දරුවා සා.පෙළ ලියනවාද ? | දිනමිණ

දරුවා සා.පෙළ ලියනවාද ?

කෑගල්ල මහ රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය සේනක ජයසුන්දර

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට තව ඉතිරිව ඇත්තේ දින කීපයකි.විෂාදය (Depression) හෙවත් මානසික අවපීඩනය විභාග සමයේදී පාසල් දරුවන් අතර සුලබ තත්වයකි.මානසික රෝග අතරින් බහුලම මානසික රෝගය විෂාදයයි.මිනිසුන්ගෙන් සියයට විස්සක් හෙවත් පහෙන් එකකට විෂාදය ඇති තරමට එය සුලබ වූවකි.

සාමාන්‍ය පෙළ,උසස් පෙළ විභාග සමයේදී ද විශ්වවිද්‍යාල විභාග සමයන්හිදී මෙන්ම පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග සමයේදී කුඩා දරුවන් තුළද විෂාදය බහුල වේ.පිරිසක් අතරින් හයෙන් එකකට ඕනෑම මොහොතක විෂාදය ඇතිවිය හැකිය.එය සාමාන්‍ය තත්වයක් ලෙසින් පෙනුණද එයින් සමාජයටත්,රටක ආර්ථිකයටත් විශාල බලපෑමක් ඇතිවෙන්නකි.මානසික රෝග සායනවලට සහභාගිවන රෝගින්ගෙන් සියයට පනහකට (50%) විෂාදය සුලබ තත්වයකි.

අපොස සාමාන්‍ය පෙළ විභාගයද උසස් පෙළ විභාගය මෙන්ම අතිශයින් තරගකාරී විභාගයකි. මෙහි තරගකාරිත්වය ඇත්තේ සියලුම විෂයයන් සදහා A සාමාර්ථ ලබාගැනීමේ අරමුණ මතය.විභාගයේදී A සාමාර්ථ වැඩි ප්‍රමාණයක් ලබාගැනීම ළමුන්ටත් වඩා දෙමාපියන් ගෞරවයක් හෝ නම්බුවක් ලෙස සලකති.

A නමය සිහිනයට ගොදුරුවූවෝ ටියුෂන් සඳහා අසීමිතව පෙළඹෙති.මෙය පාසල් දරුවන්ගේ ආතතිය වැඩිකිරීමට බලපාන ප්‍රබල හේතුවකි. බොහෝ දරුවන් පාසල නිමාවී අමතර පංතිවලටද සහභාගිවී රාත්‍රී අටට, නවයට පමණ නිවසට පැමිණෙන්නේ හොඳටම හෙම්බත්වය. මෙම තත්වය සමහර දරුවන්ට ගැටලුවක් නොවූවද තවත් දරුවකුට එය දරාගත නොහැකිය.

පීඩනය පුපුරන ආකාරය

මෙලෙස විෂාදයට ලක්වන දරුවන්ට පාසල් යාම එපාවී ඇති බවක් හැඟෙයි.උදෑසන නින්දෙන් අවදිවූවිට ප්‍රබෝධයක් නැත.වෙනත් දිනවලදී කරන වැඩ කොටසවත් ඉටුකර ගැනීමට නොහැකි බවක් දැනේ.අධ්‍යාපන කටයුතුද සීග්‍රයෙන් එපා වෙයි.අධික ලෙස කේන්ති යයි.හැම දෙයක්ම එපා වී ජීවිතයෙන් ඵලක් නොමැති බව පවසමින් ජීවිතයෙන් පලායාමටද ඔවුහු උත්සාහ කරති.

පාසල් අධ්‍යාපනය ලබන මෙම කාලය දරුවන්ගේ මානසිකව පමණක් නොව ශාරීරිකවද වර්ධනය වන අවධියකි. මේ කාලයට දරුවන්ට ව්‍යායාම ඉතා අවශ්‍ය වේ. නමුත් ඔවුන්ට නිසි ව්‍යායාම නොලැබේ. ඒ පිළිබදව ඔවුහු නොසලකා හැර සිටිති. බොහෝ විට එම කාලයද අමතර පංති සඳහා වැය කරති.

මෙහි තවත් වැදගත් කරුණක්වන්නේ මෙම දරුවන් ඉගෙනගනු ලබන්නේ විෂය කරුණු පමණක්වීම තුළින් ඔවුන්ගේ සමාජ අවබෝධයද අවමවීමය.විෂය කරුණුවලට අමතරව පොතපත සඟරාවලින් බැහැරවීමෙන් ඔවුන්ගේ විෂය බාහිර දැනුමෙහිද වර්ධනයක් සිදු නොවේ.අමතර දැනුම ලබා නොගැනීම තුළ මොවුන්ගේ පරිකල්පන ශක්තියද පටුවේ.

බොහෝ රටවල ළමුන් පාසලේ අධ්‍යාපන කටයුතුවලට අමතරව බාහිර ක්‍රියාකාරකම්වලද බොහෝවිට යෙදෙති. ඔවුහු විෂය කරුණුවලින් බැහැරව අමතර දේ ඉගෙන ගනිති.විවිධ අධ්‍යාපන කඳවුරුවලට සහභාගි වෙති. පාසල් නිවාඩු කාලවලදී ජීවිතය සම්බන්ධයෙන් විවිධ අත්දැකීම් ලබති. එවැනි අවස්ථා මෙරට දරුවන්ට පුළුල් වශයෙන් නොමැතිවීමද ගැටලුවකි. මේ හේතුවෙන් ඔවුන් යම් සීමාවකට කොටුවී මානසික ආතතියට ලක්වීමේ ප්‍රවණතාවක් පවතී.

මෙම තත්වය විභාග දිනවල පමණක් නොව විභාගයට මාස දෙක තුනක් තිබියදීද දැකිය හැකිය.එහෙත් එය දරුවාගේ මානසික ගැටලුවක් බවට හඳුනාගැනිමට ගුරුවරු හෝ මාපියන් අපොහොසත් වෙති. තෙහෙට්ටුව ,මහන්සිය, හිසරදය, උදරාබාධ වැනි තත්වයන් මෙහි රෝග ලක්ෂණ විය හැකිය. මෙය විෂාදය තරම් ප්‍රබල නැත.

හැම පුද්ගලයකුගේ මෙන්ම දරුවන්ගේද හැකියාවන්හි සීමාවක් තිබේ. ගායනය හෝ නර්තනයට හැමෝම දක්ෂතා නොදක්වති. ගණිත ගැටලු විසඳීමට හැමෝම සමත් නොවෙති. මාපියන් හැමවිටම දරුවන්ගෙන් විභාගයකදී ලකුණු 100% ක් අපේක්ෂා කරති. ඉන් නොනැවතී තවත් දරුවකු සමඟ සන්සන්දනය කිරීමට පෙළඹෙති. අසල්වැසි නිවසේ දරුවාට හෝ පංතියේ වෙනත් දරුවකුට හැකි නම් තම දරුවාට නොහැකි මන්දෑයි දරුවා පීඩනයට පත් කරති. එහෙත් තම දරුවන්ගේ විෂය බාහිර විවිධ හැකියාවන් අගය කිරීමට ඔවුන් කටයුතු නොකරති.

මවුපියන්ගේ බලාපොරොත්තු

මාපියන් මෙම තත්වය අවබෝධ කරගත යුතු අතර, අප අපගේ ආකල්ප වෙනස්කර ගත යුතුව තිබේ. දරුවන් අතර විභාගයකදී තරගයක් ඇත. මෙම තරගයෙන් දරුවා සම්පූර්ණයෙන්ම ඉවත්කර ගැනීමට මාපියන්ට නුපුළුවන. ශිෂ්‍යත්ව විභාගයට දරුවන් ඉදිරිපත් කරන බොහෝ මාපියන් අපේක්ෂා කරන්නේ දරුවාට ජනප්‍රිය පාසලකි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව සමහර පාසල්වල බොහෝ පහසුකම් ඇති අතර, සමහර පාසල්වල පහසුකම් ඉතා අවමය.

සම්පත් අසීමිතවූ ජනප්‍රිය පාසලකට තම දරුවා ඇතුලත්කර ඔහුට අධ්‍යාපනයක් ලබාදීම මාපියන්ගේ අභිලාෂයය. එය සාධාරණ හැඟීමකි. රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් හා රජයන් පාසල්වල සම්පත් විෂමතාව අවම කිරිමට කටයුතු කළ යුතුය. ඒ සඳහා ළඟම පාසල - හොඳම පාසල වැනි ව්‍යාපෘති වඩවඩාත් අවශ්‍ය වේ. ඒ අතරම තම ආකල්ප වෙනස් කර ගනිමින් දරුවන් විෂය බාහිර කටයුතුවලට යොමු කිරීමද දෙමාපියන්ගේ වගකීමකි.

මෙම වාතාවරණය තුළ ගුරුවරුන්ටද එල්ලවී ඇත්තේ දැඩි පීඩනයකි. හොඳම ප්‍රතිඵල තම පාසලෙන් පෙන්වීමට ඔවුන්ටද වගකීමක් පැවරී තිබේ. පාසල් කාලයෙන් පසුවද පාසල්වල පංති පවත්වමින් ඔවුන් අපේක්ෂා කරන්නේ තම පාසලෙන් වැඩිම ලකුණු ලබාගන්නා හෝ A ලබාගන්නා සිසුන් බිහිකිරීමටය. මෙම තත්වය දිරිමත් කිරීම අවම කිරීම අධ්‍යාපන පරිපාලන නිලධාරින්ගේද වගකීමකි.

මාපියන් හා ගුරුවරුන් දරුවන් පීඩනයෙන් සිටින බව හඳුනාගත යුතුවේ. එවැනි ලක්ෂණයන් පෙන්නුම් කරන දරුවන් වෛද්‍යවරුන් වෙත හෝ පාසල්වල පිහිටුවා ඇති උපදේශන සේවා වෙත කඩිනමින් යොමුකළ යුතුය.හිසරදය,උදරාබාධ වැනි රෝගාබාධයන්හිදී වෛද්‍යවරුන් වෙත මෙම දරුවන් රැගෙන යන මේ පිරිස එම දරුවන් මනෝ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කිරීමට මැලිකමක් දක්වති.

සෞඛ්‍යවත්ව සිටීම යනු ලෙඩ රෝග නොමැතිව ජීවත්වීම නොවේ. එය ශාරීරිකව, මානසිකව මෙන්ම සමාජීයව යහපැවැත්මක් පවත්වා ගැනීමයි. මානසික සෞඛ්‍යය යනුවෙන් අදහස් වන්නේද එවැනි සංකල්පයකි. නැතහොත් මානසික යහපැවැත්මය. වයස, ස්ත්‍රී පුරුෂභාවය, උගත් නූගත්බව, කුලය, ජාතිය, දුප්පත් පොහොසත් බව ආදිවූ කිසිදු තරාතිරමකින් තොරව ඕනෑම පුද්ගලයකුට මානසික රෝග හෝ මානසික ගැටලු ඇතිවිය හැකිය.

මානසික රෝගයක් වැලැඳීම කිසිසේත්ම ලැජ්ජාවට කරුණක් නොවේ. මානසික රෝගද,කායික රෝග මෙන්ම රෝගී තත්වයක් පමණි.මානසික රෝග සුවපත් කිරීමට ඖෂධ ප්‍රතිකාර අත්‍යවශ්‍ය නොවන අතර, උපදේශනය සහ වෙනත් මනෝ ප්‍රතිකාර මඟින් බොහෝ මානසික ගැටලු සුවපත් කළ හැකි වේ.මානසික රෝගවලට ප්‍රතිකාර කිරීමටත්,එම රෝග නිසා ආර්ථිකයට වන බලපෑමත් ඇමරිකාවේ දල ජාතික නිෂ්පාදිතයෙන් 2.2% ක් බව ගණනය කර ඇත.එහෙත් ශ්‍රී ලංකාවේ මෙතෙක් එවැනි සමීක්ෂණයක් සිදු කර නොමැත.

විෂාදය මඟින් චර්යාත්මක බලපෑමක් සිදුවේ. ගැටලුවක් නැතත්, සතුටක් නොමැතිවීම මෙහි ප්‍රධාන ලක්ෂණයකි.රෝගියාට නින්ද අතරමඟ ඇහැරීමත්,නින්ද නොයාමත්,ජීවිතය පිළිබඳව අධික කලකිරීමත්,සිය දිවි නසාගැනිමට සිතීමත්,ජීවිතය වින්දනය වෙනුවට විඳවීමත්,නිරතුරුවම අසුබවාදී ලෙස සිතීමත්,මතකය දුර්වලවීමත්,තීරණ ගැනීමේ දුබලතා ඇතිවීමත්,නොරිස්සුම හා අධික කෝපයත්,වෛද්‍ය ප්‍රතිකාරවලට ප්‍රතිචාර නොදක්වන හිසරදය වැනි කායික රෝග ලක්ෂණත් විෂාදයේ තවත් රෝග ලක්ෂණ අතර වේ.

මෙවැනි තත්වයකදී අමනුෂ්‍ය දෝෂයකැයි සිතා නූල් බැඳීමට,බලි තොවිල් කිරීමට සමහර මාපියෝ පෙළඹෙති. මෙවැනි රෝග සඳහා සමාජයේ පවතින සමහර පිළිගැනීම් හා සමාජ ආකල්ප හේතුවෙන් රෝගයක් ලෙස සලකා ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමද ගැටලුවකි.

ඔබේ දරුවා හඳුනාගන්න

මිනිසුන් වර්තමානයේ අතීතයට වඩා කාර්ය බහුලව සිටීමෙන් මානසික ආතතියට ලක්ව සිටිති.එහෙත් මෙය රෝගී තත්වයක් බව බොහෝ දෙනා නොදනිති.සමහර මානසික රෝග ළමයින්ටද වැළඳේ.විෂාදය සහිත අධික ක්‍රියාශීලී ළමුන් දෙමාපියන්ට හා ගුරුවරුන්ට නිරීක්ෂණය කළ හැකිය.මොවුන්ගේ අවධානය බොහෝ පහසුවෙන් බිඳ වැටේ.ඔවුහු බෙහෙවින් දඟකාරය.කියන දේ නොඅසති.ඔවුන්ට එක දිගට එක තැනක වාඩිවී වැඩ කළ නොහැකිය.තමන් ළඟ සිටින අනෙකුත් අයටද බාධා කරති.මෙම තත්වයන් ඖෂධ මඟින් සම්පූර්ණයෙන්ම සුවකළ හැකිය.

විෂාදය හේතුවෙන් ජීවිතය හානි කර ගැනීමට පෙළඹෙන්නෝද සමාජයේ සිටිති. එක් ජීවිත හානියක් පිළිබදව වාර්තා වන විට සියදිවි හානි කරගැනීමට උත්සාහ දැරීම් තිහක් පමණ වාර්තා නොවී සිදුවේ.ජීවිත හානි කරගැනීමට උත්සාහ කළ පුද්ගලයකු ඊළඟ වාරය තුළ නැවතත් සිය දිවි නසා ගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය පුද්ගලයකුට වඩා සිය ගුණයකින් වැඩිය. සිය දිවි නසාගැනීම් හදිසි අනතුරකින් සිදුවූ මරණයක් බවට ලියාපදිංචි කරගැනීමට මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් පෙළඹෙන බැවින් බොහෝ සිය දිවි නසාගැනීම් වාර්තාවන්නේද හදිසි අනතුරු මරණ ලෙසිනි.

1988 වර්ෂයේදී සිය දිවි හානිකර ගැනීමෙන් ලෝකයේ පළමු තැනට ශ්‍රී ලංකාව පත්ව තිබුණි.2000 වර්ෂය වන විට එය හය වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත. සිය දිවි හානිකර ගැනීමට බලපාන සාධක රැසක් ඇත. මානසික රෝග ඇතිවිටද ජීවිත හානිකර ගැනීමට පෙළඹේ. විෂාදයෙන් පෙළෙන්නන් සියයට හතක් පමණ ජීවිත හානි සිදුකර ගනිති. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත්,ප්‍රවාහන පහසුව වැනි කරුණුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජීවිත හානි අවමවීමට බලපා ඇත.

විවේකයේ වැදගත්කම

විෂාදයෙන් පෙළෙන්නකු මද්‍යසාර සහ දුම්වැටි භාවිතයටද යොමු විය හැකිය.විශාල වශයෙන් මේ සදහා පිරිමි ළමයි යොමු වෙති. මද්‍යසාර සහ දුම්වැටි භාවිතයෙන් ඔවුහු තාවකාලිකව මානසික සහනයක් අපේක්ෂා කරති. බාබුල් පුවක්, හෙයාර් ජෙල්, විවිධ සිරප් වර්ගමෙන්ම සමහර ළමුන් දැඩි සුවඳ ආඝ්‍රහනය කිරීමෙන්ද මත්වීමට උත්සාහ දරති. සමහර දරුවන් ජංගම දුරකථනයට හෝ අන්තර් ජාලයට ඇබ්බැහි වෙති. මෙවැනි ගැහැනු ළමයින් නොගැලපෙන අනවශ්‍ය සම්බන්ධතා ඇතිකර ගනිති.

දරුවන් විෂාදය තත්වයට ලක්නොවිමට නිසි නින්දක් හා විනෝදාංශයක් තිබීම අවශ්‍යය. විවේකයක් නොමැතිව පාඩම් වැඩවල යෙදීම ළමා මනසට දරාගත නොහැක්කකි. බොහෝ දරුවන් නින්ද අඩුකර නිදා ගැනීමට ඇති කාලයද යොදා පාඩම් කරති .එය කිසිසේත්ම සාර්ථක ක්‍රමයක් නොවේ. පාඩම් කරන කරුණු මොළයේ තැන්පත්වී ස්ථායිවීමට නින්ද අත්‍යවශ්‍යය. පාඩම් වැඩකටයුතුවලට මෙන්ම විනෝදාංශයක යෙදීමටද හැකිවන පරිදි කාලය කළමනාකරණය කරගැනීම සදහා කාලසටහනකට අනුව ක්‍රියාකිරීම වඩාත් සුදුසුවන්නේ එබැවිනි.

ළමයින් තමාගේ කාලසටහනේ කැමැති පොතක් කියවීමට, සංගීත භාණ්ඩයක් වාදනයට හෝ ප්‍රියතම රූපවාහිනී වැඩසටහනක් නැරඹීමට කාලය වෙන්කර ගත යුතුය.එමෙන්ම ශාරීරික ව්‍යායාම්වල යෙදීමද අවශ්‍ය වූවකි.සතියකට සැලකිය යුතු කාලයක් ඒ සඳහා ගත කිරිම මොළයේ ක්‍රියාකාරිත්වයට මෙන්ම යහපැවැත්මටද බලපාන්නකි.

වර්තමානය වනවිට අතීතයේදී මෙන් විද්‍යා,ගණිත හෝ වාණිජ විෂයධාරා පමණක් උසස් පෙළ සඳහා තෝරාගත යුතු නොවේ .විවිධ විෂය ධාරාවන් ඒ සඳහා තෝරා ගැනිමට දරුවන්ට අවස්ථාව උදාවී ඇත. එක් එක් පුද්ගලයන් විවිධ දේවලට දක්ෂ වෙති .වැදගත්ම දේ වන්නේ තමන්ට ගැලපෙන විෂයයන් තෝරා ගැනීමයි. එසේ නොමැතිව තමන්ගේ යහළුවා හෝ අසල්වැසි නිවසක අයකු කළදේ අනුගමනය කිරීමට යාම එතරම් ප්‍රඥාගෝචර නොවන්නකි.සැමවිටම තමන් කැමැති දේ ආතතියකින් තොරව සිදුකිරීමට හැකියාව ඇති බැවින් ඒ සඳහා වැඩි කාලයක් ගතකිරීම නීරස නොවේ.

ලෙහෙසි පහසු පිළියමක්

පාසල් දරුවන් අමතර පංති සඳහා ගතකරන කාලය සීමා කිරීමද ආතතියෙන් මිදීමට වැදගත්වේ.බොහෝ දරුවන් එකම විෂයයට ගුරුවරුන් කීප දෙනකුගේන් ටියුෂන් ගනිති. එයින් පාඩම් කිරිමට ඇති කාලයද සීමාවේ. කාල කළමනාකරණය අධ්‍යාපනයේදීද ඉතා වැදගත්වූවකි. සමහර දරුවන් විභාගය ආසන්නයේ අවසන් මොහොතේ පාඩම් කිරීමට බලාපොරොත්තු වෙති. එය ඉතා වැරදි සිතුවිල්ලක් මෙන්ම අසාර්ථක ක්‍රියාවකි. මෙහිදී විෂයයන් සඳහා කාලය මදිවෙනවා පමණක් නොව හදිසියේ හෝ සුළු අසනීපයක් හෝ වැලැඳුනහොත් සියලු අපේක්ෂා බිඳ වැටිය හැකිය.

සාමාන්‍ය පෙළ විභාගයේදී A අටක් හෝ නවයක් නොගැනීම ජීවිතය අසාර්ථකවීමක් නොවන බව දරුවන් මෙන්ම මවුපියන්ද හොඳින් අවබෝධ කරගත යුතුය. විභාගයේදී ලැබෙන ප්‍රතිඵල මත ආත්ම ශක්තිය හීනකර නොගෙන ඉදිරි වැඩ කටයුතු ඉටුකිරීමට ඔවුන් වගබලා ගත යුතුය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබූ නමුත් ජීවිත ඉතා සාර්ථක කරගත් පුද්ගලයන් පිළිබදව දේශීය මෙන්ම විදේශීයවද නිදසුන් රැසක් පවතී. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබිය යුතුමයැයි සිතීම පටු හැඟීමක් පමණි.

නිදහස් අධ්‍යාපනය අපේ රටේ සැමට ලබාදිය යුතු යැයි 1940 ගණන්වල ගත් තීරණයේ යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ වර්තමානයේදීය.සාක්ෂරතාව අතින් අප බොහෝ රටවල් අභිබවා ගොස් තිබේ.බාල පරපුර වෙනුවෙන් කරනු ලබන ආයෝජනයන්හි ප්‍රතිඵල ක්ෂණිකව දැකිය හැකි නොවේ.ඒ සදහා සාධාරණ කාලයක් ගතවේ.ළමුන්ගේ අධ්‍යාපනය,ආරක්ෂාව හා නිවසේ සුබසිද්ධිය වෙනුවෙන් වර්තමානයේ ගනු ලබන තීරණවල ප්‍රතිඵල ලැබෙන විට තවත් වසර විස්සක් තිහක් ගතවෙනු ඇත. දරුවන්ගේ මානසික සෞඛ්‍යය වර්ධනය කරගැනීම සඳහා කෙරෙන ආයෝජන වඩාත් වැදගත් ආයෝජනයන් වන්නේ එබැවිනි.

 

සටහන
රඹුක්කන විශේෂ
ඔස්වල්ඩ් ගොඩකුඹුර


නව අදහස දක්වන්න