ලෝක තහනමක් ඇති බැඩ්මින්ටන් සංගමයට ඔලිම්පික් නිලවරණයේදී ඡන්ද අයිතිය හිමි වෙයි | දිනමිණ

ලෝක තහනමක් ඇති බැඩ්මින්ටන් සංගමයට ඔලිම්පික් නිලවරණයේදී ඡන්ද අයිතිය හිමි වෙයි

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට ජාත්‍යන්තර බැඩ්මින්ටන් රෙගුලාසි කඩ කිරීමේ චෝදනා හේතුවෙන් ජාත්‍යන්තර තහනමක් පනවා තිබුණද, ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හා මෙරට සියලු ක්‍රියාකාරකම්වලට අවසරය ඇති බව ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය දැනුම් දෙයි. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට පෙරේදා දිනයේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ ලේකම් තෝමස් ලුන්ඩ් මහතාගේ අස්සනින් ඒ බව ලිඛිතව දැනුම්දී ඇත.

එහෙත් අන්තර්ජාතික බැඩ්මින්ටන් තහනම අවසන් වනතුරු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිදු ජාත්‍යන්තර තරගාවලියකට සහභාගීවීමේ අවස්ථාව හා විනිසුරුවන්ට, නිලධාරීන්ට ජාත්‍යන්තර ක්‍රියාකාරකම්වලට සහභාගීවීම තවදුරටත් අහිමි වේ. ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දෙකම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම්වන අතර බැඩ්මින්ටන් විනිසුරුවන්ට හා නිලධාරීන්ට ද ක්‍රීඩා උළෙල අහිමි වේ.

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිත බැවින් එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා ඇත්දැයි ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය කළ විමසීමකදී මේ පිළිතුර එවා ඇති බව වාර්තා වේ. එබැවින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලේකම් හා සභාපති යන දෙදෙනාට ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි වේ.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය ඉදිරි නිශ්චිත කාල රාමුවක් තුළදී බැඩ්මින්ටන් ව්‍යවස්ථාව අනුව මහා සභා රැස්වීමක් පවත්වා නීත්‍යානුකූල නිලධාරී මණ්ඩයක් පත්කර ගන්නා ලෙස ලෝක බැඩ්මින්ටන් සම්මේලනය අවධාරණය කර ඇත. ඉන් අනතුරුව ජාත්‍යන්තර තහනම ඉවත් කිරීම පිළිබඳ සලකා බැලීමට ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය සූදානමින් සිටී.

මේ අතර ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය ශ්‍රී ලංකාවට පැනවූ තහනම ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් ජාත්‍යන්තර බැඩිමින්ටන් සම්මේලනයට ලබාදෙන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත ක්‍රීඩා අමාත්‍යාංශය ලිපියක් යොමු කර තිබේ. එයට පිළිතුරු ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසා ඇත්තේ මැලේසියාවේ පිහිටි ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය සමග මේ පිළිබඳ එකඟතාවක් ඇතිකර ගැනීම වැදගත් බවය.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මැලේසියාවේ පිහිටි ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලන මූලස්ථානය වෙත ඉදිරි දින කිහිපය තුළ ගොස් තහනම ඉවත්කර ගැනීමේ සාකච්ඡා ආරම්භ කිරීමේ සූදානමින් සිටී. ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා සම්බන්ධව මෙතෙක් සිදු කරන ලද සෑම ක්‍රියාවක්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නීති රෙගුලාසිවලට යටත්ව පිළිගත් ක්‍රමවේද අනුව සිදු කර තිබියදී බාහිර පාර්ශ්වයක දැනුම් දීම මත ජාත්‍යන්තර තහනමක් පැනවීම අසාධාරණ බව මේ සාකච්ඡාවේදී පෙන්වාදීමට අපේක්ෂා කරයි. 

නව අදහස දක්වන්න