මැතිවරණ කොමිසම විසින් මුලින් ප්‍රකාශයට පත්කළ පළාත් පාලන ආයතන 93 සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ජවිපෙ විසින් පසුගිය සතිය තුළ ආරම්භ කළ අතර මේ වනවිට වැඩි ප්‍රමාණයක ඇප මුදල් තැන්පත් කර අවසන්. මෙවර ජවිපෙ නාමයෝජනා ලැයිස්තු සඳහා විවිධ වෘත්තිකයින්, වෙළඳ සංගම් සාමාජිකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ පිරිස් ඇතුළත්වී තිබීම විශේෂත්වයක් වී තිබෙනවා.

මේ අතර මඩකළපුව, අම්පාර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල මැතිවරණ සංවිධාන කටයුතු සඳහා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාද, යාපනය, කිලිනොච්චි, වව්නියා දිස්ත්‍රික්කවල මැතිවරණ සංවිධාන කටයුතුවලට බිමල් රත්නායක මන්ත්‍රීවරයාද මැදිහත් වුණා. පසුගිය පස්වෙනිදා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් මඩකළපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් සඳහා ඇප මුදල් තැන්පත් කළා. හදුන්නෙත්ති මන්ත්‍රීවරයා මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් පිරිසක් හමු වූ අතර ඔවුහු ජවිපෙ ක්‍රියා කලාපය පැසසුමට ලක්කරමින් කතා කළා. ”මන්ත්‍රීතුමා අපි ඔබතුමාලගේ නායකයාගේ කතා නිතර පේස්බුක් එකෙන් අහනවා. ගිංතොට සිදුවීම ගැන එතුමා හොඳ කතාවක් කරලා තිබුණා. ජාතික සමගිය ගැන වගේම ඕනෑම දෙයක් ගැන කෙලින් කතා කරන්නේ ජවිපෙ විතරයි. අපි මේ සැරේ ඔබතුමාලත් එක්කයි” ව්‍යාපාරිකයෙක් කියා සිටියා.

මේ අතර මන්මුනෙයි පත්තු, කාත්තන්කුඩි, කෝරලේපත්තු ප්‍රදේශවල ජූජකතුමන්ලාගෙන්ද වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ඇතුළු විද්වත් කණ්ඩායම්ද සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සමඟ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉදිරිපත්වීම විශේෂත්වයක් වුණා.

දකුණේ දේශපාලන පක්ෂවල බල අරගලය මෙන්ම මේ වනවිට උතුරේ ද්‍රවිඩ පක්ෂවල බලඅරගලයද උග්‍ර අතකට පත්ව තිබේනවා. මේ හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය දෙකඩ වී ඇති අතර ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට්, ටෙලෝ සංවිධාන වෙන වෙනම සන්ධාන ගොඩ නැ‍ඟීම සඳහා විවිධ උත්සාහායන් ගනිමින් සිටිනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා සකස් කරමින් උතුරේ මැතිවරණ කටයුතු ජනතාව අතරට ගෙනයමින් සිටිනවා. ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක මන්ත්‍රීවරයා සහ යාපනය දිස්ත්‍රික් නායක රාමලිංගම් චන්ද්‍රසේකර් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මැදිහත් වීමෙන් නාමයෝජනා සකස් කෙරෙනවා. නල්ලූර්, චාවකච්චේරි, වලිකාමම් ප්‍රාදේශීය සභා සඳහා සහ යාපනය මහ නගර සභාව සඳහා ඇප මුදල් තැන්පත් කිරීම පිණිස මේ වනවිට සියලූ කටයුතු අවසන් කර තිබෙනවා.

පසුගිය 06වෙනිදා අයවැය විවාදය යෙදී තිබුණේ ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන අමාත්‍යංශ පිළිබඳවය. එදින ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විවාදයට එක් වුණේ විජිත හේරත් මන්ත්‍රීවරයායි. විජිත හේරත් මන්ත්‍රීවරයා සිය කතාව අතරතුර පළාත් පාලන මැතිවරණය කල්යෑම පිළිබඳවද විවේචනය කළ අතර ෆයිසර් ඇමතිවරයා සමඟ උණුසුම් විවාදයක්ද ඇති වුණා. අනතුරුව කෑම පැයේ දී විජිත හේරත් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් පිරිසක් සමඟ එදින විවාදය පිළිබඳවත් ඇතිවූ උණුසුම් තත්ත්වය පිළිබඳවත් කතාබහකරමින් සිටියා. ඒ මොහොතේ දී විවාදයට පැමිණ සිටි දිස්ත්‍රික් ලේකම්වරුන් පිරිසක් සමඟ වජිර අබේවර්ධන ඇමතිවරයාද නිල කාමරයෙන් පිටතට පැමිණෙන අතර විජිත හේරත් මන්ත්‍රීවරයා දැක ”ඔබතුමාලගේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් විජිත හේරත් මන්ත්‍රීතුමාට කියන්න. එතුමා මැදිහත්වෙලා විසඳලා දෙයි.” වජිර අබේවර්ධන ඇමතිවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට කියා සිටියා. විජිත හේරත් මන්ත්‍රීවරයා සිනාමුසු මුහුණින් එයට ප්‍රතිචාර දැක්වුවා. ”ඇමතිවරු හිටියට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තමයි ප්‍රශ්න විසඳන්න වෙලා තියෙන්නේ.” මාධ්‍යවේදියෙක් කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල පාර්ශ්වකරුවකු වන විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ අර්බුදය දැන් එහි ප්‍රබලයින්ගේ ඉවත්වීම දක්වා වර්ධනය වී තිබෙනවා. එහි ජාතික සංවිධායකව සිටි පියසිරි විජේනායක මහතා පක්ෂ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශ තරයේ හෙළා දකිමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවා. ඔහු කීවේ විමල් වීරවංශ මහතා ජාතියෙන් සමාව ගතයුතු බවයි. මේ වනවිට ඔහු තනතුරෙන් ඉවත් කිරීමට වීරවංශ මහතා කටයුතුකොට තිබෙනවා. පක්ෂයේ ප්‍රධාන ලේකම් ව‍ශයෙන් කටයුතු කළ ප්‍රියංජන් විතාරණ මහතා ද තනතුරින් ඉල්ලා අස්වුණා.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය නියෝජනය කරන ජ.වි‍.පෙ. ප්‍රබලයකු වන ජයන්ත විජේසේකර මහතා පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වුණා. ඔහුට දිස්ත්‍රික් සංවිධායකකමක් ද ලබා දීමට ජනාධිපතිතුමා ක්‍රියා කළා.

ජ.නි‍.පෙ. නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා ඔහුගේ අනුරාධපුර කාර්යාලයේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම බරපතළ දේශපාලන විනාශයකට හේතුවන බවයි. මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්ව ශ්‍රී ලනිපය රැකගත යුතු බව තම ස්ථාවරය ලෙස ඔහු ප්‍රකාශ කළා. එම පක්ෂය කැඩුනහොත් 2020 දී රටේ ජනාධිපති වන‍්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව ද ඔහු කීවා. කිසිම පක්ෂයක එක දිගට සිටීම අවශ්‍ය නැති බවත්, එක්වීම වෙන්වීම ‍දේශපාලනයේ ස්වභාවය බවත් වීරකුමාර දිසානායක මහතා කීවේ අනාගත ක්‍රියාමාර්ගයක් ගැන ඉඟි කරමින්.

ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තරයේද බරපතළ බෙදීමක් සිදුවී තිබෙන බව වාර්තා වනවා. එය සිදුව තිබෙන්නේ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග ප්‍රමුඛ කණ්ඩායම හා දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ප්‍රමුඛ කණ්ඩායම වශයෙන්. මෙයින් පෙර කී කණ්ඩායම පොදුජන පක්ෂය ලෙස තනිව තරග කිරීමට ක්‍රියා කරමින් සිටියද අනෙක් කණ්ඩායමේ අදහස වී ඇත්තේ ශ්‍රීලනිපය සමඟ එක පිලකින් තරග කිරීමට උත්සාහ කළයුතු බවයි. බැසිල් පිල හිතාමතාම සමගි සාකච්ඡා කඩාකප්පල් කළ බවට ඔවුන් චෝදනා නගනවා. එම කණ්ඩායම ප්‍රතිවිරුද්ධ පිල විසින් හඳුන්වනු ලබන්නේ කාල්ටන් මොන්ටිසෝරිය වශයෙන්. පොදුජන පක්ෂය බදුල්ලේ සංවිධානය කළ රැලියට දිනේශ්, විමල්, ගම්මන්පිල ආදීන් සහභාගී වූයේ නැහැ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මණ්ඩල රැස්වීමක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එයට දිනේශ් ගුණවර්ධන මහතා සහභාගී වූයේ ඒකාබද්ධ විපක්ෂයට දැනුම්දීමෙන් පසුවයි. ඔහු කීවේ පළාත්පාලන මැතිවරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග සඳහා මෙම සන්ධානය පවත්වාගෙන යා යුතු බවයි. සාකච්ඡාවට එක්වූ දිනේශ් යෝජනා කළේ මෙම පළාත් පාලන මැතිවරණයට වෙන් වෙන්ව තරග කිරීමට පක්ෂවලට ඉඩදිය යුතු බවයි. ඒ අනුව වෙනම තරග කරන්න ඔවුන් තීරණය කළා. මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා දේශ විමුක්ති ජනතා පක්ෂය ඒ අනුව පළාත් පාලන මැතිවරණයට වෙනම තරග කිරීමට ක්‍රියා කරනු ඇති. 

නව අදහස දක්වන්න