ආර්ථිකයේ හෙට දවස! | දිනමිණ

ආර්ථිකයේ හෙට දවස!

2018 සඳහා වූ අයවැය යෝජනා තුනෙන් දෙකක් වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. යෝජනාවලට පක්ෂව ඡන්ද 155 ක් ලැබී තිබේ. විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 56 ක් පමණි. මේ යෝජනා සඳහා පාර්ලිමේන්තුවේ සිටි සියලුදෙනා ම ඡන්දය පාවිච්චි කිරීම ද විශේෂයකි. ඡන්දය පාවිච්චි නොකළ පිරිස බින්දුව ලෙස සටහන් වී ඇත. මහජන නියෝජිතයන් බහුතරය අය වැය කෙරෙහි උනන්දුවක් හා අවධානයක් දැක්වීම යහපත් ප්‍රවණතාවයකි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ රටේ මූල්‍ය කටයුතු පිළිබඳ වගවීම පාර්ලිමේන්තුවට හිමි වේ. ඒ අනුව 2018 මුදල් වර්ෂය සඳහා වූ යෝජනා වැඩි ඡන්දයෙන් සම්මත වීම ආණ්ඩුවේ ස්ථාවරත්වය පෙන්නුම් කරන්නකි.

වත්මන් ආණ්ඩුව සිය ආර්ථික දර්ශනය නිර්මාණය කර ඇත්තේ ගෝලීය ආර්ථිකයට සමගාමීව ඉදිරියට යෑම සඳහාය. මැලේසියාව, තායිවානය, දකුණු‍ෙකාරියාව, වියට්නාමය, සිංගප්පූරුව වැනි රටවල් ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගෙන ඇත්තේ මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් ය. මෙය අපට අලුත් දෙයක් ද නො වේ. වසර සිය ගණනකට පෙරත් ශ්‍රී ලංකාව පැවැතියේ ඉන්දියන් සාගරයේ ආර්ථික මධ්‍යස්ථානයක් හැටියටය. ඊජිප්තුව, පර්සියාව, චීනය, ජපානය, ග්‍රීසිය, බුරුමය, රෝමය වැනි රටවල් සමඟ එදා ආර්ථික ගනුදෙනු පැවැතිණි. අපේ අන්තර්ජාතික ආර්ථික මෙහෙයුම් බිඳ වැටුණේ පසුකාලයකදීය. ඊට දේශපාලකයන් වගකිව යුතු ය.

දීර්ඝ කාලයක් තිස්සේ අපේ පාලකයන් ගෝලීය ආර්ථික උපාය මාර්ග පිළිගත්තේ නැත. අප විශ්වාසය තැබූවේ ස්වයංපෝෂිත හා ස්වදේශික ආර්ථිකයක් ගැන පමණි. එම ආර්ථිකයට යැපුම් මට්ටමවත් සාර්ථක කරගත නො හැකි විය. අපගේ ආර්ථික දැක්ම කෙතරම් යල් පීනු එකක් ද යත්; තවම ට්‍රැක්ටරයට බැණ වදින පිරිස් සිටිති. එහෙත් ලෝකයේ කෘෂිකර්මය නවීකරණය වී ඇත. ඉඩම් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම, කෙටිකාලීන ලෙස අස්වැන්න නෙළාගැනීම, කන්න කිහිපයක් වගා කිරීම, වැඩි ඵලදාවක් ලැබීම හා අපනයනය කිරීම නූතන කෘෂිකර්මයේ විලාසය වී තිබේ. මේ උපාය මාර්ග වෙත අප යා යුතුය.

කෘෂිකර්මයේ නවීකරණය හා කාර්මික නවීකරණය යනුවෙන් සංකල්ප දෙකක් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වෙයි. මේ වැඩසටහන්වල ඇති උපාය මාර්ග ඉතා හොඳින් භාවිතා කරන අප දන්නා රටවල් කිහිපයක් වන්නේ ඉන්දියාව, කෙන්යාව හා වියට්නාමයයි. එම රටවල් කෘෂිකර්මය නවීකරණය කර ඇති අතර ගොවියාගේ හා කෘෂිකර්මයට සම්බන්ධ ව්‍යාපාරිකයාගේද වෘත්තීය ජීවිතය සුරක්ෂිත කර තිබේ. ක්ෂේත්‍ර වශයෙන් ගතහොත් කෙන්යාවේ තේ වගාව, ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ගම්මිරිස් වගාව හා වියට්නාමයේ සහල් නිෂ්පාදනය නිදසුන් ලෙස දැක්විය හැකිය. ඉහත රටවල අප කියන ක්ෂේත්‍ර පුදුමාකාර දියුණුවක් ලබා තිබේ.

මෙවර අයවැයට නව යෝජනා එකසිය අනූ ගණනක් ඇතුළත් ය. මේ සෑම යෝජනාවක් ම ඉදිරිපත් වී ඇත්තේ රජයේ දිගුකාලීන ආර්ථික දැක්ම හා වැඩපිළිවෙළ ශක්තිමත් කරන අන්දමට ය. රජයේ එක් ඉලක්කයක් වන්නේ අපනයන ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීම ය. පසුගිය කාලය පුරාවටම අපගේ අපනයන ආදායම් පහළ ගියේ ය. ආනයන වියදම් ඉහළ ගියේ ය. එය ණය බර සහිත ආර්ථිකයක විශේෂ ලක්ෂණයකි. රජයේ නව ඉලක්කයක් වන්නේ ඉන්දියන් සාගරයේ මූල්‍ය හා ආර්ථික කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කිරීම ය. තවත් ඉලක්කයක් වන්නේ පරිසර හිතකාමී ආර්ථික ක්‍රියාවලියක් පවත්වාගෙන යෑම ය.

කෘෂිකාර්මික හා නවෝත්පාදන ලෝක දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ 90 වන ස්ථානයේය. මේ සඳහා පාදක කරගෙන ඇති රටවල් ගණන 127 කි. කෘෂිකාර්මික හා නවෝත්පාදන ක්ෂේත්‍රය තුළ අපට හිමි කනගාටුදායක ලෝක තත්ත්වය එයින් පැහැදිලි වේ. අපේ කුඹුරු කන්න ගණන් වගා නොකොට හිස් ඉඩම් ලෙස පවතී. ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගොවියන්ගේ අදහස කුඹුරු අස්වැද්දීම පලක් නැති දෙයක් බව ය. එක අතෙකින් දේශගුණික සාධක නිසා ද, තවත් අතෙකින් ගොවියන්ගේ ආකල්ප නිසාද වී වගාව දුර්වල වෙමින් පවතී. මේවාට විසැඳුම් සෙවිය යුත්තේ වගාව, ගොවියා, ආර්ථිකය යන සියල්ල සැලකිල්ලට ගැනීමෙන් ය. සහනාධාර හා විපත් ආධාර දීමෙන් පමණක් කෘෂිකාර්මික ගැටලු විසැඳිය හැකි නො වේ.

මෙවර අයවැය යෝජනා අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ සාධනීය යෝජනා රැසක් තිබේ. ඉන් එකක් වන්නේ 1958 අංක එක දරන කුඹුරු පනත වෙනස් කිරීමට යෝජනා කිරීමය. එම පනතට අනුව කුඹුරු ඉඩම් වෙනත් භෝගයක් සඳහා හෝ වෙනත් ආර්ථික කටයුත්තක් සඳහා හෝ යොදාගත නො හැකි ය. මේ නිසා වාර්ෂිකව අපතේ යන සම්පත ගැන කිසිදු ගණනයක් සිදුවී නැත. වී වගාව කළ නොහැකි නම්; එම ඉඩම් වෙනත් වගාවක් සඳහා යොදා ගැනීමේ වරද කුමක් ද? අප දන්නා හැටියට ශ්‍රී ලංකාවේ එළවළු හා පලතුරු මේ වනවිටත් යුරෝපයට හා මැදපෙරදිගට අපනයනය කෙරේ. එම වගාවන් දිරිමත් කළ යුතුව තිබේ.

අලුත් රක්ෂණ ක්‍රම කිහිපයක්ද අයවැය යෝජනා අතර තිබේ. එකක් ගොවියාට ය. තව එකක් පාසල් ශිෂ්‍ය පරපුරටය. තවත් එකක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරපුරටය. ගොවියාගේ රක්ෂණ ක්‍රමය දේශගුණික තත්ත්ව සැලකිල්ලට ගනිමින් ලබාදීමට හා ක්‍රියාත්මක කිරීමට නියමිතය. දේශගුණික දත්ත හා රටා විමැසීමෙන් රක්ෂණ වාසි ගොවියාට ලැබෙන පරිදි මේ ක්‍රමය සැලැසුම් වේ. පාසල් ශිෂ්‍ය පරපුරට රක්ෂණ ක්‍රමයක් යෝජනා වූයේ ගියවර අයවැයෙන් ය. 2018 දී එය තවදුරටත් ශක්තිමත් කරන අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දක්වා එය ව්‍යාප්ත වී ඇත. මේ රක්ෂණය ආපදාවකට පමණක් නො ව; උසස් අධ්‍යාපනය සඳහා ද, යොදා ගත හැකි ය.

පාරිසරික ගැටලු සැලැකිල්ලට ගෙන ඉලෙක්ට්‍රික් වාහන අලෙවිය දිරිගැන්වීමට ගෙන ඇති පියවර බොහෝදෙනාගේ සැලැකිල්ලට හා අවධානයට යොමුවී ඇත. එය සාධනීය යෝජනාවකි. අයවැය සම්බන්ධයෙන් විවිධ විවේචන තිබෙන්නට පුළුවන. එහෙත් සමස්තයක් ලෙස ගත් කළ මේ යෝජනාවල අර්ථය ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම බව පෙනෙයි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...