මාධ්‍යවේදීන්ගේ අයිතීන් වෙනුවෙන් ඇරැඹි ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය | දිනමිණ

මාධ්‍යවේදීන්ගේ අයිතීන් වෙනුවෙන් ඇරැඹි ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් 11 දින ප.ව. 2.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වේ. මෙම කෙටි ලිපිය ඒ නිමිත්තෙනි.

ශ්‍රී ලංකාවේ පුවත්පත් ආරම්භ වී වසර සියයක් පමණ ගතවන තුරු මාධ්‍යවේදීන් යම් කිසි සංවිධානයක් වටා එක් රොක් වීමක් සිදු නොවීය. මුල් කාලයේදී පුවත්පත්වල එතරම් පිරිසක් සේවය නොකිරීමත් පාලකයන්ගෙන් එල්ල වු යම් යම් බලපෑම්වලට එරෙහිව නැගී සිටීමට ශක්තියක් නොමැතිවීමත් නිසා මෙලෙස සංවිධානගතවීමක් සිදු නොවීය. එහෙත් ලෝකයේ වෙනත් රටවල මාධ්‍යවේදීන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වීමට පටන්ගෙන තිබේ. මේ තත්ත්වය යටතේ අන්තර්ජාතික පත්‍රකලා සංගමයේ ලංකා ශාඛාව ලෙස 1955 ඔක්තෝබර් 9 වැනි දින ලංකා පත්‍ර කලා සංගමය බිහි විය. නව ලෝකය සඟරාවේ කර්තෘ උඩකැන්දවල සිරි සරණංකර හිමියෝ මෙම සංගමය පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කළහ.

උඩකැන්දවල සිරි සරණංකර හිමියන්ගේ සභාපතිත්වයෙන් සහ එවකට තිබු මවුබිම පත්‍රයේ කර්තෘ හේම ද සිල්වා මහතාගේ ලේකම් ධුරයෙන් පිහිටුවාගත් ලංකා පත්‍ර කලා සංගමයේ ආරම්භක සාමාජික සංඛ්‍යාව 09කි. 1957 ඔක්තෝබර් 9 වැනි දින වැල්ලවත්ත පොලිටෙක්නික් ආයතනයේදී පැවැති සංගමයේ දෙවැනි සංවත්සරයේදී ඩී.එෆ්. කාරියකරවන මහතා ඇතුළු ප්‍රවීණ මාධ්‍යවේදීන් පිරිසක් මේ සංගමයට එක් විය. කාරියකරවන මහතාගේ යෝජනාවකට අනුව සංගමයේ නම ලංකා පත්‍ර කලා සංගමය (Press association of (ceylon) ලෙස වෙනස් කෙරිණි. කාරියකරවන මහතා සංගමයේ උප ලේකම් ධුරයටද පත් විය. 1960 වර්ෂයේදී ලංකා පත්‍ර කලා සංගමයට නිලධාරීන් තෝරන විට එවක දිනමිණ කර්තෘ පියසේන නිශ්ශංක මහතා සභාපති ධුරයට ද ඩී.එ‍ෆ්. කාරියකරවන මහතා ප්‍රධාන ලේකම් ධුරයට ද පත් විය. එදා සිට දශක පහකට වැඩි කාලයක් කාරියකරවන මහතා සංගමයේ විවිධ තනතුරු දරමින් මෙම සංගමය හරහා මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිසල් සේවාවක් ඉටු කළේය. මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදීන් රැසක් මේ සංගමයට සම්බන්ධ කරගැනීමටද කාරියකරවන මහතා සමත් විය.

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය ලෝකයේ බොහෝ රටවල මාධ්‍ය සංවිධාන සමඟ සබඳතා ගොඩනඟාගත් අතර අපේ අසල්වැසි ඉන්දියාවේ මාධ්‍ය සංවිධාන සමඟ වඩාත් සමීප සබඳතා ගොඩනඟාගෙන ඇත. මෙරට මාධ්‍යවේදීන්ට විදේශ දැනුම සහ අත්දැකීම් ලබාදීමට ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය විශාල කාර්යභාරයක් ඉටු කළේය. මෙලෙසම සංගමය මඟින් ශිෂ්‍යත්ව ලබා දැනුම සොයාගෙන ඒමට පසුගිය දශක හය තුළ පිටරට ගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 300කට අධිකය. සුහඳ සංචාර සඳහාද මාධ්‍යවේදීන් විශාල පිරිසක් මේ සංගමය හරහා පිටරට ගියහ.

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය හා ඉන්දීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය (I.F.W.T) සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව මෙරටින් එරටටත් එරටින් මෙරටටත් වසරක් පාසා මාධ්‍යවේදී කණ්ඩායම් හුවමාරු වෙති. ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සාමාජිකයන්ගේ ප්‍රථම ඉන්දියානු සංචාරය සිදු වූෆය් 1996දීය. එම වසරේ සිට මේ දක්වා නොකඩවා දෙරට අතර මාධ්‍යවේදීන් කණ්ඩායම් හුවමාරු වෙති.

ඩී.එෆ්. කාරියකරවන මහතා මීට වසර දෙකකට පෙර මිය යන තෙක්ම සංගමයේ වැඩ කටයුතුවලට ‍උද්‍යෝගයෙන් නායකත්වය දුන්නේය. එතුමා මිය යන විටද සංගමයේ උත්තර අනුශාසකවරයා ලෙස කටයුතු කළේය. අද වන විට එතුමාගේ පුත් ප්‍රවීණ මාධ්‍යවේදී මුදිත කාරියකරවන මහතා සංගමයේ අනුශාසක ලෙස මේ කටයුතු ඉදිරියට ගෙන යයි. ඩී.එෆ්. කාරියකරවන මහතාට කළ හැකි ඉහළම ගෞරවය නම් එතුමා බලාපොරොත්තු වු මාධ්‍ය සංස්කෘතිය මේ රටේ ගොඩනැගීමය.


විශ්‍රාමික මාධ්‍ය දැවැන්තයන්ට හරසර

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සංවත්සර උත්සවයේදී දැනට වයෝවෘද්ධව හා විශ්‍රාමික සුවයෙන් පසුවන මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී දැවැන්තයන් 10 දෙනෙකුට දහසින් බැඳි පියලි පිරිනමා ඔවුන්ගේ සේවයට උපහාර දැක්වීමද සිදු කෙරේ. දෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍ර අතර සුහද අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ ආරාධනයෙන් සංවත්සරයට සහභාගී වන ඉන්දියානු ජනමාධ්‍යවේදී ෆෙඩරේෂනයේ සභාපති සහ ලේකම් ඇතුළු 25 දෙනෙකු වෙත ප්‍රසාදය පළ කිරීම ද එම අවස්ථා‍වේම සිදු වනු ඇත.

මෙදින උපහාර ලබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දස දෙනා මෙසේය

i අර්නස්ට් පෝරුතොට පියනම ii ගාමිණී පුටුහපුව iii ඩබ්.ජී. ගුණරත්න iv පී. බාලසිංහම් v සුමනා ජයතිලක vi රිච්මන්ඩ් විජේසේකර vii එස්. සෙල්වකුමාර් viii ලක්ෂ්මන් ජයවර්ධන ix ආනන්ද අගලකඩ x මෙරිල් පෙරේරා


‍ලේක්හවුස් පුවත්පත් අන්තර්ජාලයට එක් කිරීමේ ගෞරවය ලක්ෂ්මන් ජයවර්ධනට

කීර්තිමත් මාධ්‍යවේදියකු මාධ්‍ය උපදේශකවරයකු මෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන ලක්ෂ්මන් ජයවර්ධන මහතා ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උළෙලේදි ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි.

ලංකාදීප පුවත්පතින් මාධ්‍ය ජීවිතය ඇරඹූ ලක්ෂ්මන් ජයවර්ධන මහතා මෙරට සිටිනා කීර්තිමත් මාධ්‍යවේදියෙකි. පසුව ලේක්හවුස් ආයතනයට එක්වූ ලක්ෂ්මන් ජයවර්ධන මහතා දිනමිණ සිළුමිණ පුවත්පත් වල මාධ්‍යවේදියකු මෙන්ම පුවත්පත් රැසක උපදේශකවරයකු ලෙසද කටයුතු කළේය. 1995 වසරේදී ලක්ෂ්මන් ජයවර්ධන මහතා ලේක්හවුස් ආයතනයේ සභාපති ධුරයට පත් විය.

ලේක්හවුස් පුවත්පත් අන්තර්ජාලයට එක් කිරීමේ ව්‍යාපෘතිය අරඹා ආයතනය තාක්ෂණික ලෝකයට ගෙන යෑමේ ගෞරවය හිමි වන්නේ ලක්ෂ්මන් ජයවර්ධන මහතාටය. ඩී.ආර්.විජයවර්ධන මාධ්‍ය පුස්තකාලය පරිගණකගත කොට පුස්තකාලය සංවර්ධනය කිරීමටද එතුමන් ක්‍රියා කළේය. මීට ‍අමතරව ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක වර්ධනයක් ඇති කිරීමටද ලක්ෂ්මන් ජයවර්ධන මහතාට හැකි විය. මාධ්‍යවේදියකු වූ ලක්ෂ්මන් ජයවර්ධන මහතා ලේක්හවුස් ආයතනයේ පරිපාලන කටයුතු මාධ්‍යවේදීන් සමඟ ඉතාම සුහදශීලී අයුරින් සිදු කළ අතර ආයතනය ඉහළ තත්ත්වයකට ගෙනඒමට එය හේතු විය.

අනගාරික ධර්මපාලතුමා පිළිබඳ විශිෂ්ඨ කෘතියක් රචනා කොට ඇති ලක්ෂ්මන් ජයවර්ධන මහතා පුවත්පත්වලට ලිපි දහස් ගණනක් ලියා ඇත. මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවන ලක්ෂ්මන් ජයවර්ධන මහතා ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ උත්තරීතර අනුශාසකවරයා ලෙස කටයුතු කරයි.


සිනමාව පත්‍ර කලාව යා කළ පෝරුතොට පියනම

මෙහිදී සම්මාන ලබන පූජක පක්ෂයට සම්බන්ධ එකම සම්මානලාභියා වනුයේ අසූහත් හැවිරිදි අර්නස්ට් පොරුතොට පියතුමා පමණි.

අර්නස්ට් පෝරුතොට පියතුමා මෙරට සිනමාවට සිනමා විචාරයට සාහිත්‍යයට ලේඛන කලාවට ඉතා විශාල මෙහෙවරක් ඉටු කළ පූජකතුමෙකු ලෙස ඉතිහාසගත වී තිබේ.

ගාමිණී හත්තොටුව සහ සුනිල් මිහිඳුකුල යන මහත්වරුන් සමඟ ශ්‍රී ලංකාවේ චිත්‍රපට විචාරක සංගමය බිහි කළ අර්නස්ට් පෝරුතොට පියතුමා ශ්‍රී ලාංකීය සිනමාව ඉහළ තලයකට නැංවීමට දශක ගණනාවක සිට ඉටු කරනුයේ අගය කළ යුතු සේවයකි.

අන්තර්ජාතික කතෝලික චිත්‍රපට සංගමය බිහි කළ මෙතුමා ශ්‍රී ලාංකීය සිනමාවට මෙන්ම කෙටි චිත්‍රපටකරුවන්ට ලබාදි ඇති සහාය සහ මඟපෙන්වීම සුළුපටු නොවේ.

අර්නස්ට් පෝරුතොට පියතුමා නිසා මුලින්ම කෙටි චිත්‍රපට නිර්මාණය කර ඇගයීමට ලක්වූ පසුකාලීනව වෘත්තාන්ත චිත්‍රපට නිර්මාණය කර සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකීය සිනමාකරුවෝද සිටිති.

'උසස් සිනමාව රස විඳීමෙන් විශාල මානසික සංවර්ධනයක් ඇතිවෙනවා. එම මානසික සංවර්ධනය රටක පැවැත්මට ඉතාම ප්‍රයෝජනයි. චිත්‍රපට විචාරක සංගමයෙනුත්, අන්තර්ජාතික කතෝලික චිත්‍රපට සංගමයෙනුත් (OCIC) අපි දශක ගණනක් තිස්සේ කරගෙන ආවේ මේ සත්කාර්යයැ' මොරටුවේ ලුනාවේ ශාන්ත පේදුරු පාවුළු දෙව්මැඳුරේ මනරම් නිස්කලංක අසපුවක වැඩසිටින අර්නස්ට් පොරුතොට පියතුමා දිනමිණට පැවසීය.

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය මඟින් ලැබෙන සම්මානය පිළිබඳව එතුමාගෙන් විමසූ විට 'සම්මාන කෙසේ වෙතත් මෙරට කලාවට සාහිත්‍යයට, සිනමාවට යම් හෝ සේවයක් කළ මහලු වියේ පසුවන මාධ්‍යකරුවන්ට මෙසේ ඇගයීමට ලක් කිරීම මෙරට කලා හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සුබ ලකුණකැයි' පැවැසූ අතර මේ සම්බන්ධව තමා ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයට බෙහෙවින්ම ස්තූතිවන්ත බවද වැඩිදුරටත් අවධාරණය කළේය.

හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ‍ගෝම්ස් නිකලස් මාකස් අගරදගුරුතුමාලා සමඟද ඔස්කා අබේරත්න, ඩොමිනික් කන්දප්පා පියතුමන්ලා සමඟ පසුගිය දශක ගණනාවක කාලයක් තිස්සේ තමන් වහන්සේද ශ්‍රී ලාංකික මාධ්‍ය තුල හා සිනමා ක්ෂේත්‍රයට යම් සේවයක් ඉටු කළ බව නිහතමානීව සඳහන් කළ යුතුව ඇතැයි ද අර්නස්ට් පෝරුතොට පියතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

දුමින්ද ගුරුගේ
තිලක් සේනානායක 

නව අදහස දක්වන්න