මනෝ විද්‍යාෙව් CID හාස්කම් | දිනමිණ

මනෝ විද්‍යාෙව් CID හාස්කම්

උමතු බෝම්බයා ගැන නිවැරැදි ඔත්තුවක්

අසල්වැසියන් රාත්‍රී කාලයේ කරන ගමන් බිමන් ගැන, එකට බෝඩිමේ සිටින තම මිතුරන් අගුලු දැමූ බ්‍රී‍ෆ් කේස් හංගන තැන් පිළිබඳව, එහෙම නැත්නම් 'අර මහත්තය, මේ මහත්තය' ඉරිදා දිනවලට ගැරේජ් ඇතුළේ කරන සද්ද ආදී කතාන්තර වැලැක්ම මෑන්හැට්න් ප්‍රදේශයෙන් පොලිසියට වාර්තා විය.

මේවායින් බොහොමයක් අයුක්ති සහගත හා බලාපොරොත්තු බිඳගැනීම අතින් සමාන විය. මෙවන් කතා සෑහෙන සංඛ්‍යාවක් බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙතින් මට ලැබෙන්නට විය. ඒ අතරම, 'පොලිස්' මැයෙන් සඳහන් නොකරන ලද, ට්‍රැෆික් කපාගෙන දිවෙන පොලිස් රථයක් තුළ මට ගමන් කිරීමට සිදුවූ අවස්ථා ද විය. කෙසේ හෝ මේ සෑම කතාන්තරයකම අවසානයේ ඉන්ස්පෙක්ටර් ෆිනීට හා මට සිදුවූයේ මේ භූත බෝම්බයා අල්ලා ගැනීමට කවර හෝ වෙනත් අමුතු ක්‍රමයක් උදාවේ යැයි බලාපොරොත්තු තැබීමට පමණි.

දිනක් මෑන්හට්න් මහ රෝහලේ පාලකවරයාගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබුණේ උමතු බෝම්බයා ගැන අප ප්‍රසිද්ධ කළ කාරණාවලට සමානයකු තම හෘද රෝග අංශයේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව සඳහන් කරමිනි. වහා ක්‍රියාත්මක වූ ඉන්ස්පෙක්ටර් ෆීනි, මා ද මෝටර් රථයකට දමාගෙන රෝහල කරා පියාඹන්නට විය. රෝගියා රෝහල්ගතව සිටි දින හා බෝම්බ පිපිරීම් සිදු වූ දින ලේඛන ආශ්‍රයෙන් අපි සැසඳුවෙමු. එක් තීරණාත්මක බෝම්බයක් පිපිරුණු දින මේ රෝගියාගේ තත්ත්වය බරපතළ වී වෛද්‍යවරුන් ඔහුට ඔක්සිජන් පවා ලබා දී තිබුණි.

තවත් දිනෙක, නිව්යෝර්ක් මනෝ චිකිත්සක ආයතනයේ කාර්ය මණ්ඩල වෛද්‍යවරයකු වූ මගේ විශ්වවිද්‍යාල සගයෙක් දුරකතනයෙන් මා ඇමතීය. ඔහු කියා සිටියේ, මගේ අනාවැකිවලටම ගැළපෙනවා පමණක් නොව, උමතු බෝම්බයා ලියුම් තැපැල් කෙරූ වෙස්චෙස්ටර්වලම පදිංචිකරුවකු තම ආයතනයේ ප්‍රතිකාර ලබන බවය. ඉතා වැර වීර්යයෙන් මේ රෝගියා‍ගේ තොරතුරු විමර්ශනය කළත් අවසන් ප්‍රතිඵලය බින්දුවක්ම විය.

කෙතරම් බලාපොරොත්තු බිඳගැනීම් සිදුවුවත් බෝම්බකරු පිළිබඳ මහජන මතය උණුසුම්ව තිබීමෙන් ලැබෙන තොරතුරු අතර අපේ අරමුණ ඉෂ්ට වන්නක් තිබිය හැක. මේ අතරවාරයේ බෝම්බකරු තමා විසින්ම හෙළිදරව්වීමේ ඉඩකඩ ද වැඩිය. නත්තල් දිනට පෙරදින අප ඔහුට කළ අභියෝගය පිළිගනිමින්, මහජන පුස්තකාලයේ හා පැරමවුන්ට් සිනමා ශාලාවේ ඔහු බෝම්බ තැබුවේය. මේ එකම සතියේ වෙනත් ප්‍රතිචාරයක් ද බෝම්බකරු දක්වන්නට විය: ඔහු ලිපි ලියන්නට පටන් ගත්තේය.

මා විසින් මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කරන ලද බෝම්බකරුගේ ස්වරූපය පිළිබඳ විස්තරය සාවද්‍ය එකක් නම්, ඒ පිළිබඳව නිහඬව නොසිට, තමා කවුදැයි හඳුන්වා දෙමින්, අභියෝගය බාරගන්නා ලෙස ජ'නල් ඇමෙරිකන් නම් සවස පුවත්පත දෙසැම්බර් 26 වන දින විවෘත ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

පසුදා සවස 1.30 ට වෙස්චෙස්ටර් ප්‍රදේශයෙන් ඔහුගේ ලිපිය තැපැල්කොට තිබුණි. 'අමෙරිකන් ජ'නල් වෙත - දෙසැම්බර් 26 දින ඔබේ පුවත්පත කියවුවෙමි - මම ද මහජනයාගෙන් උදව් පතමි - ඒ කොන් එඩිසන් යුක්තිය හමුවට පැමිණවීමටයි - එසේ නොමැතිව මගේ බුද්ධියට නිගාකිරීමට නොවෙයි - මට විලංගු දැමීමට උත්සාහ ගැනීම මෝඩ ක්‍රියාවකි- සා. මි.'

1957 ජනවාරි මස 10 දා සිය පුවත්පතින් ජ'නල් අමෙරිකන් පුවත්පත් බෝම්බකරුගෙන් ඉල්ලා සිටියේ තම දුක්ගැනවිල්ල පැහැදිලි කරන මෙනි. දින දෙකකට පසුව වෙස්චෙස්ටර්හීම වෙනත් ප්‍රදේශයකින් පිළිතුර තැපැල්කොට තිබුණි.

'මගේ මුළු ජීවිත කාලයටම එකදු සතයක් හෝ මා වංචාකොට නැත - නමුත් මා සූරාකෑමට ලක්වී ඇත - ඔබලා නිතරම ප්‍රකාශ කරන - 'අපේ අමෙරිකානු යුක්ති පද්ධතිය - කොහිද? - මේ නීච ක්‍රියාවන්ට ඉඩ දී මා බලා සිටින්නේ නැත - ඔබේ මිනිසුන් කියනව මට යටත් වෙන්න කියල - හොඳයි, මහත්තරුනේ - හැබෑ වැරදිකාරයා කවුද? - මමද - නැත්නම් උඹලාද - සා. මි.'

උමතු බෝම්බයා තවදුරටත් ලිවීමට පොලඹවා ගැනීම සඳහා ජ'නල් අමෙරිකන් උත්සාහ කළත් සති අන්තය දක්වා ඔහු නිහඬ විය.

නමුත් 18 වන සිකුරාදා තත්ත්වය හාත්පසින්ම වෙනතකට හැරුණි. රහස් පොලිස් නිලධාරීන් හා කොන් එඩ් ලිපිකාර කාර්ය මණ්ඩලය, උපරිමයෙන් සෑම සියලු ශාඛාවකම ලිපිගොනු නිදිවරමින් පරීක්ෂා කළහ.

ඇලිස් ජී. කේලී නමැති ලිපිකාරිනියක් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වාම කැපවූයේ එක් විශේෂ ලිපිගොනු කබඩයක් පරීක්ෂා කිරීමටය. ඇය ලිපිගොනු වේගයෙන් උඩින් පල්ලෙන් කියවාගෙන යන අතරවාරයේ, එක්තරා ෆයිල් මිටියක තිබූ ලිපිගොනුවක් ඇය දෙවරක් සිතා බලන්නට පෙලඹවීය. එකී ලිපිගොනුවේ වටිනා ලියවිල්ලක් අමුණා තිබුණි. ඒ ලිපිගොනුව හිමි සේවකයා, කිසියම් ආරවුලක් කරනකොටගෙන පරිපාලනයට ලියා තිබූ කෝප සහගත ලිපියකි ඒ. එහි, 'නීච ක්‍රියා' නම් වචන දෙක ඇලිස්ගේ මනස කිති කැව්වේය.

ඇලිස් කේලි, තම පුටුවේ හරිබරි ගැහී ඉතා විමසිල්ලෙන් යුතුව ලිපි ගොනුව කියවූවාය.

'මෙටාස්කි ජෝර්ජ්: 1929 සිට 31 දක්වා සේවයේ නියැළී ඇත. තනතුර; විදුලි උත්පාදක යන්ත්‍ර අධීක්ෂක යුනයිටඩ් ඉලෙක්ට්‍රික් ඇන්ඩ් පවර් සමාගමේ පොල් ගේට් බලාගාරයේ සේවයකොට තිබේ. 1935 සැප්තැම්බර් 05දා සිට මෙම ආයතනය, කොන් එඩ් සමාගමට ඒකාබද්ධ කර ඇත. විදුලිජනක යන්ත්‍රයේ බොයිලේරුවක පිටුපසින් නිකුත් වන අධි උණුසුම් වා දඟරක් වැදීමෙන් මොහු බිම වැටී ඇත. ශාරීරික තුවාල නොමැති බව වෛද්‍යවරුන් විසින් සනාථ කොට ඇති නමුත් මෙටාස්කි හිසේ කැක්කුම් හා වෙනත් වේදනා ඇතැයි පැවසූ බැවින් සමාගම විසින් මාස කිහිපයක්ම පඩි සහිත නිවාඩු දී ඇත.

නැවත සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණවලින් විද්‍යාමාන වන හානි හෙළිදරව් වී නැති අතර අවසාන වශයෙන් ඔහුගේ නම පඩි ලැයිස්තුවෙන් කපා දමා ඇත. 1934 ජනවාරි 04දා ඔහු සමාගමෙන් කළ ඉල්ලීමකින් පෙනී ගියේ, කම්කරු වන්දි ගෙවීමේ මණ්ඩලය විසින් අනුමත 'ස්ථාවර ආබාධිත' ගෙවීම ඉල්ලා ඇති බවය. මේ අනතුර නිසා තමාට ක්ෂය රෝගය වැලඳී ඇති බව ද ඔහුගේ ඉල්ලීමේ සඳහන් වී තිබුණි. අනතුරින් ඉතා දිගු කාලයකට පසුව මෙම ඉල්ලීම කර ඇති නිසාත්, වෛද්‍ය අනුමැතිය ප්‍රකාශ නොවූ නිසාත් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ. ඊළඟ තුන් අවුරුද්ද තුළ මෙටාස්කි විසින් කම්කරු වන්දි ගෙවීමේ මණ්ඩලයට, කොන් එඩ් සමාගමට, රජයේ නිලධාරීන්ට හා වෙනත් අයට දිගින් දිගටම ලියුම් යවා අතුරුදහන් වී ඇත.

සිංහල කළේ
සමුනි සමරකෝන්

හෙට - උමතු බෝම්බයාගේ රංගනය අවසන්


නව අදහස දක්වන්න

Or log in with...