ඔබත් විටමින් B12 ඌනතාවෙන් පෙළෙනවාද? | දිනමිණ

ඔබත් විටමින් B12 ඌනතාවෙන් පෙළෙනවාද?

විටමින් යනු අපේ ශරීරයට අත්‍යවශ්‍යම සංඝටකයකි. විටමින් නිසි පරිදි නොලැබීම නිසා, ශරීරය අඩපණ වේ. එවිට ශරීරයේ ක්‍රියාකාරිත්වය බිඳ වැටෙන නිසා , රෝගීන් බවට පත්වේ. ඒ අනුව පෙනී යන්නේ, විටමින් යනු ශරීරයේ ආරක්ෂකයෙක් ලෙස ක්‍රියා කරන බව ය. මේ තොරතුරු, විටමින් පවුලේ සාමාජිකයෙක් වන, විටමින් B12 වැදගත්කම පිළිබඳ ය.

විටමින් B12, කෝබොලයිමින් යනුවෙන් ද හැඳින්වේ. අපේ ශරීරයට ඉතාමත් වැදගත් විටමින් කාණ්ඩයක් වන විටමින් B12 මඟින්, ඔබේ රතු රුධිර සෛල සහ DNA නිපදවීම සඳහා මහඟු සේවායක් ඉටු කරයි. ඒ වගේම, විටමින් B12 ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා ද මූලික ලෙස ම බලපායි. විටමින් B12 ස්වභාවිකවම සත්ව ආහාර, මස්, මාළු, කුකුළු මස්, බිත්තර සහ කිරි ආහාවලින් ලබාගත හැකි ය.

මුලික වශයෙන්ම විටමින් B12 ඌනතාව නිසා, ලෙඩ රෝග ඇති වන්නේ වයස්ගත අවධියේදී ය. විටමින් B12 ඌනතාව ඇති වූ විට සිදු වන්නේ, ආහාරවලින් අවශ්‍ය පෝෂක කොටස් උරා ගැනීමට, ශරීරය අපොහොසත් වීම ය. එවිට, කොපමණ පෝෂ්‍යදායී ආහාර ගත්තත්, ඒ කිසිම පෝෂක කොටසක් ශරිරයට අවශෝෂණය වන්නේ නැත.

අවාසනාවකට, විටමින් B12 ඌණතාවයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට වසර ගණනාවක් ගත විය හැකි ය. ඒ වෙද්දී, රෝගී තත්ත්වය උත්සන්න වී, සුව කළ නොහැකි තරම් සංකීර්ණ වී තිබිය හැකි ය. විටමින් B12 ඌනතාවයේ ලක්ෂණ කිහිපයකි.

සුදුමැලි හෝ පාණ්ඩු පැහැති සම

රතු රුධිරාණු සෛල නිපද වන්නේ ඇට මිදුළු තුළදී ය. විටමින් B12 ඌන වූ විට, මේ රතු රුධිරාණු, ප්‍රමාණයෙන් විශාල වේ. එවිට ඇට මිදුළුවලින් රතු රුධිරාණු රුධිරයට මුදා හැරෙන්නේ අඩුවෙන් ය. එවිට රුධිරයේ රතු රුධිරාණු ප්‍රමාණය අඩු නිසා, සුදු මැලි වේ. එයට අමතරව විටමින් B12 අඩු වූ විට රතු රුධිර සෛල දුර්වල වන නිසා, ඒවා ඉක්මනින්ම බිඳීමට ලක් වේ. රතු රුධිරාණු සෛල නිපද වීම සඳහා අත්‍යවශ්‍ය සංඝටකයක් වන විටමින් B12, ශරීරය තුළ යහමින් නොමැති නිසා, ශරීරයේ රතු රුධිරාණු මට්ටම පහත වැටේ. මේ නිසා, විටමින් B12 ඌනතාවයෙන් පෙළෙනවා නම්, සම සුදුමැලි හෝ පාණ්ඩු පැහැති වේ.

තෙහෙට්ටුව සහ ආතතිය

වෙනදාට වඩා ඇඟට මහන්සිය, තෙහෙට්ටුව දැනෙනවා වැඩිද ? එසේ නම්, සමහර විට ඔබ විටමින් B12 උනතාවයෙන් පෙළෙනවා විය හැකි ය. එයට හේතුව වන්නේ, අපේ ශරීරය පුරා ඔක්සිජන් ගෙන යන රතු රුධිරාණුවල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ප්‍රමාණවත් විටමින් B12 මට්ටම ශරීරයේ නොමැති වීම ය. එහි ප්‍රතිඵලයක් ලෙස, ශරීරයේ නිසියාකාර ඔක්සිජන් පරිවහනය කිරීමට රතු රුධිර සෛල අසමත් වන නිසා, සිරුරට දැනෙන්නේ තෙහෙට්ටු ගතියකි.

ඉඳිකටු ඇනෙනවා සේ දැනීම

දීර්ඝ කාලයක් පුරා විටමින් B12 නිසි පරිදි නොලැබී ගියහොත්, ස්නායුවලට අහිතකර ලෙස බලපායි. එවිට ස්නායු දුර්වල වේ. ඒ හේතු කරගෙන, ඉඳිකටුවලින් අනිනවා මෙන් දැනෙන්නට පටන් ගනී. විටමින් B12 මඟින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා ක්‍රමානුකූල කරන මයිලින් නමැති සංඝටකය නිෂ්පාදනයට උදවු කරයි. මෙය මේද සංඝටකයකි. මේ සංඝටකය මඟින් ස්නායු ආරක්ෂා කරයි. යම් හෙයකින් ශරීරයේ විටමින් B12 මට්ටම අඩු වුවහොත්, මයිලින් නිෂ්පාදනය වන්නේ එහි අවශ්‍ය ස්වරූපයෙන් බැහැරව ය. එම ආකාරය පෙර පරිදි ඔබේ ස්නායු ආරක්ෂා කරන්නේ නැත. මේ නිසා, ස්නායු දුර්වල වේ. එවිට, ඉඳිකටුවලින් අනිනවා මෙන් හැඟේ. එහෙත්, ඉදිකටු ඇනෙනවා වගේ දැනීම සෑම විටම ඇතිවන්නේ විටමින් B12 ඌනතාව නිසා ම නොවේ. එය, වෙනයම් රෝගයක මූලකාරයක් ද විය හැකි ය.

චලනය වීමේ වෙනස්කම්

දීර්ඝ කාලයක් පුරාවට විටමින් B12 නොලැබීම නිසා ඇතිවන ස්නායු අකර්මන්‍යතාව, ඇවිදින සහ චලනය වන ආකාරය වෙනස් කිරීමට ඉඩ තිබේ. එයට අමතරව එය සිරුරේ සමබරතාවට බලපෑම් කරන්නට ද ඉඩ ඇත. මෙය වැඩි වශයෙන්ම හඳුනා ගන්නට හැකි වන්නේ, වැඩිහිටි වයසේ පුද්ගලයන් ආශ්‍රයෙනි.

ග්ලොසිටිස් සහ මුඛ විකෘතිතා

ග්ලොසිටිස් යනු, දැවිල්ල සහිත දිවක් විස්තර කිරීමට භාවිත කරන යෙදුමකි. ග්ලෝසිටිස් රෝගයෙන් පෙළෙනවා නම්, දිවේ වර්ණය හා හැඩය වෙනස් වී, වේදනාකාරී ඉදිමීම් තත්ත්වයක් ඇතිවේ. මේ නිසා, රස දැනෙන දිවේ ඇති රස අංකුර සියල්ල විනාශ වේ. එවිට, කෙතරම් රස ආහාරයක් ගත්තත්, එය දැනෙන්නේ නැත. මේ රෝගයේදී දිව ඉදිමුමට ලක් වන නිසා, කතාබහ කරන ආකාරය පවා වෙනස් විය හැකි ය. මේ රෝගයට මුලිකම හේතුව වන්නේ, විටමින් B12 ඌණතාව ය.

ක්ලාන්තය සහ හුස්ම ගැනීමේ අපහසුතා

විටමින් B12 ඌණතාව නිසා සමහර අවස්ථාවල හුස්ම ගැනීමේ අපහසුතාවත්, ඒ නිසා ම ක්ලාන්ත ගතියකුත් දැනෙන්නට පුළුවන. මෙයට හේතුව, ශරිරයේ ප්‍රමාණවත් තරම් රතු රුධිරාණු නොමැති වීම නිසා, සිරුර පුරා ඔක්සිජන් පරිවහනය සිදු නොවීම ය. මේ තත්ත්වය බොහෝ රෝගවල පූර්ව ලක්ෂණයක් වන්නට ද පුළුවන. ඒ නිසා, ඉක්මනින්ම ඔබේ වෛද්‍යවරයා හමු වන්න.

අපැහැදිලි දෘෂ්ටිය

විටමින් B12 ඌණතාවයේ තවත් අයහපත් තත්ත්වයක් වන්නේ, දෘෂ්ටියේ අපැහැදිලි බව ය. විටමින් B12 ඌණතාවයෙන් පෙළෙනවා නම්, ඔබේ පෙනීම දුර්වල වේ. මෙයට හේතු වන්නේ, ඇසේ ස්නායු දුර්වල වීම ය. මේ මඟින් සිදු වන්නේ, ඇස ග්‍රහණය කර ගන්නා රූප, මොළයට යවන ස්නායු, අඩපණ වීම ය. මෙහිදී ඇසට හසුවන රූප මොළයට යැවෙන්නේ නැති නිසා, රූප හඳුනා ගැනීමේ අපහසුතාවක් ඇති වේ.

මනසේ වෙනස්වීම්

B12 හි අඩුපාඩු සහිත අය බොහෝ විට මනෝගතිවල වෙනස්කම් පෙන්නුම් කරයි. එනම්, විටමින් B12 ඌණතාව නිසා, කෙනකුගේ මානසික මට්ටම පවා වෙනස් විය හැකිය. එවැනි අයට ආතතිය, සාංකාව, විශාදය ආදී රෝග ඇතිවන බව, පර්යේෂණ මඟින් තහවුරු කරගෙන තිබේ.

ඉහළ උෂ්ණත්වය

විටමින් B12 ඌණතාව නිසා ඇතිවන තවත් දුර්ලබ රෝගී තත්ත්වයක් වන්නේ, ශරීරයේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම ය. මෙය මුල් කාලීනව කුමන කරුණක් නිසා ඇති වනවාද යන්න සොයා ගැනීමට නොහැකි වූ විට, වෛද්‍යවරුන් කළේ විටමින් B12 ලබා දීම ය. මෙසේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යන්නේ, විටමින් B12 ඌණතාව නිසා ම පමණක් නොවේ.

අන්තර්ජාලය ඇසුරිනි

යශෝදා ඉන්දීවරී

 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න