වසර 8කට පසු ශ්‍රී ලංකාවට ඉන්දියාවේදී එක්දින තරග ජයක් | දිනමිණ

වසර 8කට පසු ශ්‍රී ලංකාවට ඉන්දියාවේදී එක්දින තරග ජයක්

ජයග්‍රහණයේ ඉඩෝරයකට මුහුණදී සිටි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම පන්දු යවන්නන්ගේ විශිෂ්ට නැඟී සිටීම මතින් ඊයේ ඉන්දියාවේ හිමාචාහිදී ඉන්දියාවට එරෙහිව වසර 8කට පසුව එක්දින ජයක් හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකාව මින්පෙර ඉන්දියාවේදී ඔවුන්ට එරෙහිව එක්දින ජයක් වාර්තා කර තිබුණේ 2009 වසරේ දෙසැම්බර් 18වැනිදා කුමාර් සංගක්කාරගේ නායකත්වයෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ ජය වාර්තා කළේ මේ වසර තුළදී පිට පිට එක්දින තරග 12ක් පරාජයට පත්වීමෙන් පසුව වීම විශේෂත්වයකි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 112කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 20යි, පන්දු 4කදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 3ක් පමණක් අහිමිකර ගනිමිනි. මේ සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 25ක් හා නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 26ක් රැස් කළහ.

ලකුණු 112ක ඉලක්කය හඹා යෑමට උපුල් තරංග සමගින් පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලකට ඊයේ ලබාගත හැකිවූයේ එක් ලකුණක් පමණි. ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින මහේන්ද්‍ර සිං දෝනි උඩ පන්දුවක් රැක ගැනීමෙන් ගුණතිලක දැවී ගිය අතර කෙළින් පන්දුව කඩුල්ලේ වැදීමෙන් ළහිරු තිරිමාන්න ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට බුවනේෂ්වර් කුමාර් සමත් විය. ඒ වනවිට ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 19ක් ලෙසිනි.

දැවී ගිය අනෙක් පිතිකරු වූයේ උපුල් තරංගය. හතරේ පහර 10ක් සමගින් පන්දු 46කට මුහුණදී සිටි තරංග අර්ධ ශතකයකට ලකුණක් පසුපසින් සිටියදී හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුවකට ශිකර් ධවාන් උඩපන්දු රැක ගැනීමෙන් දැවී ගියේය.

කාසියේ වාසිය පරාජයවීමෙන් පසුව මුලින්ම පන්දුවට පහරදීමට පැමිණි ඉන්දීය පිල අනපේක්ෂිත අයුරින් ආගාධයකට තල්ලු කළ සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නෝ ඕවර 38කුත්, පන්දු 2කදී ඉනිම ලකුණු 112කට සීමා කිරීමට සමත්වූහ. ඉන්දියානු පිල ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය 5වැනි අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර සිය මවුබිමේදී දැවී ගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වෙයි. ඔවුන් මින් පෙර 1986 වසරේදී කාන්පූර් හිදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 78කට දැවී ගොස් තිබූ අතර 2000 වසරේ සාජාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ ලකුණු 54 අඩුම ලකුණු සංඛ්‍යාවයි.

පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවට පත්වූ හිමචාල් තණතිරුවේදී අන්දමන්ද වූ ඉන්දීය පිලේ පළමු කඩුල්ල ලෙස ශිකර් ධවාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමට දෙවැනි ඕවරයේ අවසන් පන්දුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් සමත්වෙද්දී ඉන්දීය ඉනිමේ ලකුණු ලබාගැනීම ආරම්භ වී තිබුණේ ද නැත.

අනතුරුව මුලු ලකුණු සංඛ්‍යාව 2දී නායක රෝහිත් ෂර්මා ලකුණු 2කට දවාගත් සුරංග ලක්මාල් 17 වැනි ඕවරයේදී බුවනේෂ් කුමාර් දවාගනිමින් සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් කඩුලු 4ක් දවාලීමට සමත් විය. ඒ වනවිට ඉන්දීය ඉනිම දිස්වූයේ කඩුලු 7කට ලකුණු 29ක් ලෙසිනි. ප්‍රබල පිතිකරුවන් සියලුදෙනාම නරඹන්නන් බවට පත්වී සිටියදී පිටියට පිවිසි හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි බිඳ වැටුණු ඉනිමට තරමක සැනසිල්ලක් අත්කර දීමට සමත් විය.

ඔහු කුල්දීප් යාදෙව් සමග එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 41ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ අතර අවසන් කඩුල්ල ලෙස දැවී යද්දී ලකුණු 65ක් රැස් කර තිබිණි.67වැනි අර්ධ ශතකය වාර්තා කළ ඔහුගේ ඉනිමට වැයවූයේ පන්දු 87ක් පමණි. හතරේ පහර 10ක් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කළ මේ පිතිකරුවා සිය උපන්භූමියේදී ඉන්දීය පිලේ ගෞරවය රැක දීමට සමත් විය. ඔහුට අගනා සහයක් ලබාදුන් කුල්දීප් යාදෙව් රැස් කළ ලකුණු සංඛ්‍යාව 19කි. හර්දික් පාණ්ඩ්යා ලකුණු 10ක් රැස්කළ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි.

එක දිගට සිය ඕවර 10ම සම්පූර්ණ කළ සුරංග ලක්මාල් ඉන් ඕවර 4ක්ම ලකුණු ලබාදීමෙන් වළකාගත් අතර කඩුලු 4ක් දවාලූයේ ලකුණු 13ක් පමණක් ලබාදෙමිනි.

ඔහුට අනිග සහයක් ලබාදුන් නුවන් ප්‍රදීප් ඕවර 10ක් තුළදී ලකුණු 37කට කඩුලු 2ක් දවාගත් අතර ඇන්ජෙලෝ මැතිව්ස්, නායක තිසර පෙරේරා, අකිල ධනංජය හා සචිත් පතිරණ කඩුල්ල බැගින් බිඳ දැමූහ.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය ලබන 13 දා මොහාලි හිදී පැවැත්වේ.

 

 

නව අදහස දක්වන්න