රැකවරණය අහිමි සත්තු | දිනමිණ

රැකවරණය අහිමි සත්තු

මුළු රටක් කම්පාවට පත්කරමින් ගල්ගමුවේ දළ පූට්ටුවා ජාතියට අහිමිවී දැන් මාසයකට ආසන්නය. ඇත්දළ ලබාගැනීමේ අරමුණින් මිලේච්චයකුගේ වෙඩි උණ්ඩයට මේ ජාතික වස්තුව විනාශවූ බව දැන් පැහැදිලිය. මේ සාහසික අපරාධය සිදු වී සති තුනකට පමණ පසුව කළ සෝදිසි මෙහෙයුමකදී ඉකුත් 29 දා දහල්ල පල්ලෙකැලේ අභය භූමිය තුළදී මේ සද්ධ න්තයාගේ කුණුවී ගිය සිරුර සොයාගනු ලැබිණි. සැබැවින්ම මෙම ඇතා කොයි මොහොතක හෝ මස් වැද්දකු විසින් මරා දමනු ඇතැයි මේ සතාට ආදරය කළ බොහෝ දෙනකු අනුමාන කළහ. එතරම් අවදානමක් තිබිදීත් වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුව මේ සද්ධන්තයාගේ ජීවිතය විනාශවෙන්නට ඉඩහැර ඉවත බලාගෙන සිටි බව මේ දක්වා කරන ලද පරීක්ෂණවලින් පැහැදිලි ‍වෙයි.

මෙම දළ පූට්ටුවාට ගුවන්විදුලි තරංග කරපටියක් පලඳවන ලෙස 2011 වර්ෂයේ සිටම පරිසරවේදීන් වගකිවයුත්තන්ට පෙන්වා දුන්නද එම ආරක්ෂිත ක්‍රියාමාර්ගය වනජීවී නිලධාරීන් ක්‍රියාත්මක නොකළ බව ද කියැවේ. එසේනම් ගල්ගමුව දළ පූට්ටුවාගේ ජීවිතයට ඇති තර්ජනය දැන දැනත් වගකිව යුත්තන් අහකබලාගෙන සිටීමෙන් මේ අහිංසක සතාගේ ජීවිතය අනතුරේ හෙළා ඇති බව පැහැදිලිය. එබැවින් දළ පූට්ටුවාගේ ඝාතනයට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගකීම බාරගත යුතුය.

වනජීවීන්ගේ ජීවිත ආරක්ෂාකිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මූලික අරමුණ වුවද එම දෙපාර්තමේන්තුවෙන් ඒ ප්‍රධාන වගකීම සිදුනොවන්නේ නම් වනජීවීන්ගේ හෙට දවස පිළිබඳව වගකීම දරන්නේ කවුද?

මේ මිහිපිට ජීවත්වන කිසිදු සත්වයකු මරා දැමීමට කිසිවකුට නීතියෙන් අවසර නැත. ඉතා කෲර ලෙස විදුලිසැර වැද්දවීමෙන්, වෙඩි තැබීමෙන් හක්කපටස් භාවිතයෙන්, විවිධ විස වර්ග කෑමට දීමෙන් හා උගුල් ඇටවීමෙන් අහිංසක සතුන් මරා දමනු ලබයි. විශේෂයෙන්ම හක්කපටස් පිපිරීයාමෙන් අලි ඇතුන් මෙන්ම අනිකුත් සතුන්ගේ මුඛ ප්‍රදේශය දරුණු ලෙස තුවාල සිදුවීම ‍හේතුවෙන් මාස ගණනාවක් දුක්විඳ එම සත්වයින් වනාන්තර තුළ මිය යාම මේ මොහොතේ ද සිදු වෙමින් පවතින සාහසික අපරාධයකි.

ගල්ගමුව දළ ඇතා පසුපස දින ගණනාවක් අපරාධකරුවන් පිරිස ලුහුබැඳ ගියද වනජීවී නිලධාරීන්ට මොවුන් පිළිබඳ හෝඩුවක් නොලැබුනේ ඇයි? අඩුම තරමින් මේ සද්ධන්තයාට වෙඩි තබන හඬවත් වන ජීවි නිලධාරීන්ට නොඇසුණේ මන්දැයි මුලු රටටම ප්‍රහේළිකාවකි. සති තුනක් පුරාවට දළ ඇතාගේ සිරුර කුණුවී යන තුරුත් වනජීවිය මර නින්දේ පසුවූ බව දැන් පැහැදිලිය. වනාන්තරේ ජීවත්වන මීමින්නෙකුට තිබෙන රැකවරණයවත් මේ සද්ධන්ත යාට ලබානොදීම පිළිබඳව අපේ රටේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය දහස්වාරයක් ලැජ්ජාවිය යුතුය.

වයස අවුරුදු 30 පමණ අඩි අටකට ආසන්න උසකින් යුතු මේ දළ ඇතා ද වෙඩි තබා මරා දමා ඇත්තේ දළ ගලවා ගැනීමට බව පරීක්ෂණවලින් හෙළිවිය. අදාළ ඇමැතිවරයා මෙතරම් බරපතළ සිද්ධියක් සිදුවී තිබියදීත් දැනුම්වත් ‍නොවීම පිළිබඳ වයඹ වනජීවී කලාපයේ වන ජීවී අධ්‍යක්ෂවරයා වගකිව යුතුය. වගකිවයුතු නිලධාරීන් ඇමැතිවරයාටත් කොළේ වසා ඇති බව ඉන් පැහැදිලිය.

‍කෙසේ වෙතත් දැනට අපේ වනාන්තරවල ඉතිරිව ඇති අලි ඇතුන් සහ අනිකුත් වන ජීවීන් ආරක්ෂා කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ඉස්මතුවී ඇති බව ගල්ගමුව හා කරුවලගස්වැව දළ ඇතුන්ගේ ඝාතනවලින් රටට හඬගා කියයි. ඊළඟ වෙඩි උණ්ඩය තවත් සද්ධන්තයකුගේ සිරුර පසාරුකරගෙන යාමට මත්තෙන් දැනට දිගු නින්දකට වැටී සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු වගකිවයුතු අංශ නින‍්දෙන් අවදි වී ප්‍රකෘති සිහියට එළැඹිය යුතුය.

රත්නසිරි පතිරණ 

නව අදහස දක්වන්න