සිඳු තරංගයේ කේෂාරාවය - VIDEO | දිනමිණ

සිඳු තරංගයේ කේෂාරාවය - VIDEO

අතීතයේ සිටම මිනිසා සාගරය ප්‍රයෝජනවත් මාධ්‍යක් ලෙස භාවිතා කළේය. යුධමය වශයෙන් සාගරය භාවිත කිරීමේ ඇති ප්‍රයෝජනය අවබෝධ කරගත් දින සිටම විවිධ සන්නාහයන්ගෙන් සමන්විත යාත්‍රා භාවිත කිරීමට මිනිසා හුරුපුරුදු වූ අතර, නාවික හමුදාවක ඇරඹුමේ මූලාශ්‍රය ලෙස මෙය හැඳින්විමට හැක. 

දෙවන ලෝක යුද්ධය වන විට බොහෝ බටහිර රටවල නාවික ශක්තිය ඉතා සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළහ. මෙම ශක්තිය යටත් විජිත කරාද විහිදුවාලීමට ඔවුන් නොපමාව කටයුතු කලේ තම ආධිපත්‍යය උපරිම ලෙස පතුරුවාලීමේ අවශ්‍යතාවන් පදනම් කරගනිමිනි. බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක්ව පැවැති අප රටටද මෙම කරුණ ඍජුවම බලපෑ අතර, එහි ප්‍රතිපලයක් ලෙස ක්‍රි:ව: 1950 දී “රාජකීය ලංකා නාවික හමුදාව” ලෙස ශ්‍රී ලංකා ‍නාවික හමුදාවේ ආරම්භය සනිටුහන් විය.

එතැන් සිට අද දක්වා විවිධ අභියෝගයනට මුහුණ දෙමින් මෙන්ම ඉතාමත් සංකීර්ණ මෙන්ම තර්ජනාත්මක සංග්‍රාම සාර්ථකව විජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 67 වැනි සංවත්සරය 2017 දෙසැම්බර් මස 09 වන දින මහත් අභිමානයෙන් යුතුව සමරනු ලබයි. දරුණු සැඩ කුණාටු මෙන්ම නිශ්චල සාගර තත්ව හමුවේ අපේ නාවික හමුදාව විසින් අමිල සේවයක් ඉටු කරනු ලබයි.සාමාන්‍ය හමුදා වෘත්තියක නිරත වීමේදී මුහුණු දෙන අභියෝගයනට වඩා වැඩි අභියෝගයන්ට මුහුණ දීමට  නාවික හමුදාවේ සේවය කරන නාවිකයන්ට සිදුවේ.  

නෞකාවක ජීවිතය ඉතාමත් අභියෝගාත්මක එකක් වන අතර, නිරන්තරව වෙනස්වන සාගර තත්වයන් මත නාවිකයෙකුගේ ජීවිතය අඛණ්ඩ තර්ජනයන්ට ලක්වීම සාමාන්‍යයයි. මෙවන් රළු සීමිත අවකාශයක තම ජීවිතයේ පන්නරය ලබන නාවිකයෙකු සැබැවින්ම ඉතාමත් විනයගරුක මෙන්ම ආචාරශීලී පුද්ගලයෙකුද වේ. 

නාවික සේවයට එක් වන ඕනෑම නාවිකයෙකු හට ලබා දෙනු ලබන මූලික නාවික පුහුණුවෙන් අනතුරුව ඔවුනගේ වෘත්තීය නිපුණත්වය වර්ධනය කර ගැනීමට  අවස්ථා සලසා දෙමින් ඔවුන්ව විවිධ අංශ යටතේ නාවික යාත්‍රා සඳහා අනුයුක්ත කරනු ලබයි.  

මෙලෙස යාත්‍රාවක නාවික හමුදාවට ආවේනික වු නාවික ජීවිතය වෙත යොමු කෙරෙන නාවිකයෙකුගේ වෘත්තීය සැබවින්ම අභියෝගාත්මකයි. එවන් අභියෝග තුළින් ඔහු ලබන පන්නරය ඔහුගේ ඉදිරි නාවික ජීවිතය මනාලෙස හැඩගස්වා ගැනීමට මහඟු දායකත්වයක් ලබාදේ. නවීනතම තාක්‍ෂණික අංගයන්ගෙන් මෙන්ම ස්වයංක්‍රීය අවි පද්ධති හා ආවේක්‍ෂණ පද්ධති වල නිවැරදි භාවිතය කෙරෙහි මෙහිදී ඔහුට උපරිම ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙයි. සිය වෘත්තීය මහත් අභිමානයකින් යුතුව ඉටු කිරීමට මෙම ප්‍රායෝගික දැනුම ඔවුනට මනා රුකුලක් වන අතර, එමගින් ඔහු වෘත්තීය නිපුණත්වයෙන් පිරි අංග සම්පුර්ණ නාවිකයෙකු බවට පරිවර්ථනය කරයි.  

සෑම නාවික පුද්ගලයෙකුම තාක්‍ෂණික පසුබිමේ නිපුණත්වයක් ලැබීම අනිවාර්ය අවශ්‍යතාවයක් වන අතර, මෙහිදී ඔවුන් ලබන නාවික සංග්‍රාම පුහුණුවද, නවීන නාවික අවි පද්ධති භාවිතය පිළිබඳ දැනුමද ඉතාමත් සුවිශේෂී එකක්. ඒ වාගේම යාත්‍රික, ඉංජිනේරු, විදුලි ඉංජිනේරු, සැපයුම්, වෛද්‍ය සහයක, තෙරතුරු තාක්ෂණ, නැව් බඳ ඉංජිනේරු සහ නාවික සෙබළ ආදී විවිධ අංශයන්ට අයත්ව නාවික සේවයට එක්වන නාවිකයෙකු හට තම අංශවලට අදාල විෂය පථය කෙරෙහි ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිත පරිපූර්ණ පුහුණුවක් ලබා දීමට “මහ සයුර මැද සරසවිය” ලෙස විරුදාවලි ලත් නාවික හමුදාව සමත්ව සිටි. 

ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යා පීඨය තුලදී මෙන්ම අනෙකුත් පුහුණු ආයතන තුළදී මෙම පුහුණුවීම් ලබා දේ. මෙම පුහුණු කටයුතු සාර්ථකව නිම කරනු ලබන අයට විදේශ රටවල නාවික පාඨමාලා හැදෑරීමේ අවස්ථාවද නිබඳවම හිමිවේ. 

තම රුචිකත්වය අනුව ක්‍රීඩා කටයුතු වල නියැලීමට මෙන්ම විවිධ වූ ක්‍රීඩා සඳහා පුහුණුව ලබා දීමටද නාවික හමුදාව නිරන්ත‍රයෙන් කටයුතු කරනු ලබන අතර, ඒ සඳහා අවශ්‍ය නවීනතම ක්‍රිඩා පහසුකම් වලින් ද නාවික හමුදාව සමන්විත වේ. ජල ආශ්‍රිත ක්‍රීඩා වලට නාවික හමුදාවක තිබිය යුතු ප්‍රමුඛතාව පදනම් කර ගනිමින් එවන් ක්‍රීඩා කෙරෙහි නාවික හමුදාව අවශ්‍ය වන සියලු පහසුකම්ද සලසා තිබේ. 

මෙයට අමතරව සියලුම වෛද්‍ය පහසුකම් හා බහුවිධ වූ සුභසාධක පහසුකම්ද නාවික හමුදා සේවයේ නියුතු අයට හිමිවේ. එමෙන්ම සෑම නාවිකයෙකුම විවාහ දිවියට පිවිසෙන විට ඔවුනට ඉතා අභිමානවත් සේවා මංගල්‍ය උත්සවයක් ලබා දිමට අවස්ථාවද හිමිව තිබෙන අතර, නවීන ගෘහභාණ්ඩ වලින් සමන්විතවි ඇති නාවික විවාහක නිවාස ලබා ගැනීමේ අවස්ථාවද ඔවුනට හිමිව ඇත.  

ඊට අමතරව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල් මගින් නාවික පුද්ගලයින්ගේ දරුවන්ට මුලික අධ්‍යාපනය ලබා දිමට හැකි පරිදි මංපෙත් විවිර කර දි ඇති අතර, නාවික පුද්ගලයින්ගේ දරුවන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන් හට වසර ශිෂ්‍යත්වය, අපොස (සාමන්‍ය පෙළ) සහ අපොස (උසස් පෙළ) විභාගයන් සමත් වන සිසු දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමටත් ඒ තුලින් දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනිමටත් හැකි වි ඇත.  

මෙවැනි පරිපූර්ණ පරිසරයක තම නාවික ජීවිතයේ මුල්ම පන්නරය ලබන නාවික පුද්ගලයනට තම මූලික උසස්වීම් වලින් අනතුරුව ජ්‍යෙෂ්ඨතාවයත් සමගම වඩා විශාල වූ එමෙන්ම ගැඹුරු මුහුදු සංචාරයන් සඳහා අනුයුක්ත කොට ඇති ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවල සේවය සඳහා අවස්ථාව උදා වේ. තම මූලික දැනුම මත පදනම්ව වඩාත් වගකීමක් සහිත සේවයක් ඉටු කිරීමට මෙහිදී ඔවුනට සිදු වන අතර, ලද මූලික දැනුම පාදක කොට ගනිමින් මෙවන් නෞකාවක ඇති ඉතාමත් සංකීර්ණ මෙන්ම අධි සංවේදී උපකරණ හා පද්ධති කෙරෙහි පුහුණුවක් ලබාදේ. ගොඩබිම මෙන් 7 ගුණයක් පමණ වන අපට අයත් අනන්‍ය ආර්ථික සාගර කලාපය ආරක්‍ෂා කිරීමට මෙන්ම ගොඩබිම මෙන් 27 ගුණයකින් යුක්ත වු සාගර කලාපයක මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාල නෞකා අඛණ්ඩ මුර සංචාරක සිදු කරයි.  

විශේෂයෙන්ම අප සාගර කලාපය හරහා සිදුවිය හැකි මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, තහනම් අවි හුවමාරුව, නීති විරෝධි ධීවර කටයුතු ආදී විවිධ වූ නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීමට මෙම නෞකාවන්ගෙන් ලැබෙනුයේ අමිල දායකත්වයකි. මෙවැනි සාගරීක මුර සංචාරයන් තුළින් ඉතාමත් ඵළදායී ප්‍රතිඵල නෙලා ගැනීමට පසුගිය වකවානුව තුළදී නාවික හමුදාව සමත් විය. නිරන්තරවම ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝක සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳව මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන අතර නාවික හමුදාව මගින් 2010 වර්ෂයේදී ආරම්භ කළ “ගාලු කතිකාව” නම් වූ අන්තර් ජාතික සාගරික සම්මන්ත්‍රණය මේ සඳහා කදිම නිදසුනකි.  

නාවික හමුදාව සතුව පවතින විවිධ ප්‍රහාරක මෙන්ම භාණ්ඩ හා මගී ප්‍රවාහන බලඝණවලට අමතරව විවිධ කාර්යයන් සඳහා ප්‍රවීණත්වය ලැබු බලඝණ කිහිපයක්ම තිබෙනවා.  

ගොඩබිම, ගුවන මෙන්ම සාගරික සංග්‍රාම සඳහා පුරෝගාමී වූ විශේෂ යාත්‍රා බලඝණය, වෙරළ ආශ්‍රිත නාවික සංග්‍රාම සඳහා පිහිටුවා ඇති ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය මෙන්ම සතුරු බිම් ආක්‍රමණය සඳහා පුහුණූ කොට ඉතා මෑතකදී පිහිටුවන ලද නාවික හමුදා මැරීන් බල ඇණිය මේ අතරින් සුවිශේෂ වේ.           

නාවික කිමිදුම් අංශය නාවික හමුදාව සතු නෞකා ආශ්‍රිත රාජකාරි කටයුතු මෙන්ම විවිධ බාහිර කිමිදුම් අවශ්‍යතා සඳහාද ඔවුන්ගේ සේවය ඉතා විශිෂ්ඨ ලෙස ලබා දේ. ‍ 

ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධ වූ ස්වභාවික ව්‍යසනයන් තුළදී ඉතාමත් අනුප‍මේය සේවයක් අප රටේ ජනතාව වෙත සපයනු ලැබේ. විශේෂයෙන්ම ගංවතුර, නාය යෑම් සහ ධීවරයන්ට සාගරයේදී සිදුවන උපද්‍රව වලදී ඒ සඳහා මුහුණ දීම සඳහා ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකය නමින් විශේෂිත වූ නාවික බලඝනයක් ද නාවික හමුදාව තුළ ස්ථාපනය කොට ඇත.  

රටේ ආරක්‍ෂිත මර්මස්ථාන වන කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමළය වැනි වරායන් සඳහා අවශ්‍ය ආරක්‍ෂාව ලබා දිම, අපගේ මුහුදු සීමාව හරහා වැටී ඇති වෙලඳ නාවික ගමන් මාර්ග වලට අවශ්‍ය ආරක්ෂාව ලබා දිම මෙන්ම විවිධ වූ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම මෙන්ම අවශ්‍ය පිරිස් බලය ලබාදීම සඳහා නාවික හමුදාව කැපවීමෙන් යුතුව ක්‍රියා කරයි. 

මෑතකදී අප රට තුල ඉතා බහුලව අසන්නට ලැබුණු තැලසීමියා රෝග තත්වය පාලනයට අවශ්‍ය වන නික්ෂේපන යන්ත්‍ර නිෂ්පාදනයට නාවික හමුදාව සිය අපමණ දායකත්වය ලබා දුන් අතර, ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන රෝගීනට මෙවන් යන්ත්‍ර 1527 පමණ නාවික හමුදාව විසින් නිෂ්පාදනය කොට නොමිලයේ බෙදා දී තිබේ.  

මෙයට අමතරව විශේෂයෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතුඳුන්ගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක ජනාධිපති කාර්ය සාධක බලකායේ වකුගඩු රෝග නිවාරණ වැඩසටහන හා එක්ව උතුරු හා උතුරු මැද පළාත් ආශ්‍රිතව පවතින වකුගඩු ‍රෝග නිවාරණයටද නාවික හමුදාව ඍජුවම මැදිහත්ව සිටින අතර, නාවික හමුදා සංවර්ධන හා පර්යේෂණ ඒකකය මගින් මේ ප්‍රදේශවල ජනතාවට පිරිසිඳු පානීය ජලය ලබා ගැනීමට අවශ්‍ය වන ජල ප්‍රති ආශ්‍රැත පද්ධති 307 ක් පමණ මේ වන විට ඉදි කර ඇත.   

 “රට වට බැඳි රන් වැට” යන විරුදාවලි ලත් නාවික හමුදාව වත්මන් නාවික හමුදාධිපතිතුමාගේ නිවැරදි මග පෙන්වීම හා නායකත්වය යටතේ තම වෘත්තීය නිපුණතා මෙන්ම දැනුමද අඛණ්ඩව වර්ධනය කර ගනු ලබන අතරම පවතින සම්පත් ඉතා නිසි පරිදි කළමනකරණය කර ගනිමින් අප රටට මහගු හා විශිෂ්ඨ සේවාවක් ලබා දීමට අඛණ්ඩව දායක වී සිටි.  

67 වසරක් පුරාවට සිදු කල උදාරතර සේවය ඉදිරියටද අප රට වෙනුවෙන් ඉටු කිරීමට අපේ නාවික හමුදාව නිරන්තරව සූදානමින් සිටින අතර එවන් ගෞරවනීය වූ සේවාවක් ඉටු කිරීමට හැකිවීම පිළීබඳව නිහතමානී ලෙස ආඩම්බරයක්ද ලබන්නෙමූ.  

එමෙන්ම නාවික හමුදාව 67 වසරක් ආ දිගු ගමනේදි තම උතුම් ජීවිත පරිත්‍යාග කර මාතෘභූමිය වෙනුවෙන් ජීවය පුද දුන් සහ සටනේදී තුවාල ලැබු සියළුම නාවික රණවිරුවන් මේ මොහොතේ මහත් වූ අභිමානයෙන් සහ ගෞරවපූර්වක භක්ති ප්‍රණාමයෙන්යුතුව සිහිපත් කරමු.

(67 වන නාවික හමුදා සංවත්සරය වෙනුවෙනී)


නව අදහස දක්වන්න