වර්ජකයෝ!!! | දිනමිණ

වර්ජකයෝ!!!

 දුම්රිය වර්ජකයන් කියා සිටිනුයේ ඉල්ලීම් ලැබෙන තුරු වර්ජනය දිගටම පවත්වාගෙන යන බවය. වර්ජනය ආරම්භ වූයේ පසුගිය හයවනදා මධ්‍යම රාත්‍රියේ දී ය . එතැන් සිට මේ දක්වා දින හයක් ගතවී ඇත. මෙය ලියන මොහොත දක්වා ද වර්ජනය පවතී. ඒ අතර අ. පො. ස. සා / පෙ. විභාගය අද ආරම්භ වෙයි. රටේ දරුවන්ගේ අනාගතය විසඳන කඩඉම් විභාගයක් ලෙස මෙය හැඳින්විය හැකි ය. විභාග අපේක්ෂකයන්ගෙන් වැඩි පිරිසක සිය ප්‍රවාහන මාධ්‍යය ලෙස තෝරා ගෙන සිටිනුයේ දුම්රිය සේවය යි . මේ වර්ජනය දරුවන්ගේ අනාගතයට කෙළින්ම බලපාන සිද්ධියක් ලෙස සැලැකිය හැකි ය.

මෙතෙක් අ‍පේ මහජනයා දුම්රිය වර්ජනය නිසා ලක් වූ පීඩාව වචනයට නැඟිය නොහැකි තරම් ය. මහජනයා එක අතෙකින් බලවත් සේ කෝපගැන්වී ඇත. ‍මේ කෝපය ඍජු ‍ලෙස එල්ලවන්නේ දුම්රිය වර්ජකයන් වෙත ය. මහජන මතයට අනුව වර්ජකයෝ ආත්මාර්ථකාමියෝ ය. ‍ඔව්හු තමන් ගැන පමණක් ම සිතන්නෝ ය. අන්‍යයන් ගැන නොසිතන්නෝ ය. ෂයිලොක්ගෙ න්‍යාය අපට මෙහි දී සිහිපත් වේ. මුලින් මේ වර්ජනය ආරම්භ කළෝ දුම්රිය රියැදුරෝ ය. මේ වන විට නියාමක, පාලක, කළමනාකරණ, ස්ථානාධිපති යන අංශ ද ඊට එක් වී සිටිති. සියල්ලෝම වැඩි පඩි ඉල්ලා සිටිති. දුම්රිය රියැදුරකු අතිකාල හා තවත් දීමනා සමඟ ලක්ෂ දෙකකට වැඩි මාසික පඩියක් ගන්නා බවද සඳහන් ය.

ආරවුලට මුල් වුයේ රිය සහායකයන් බඳවාගැනීම සඳහා විභාගයක් පැවැත්වීමට තීන්දු කිරීමෙන් ය. එය නීතිපතිගේ නිර්දේශයකි. සුදුසුකම් සහිත පුද්ගලයන් රිය සහායකයන් ලෙස බඳවා ගෙන ඔවුන් දුම්රිය ධාවනයට සුදුසු වෘත්තිකයන් ලෙස පුහුණු කිරීම එහි අවසන් ඉලක්කය ‍වේ. එහෙත් රියදුරු සංගමය ඊට විරුද්ධ ය. රිය සහායකයන් සදාකාලික ලෙස ගෝලයන් වී සිටීම රියැදුරන්ගේ අ‍පේක්ෂාව වී ඇති බව පෙනෙයි. වැඩි සුදුසුකම් සහිත පුද්ගලයන් රිය සහායකයන් ලෙස බඳවාගැනීම නිසා ඔවුන් පාලනය කළ නො හැකි බව ද දුම්රිය රියැදුරෝ කියති. මෙය පැහැදිලි ලෙස ම වෘත්තීය කුහකකමකි. ඊට ඉඩදීම අනුචිතය.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්, උසස්වීම් හා වැටුප් තල නියම කිරීම් ඉතා පරෙස්සමෙන් හා විධිමත් ආකාරයෙන් සිදු කළ යුතුය. ‍හේතුව එක වෘත්තීය කොට්ඨාසයක එක ශ්‍රේණියකට වැටුප් වැඩිකරන විට ඊට සමාන්තර සියලු ශ්‍රේණිවලට වැටුප් වැඩි කළ යුතු නිසා ය. දුම්රිය රියදුරන්ගේ වැටුප් වැඩි කරන්නේ නම්; ඊට සමාන්තර තවත් වෘත්තීය කොට්ඨාස තිස් නමයක වැටුප් වැඩි කළ යුතුය. මෙය කළ හැකි දෙයක් ද ? මේ හැරත් රාජ්‍ය සේවයේ මාරුවීම්, වැටුප් නියම කිරීම් ආදිය සඳහා වෙනම ආයතනයක් තිබේ. ඒ රාජ්‍ය සේවා කොමිෂන් සභාවය. රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ මොහොතේ වැටුප් වැඩි කිරීමක් නිර්දේශ කර නැත. එසේ නම්; වර්ජකයන්ගේ ඉල්ලීම් නීතියට පිටින් පවතින්නක් ‍ලෙස සඳහන් කළ හැකි ය.

රාජ්‍ය සේවය සඳහා වැඩි දෙනකු ඇතුළු වනුයේ වැදගත් මහත්වරුන් ලෙස ය. රජයේ අණ - පනත්, රෙගුලාසි, විනය ධර්ම අකුරටම පිළිපැදීම සඳහා ඔවුහු අස්සන් කරති. ඇතැම්විට දිව්රා පොරොන්දු වෙති. ඕනෑම ප්‍රදේශයක සේවයට කැමැති බවට ද අස්සන් තබති. රාජ්‍ය  පාක්ෂිකභාවය තහවුරු කිරීමට ද එකඟ වෙති. එ‍හෙත් මේ සාධක පවතින්නේ ඉතා සුළු කාලයක් පමණි. වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධ වන සේවකයෝ එවක පටන් සටනට සූදානම් වෙති. ‍මෙතරම් වැඩ වර්ජන පවතින රටක් ලෝකයේ කොතැනක හෝ නොතිබෙන්නට පුළුවන. වර්ජනවල පාඩුව තක්සේරු වන්නේ නැත. එහෙත් එය ජාතික ආර්ථිකයට තදින් බලපායි. දුම්රිය වර්ජනය නිසා; දෙපාර්තමේන්තුවට කෝටි ගණනක පාඩුවක් සිදු වී ඇත.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය මහජන සේවයක් හැටියට රජය නම් කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් වී ඇත. ඒ අනුව නිශ්චිත කාලසීමාවක් තුළ දෙපාර්තමේන්තු සේවකයන් වැඩට වාර්තා කළ යුතු ය. එසේ නොකරන පුද්ගලයන් සේවය අතහැර ගිය තැනැත්තන් හැටියට සලකනු ලැබේ. රජය මේ තීන්දු ගත්තේ මහජන පීඩාව ගැන සැලැකිල්ල යොමු කිරීමෙන් පසුව බව ප්‍රවාහන අමාත්‍යවරයා කියා සිටී. මහජනයා ඊට පෙර දුම්රිය සේවය අත්‍යවශ්‍ය මහජන සේවකයක් ලෙස නම් කරන්නැ’යි ඉල්ලා ඇත. ඒ අනුව පෙනී යන්නේ රජය යම් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවය . එහෙත් වර්ජකයන් එය ගණන්ගත් බවක් පෙනෙන්නට නැත.

වර්ජනයට හසු වූ විදේශීය සංචාරකයෙක් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මහ ඉහළින් පවතින බව ය. ආණ්ඩුව වර්ජකයන්ට බලපෑම නොකරන බවද ඔවුන් අත්අඩංගුවට නොගන්නා බව ද විදේශීය සංචාරකයා කියා සිටියේ ය. ඔහු ‍අපේ අතීතය නො දන්නවා විය හැකි ය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙබඳු වර්ජනයක් පැවැතියේ නම්; මේ වන විටත් දෙතුන් දෙනකු වළ පල්ලේය . වෘත්තීය සමිති නායකයන්ට අද මෙන් නිදහ සේ හැසිරීමට අවස්ථාවක් එදා තිබුණේ නැත. වර්තමාන වෘත්තීය සමිති අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා බව ද කලදුටු කල වළ ඉසගන්නට සැරසෙන බවද පෙනෙන්නට තිබේ.

වර්ජනය සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක් පවත්වා තිබේ. මේවා අසාර්ථකත්වයට පත්වූයේ වෘත්තීය සමිති දැඩි ස්ථාවරයක පසු වීම නිසා යැයි කියන්නට පුළුවන. සේවක වැටුප් ප්‍රශ්නය සම්බන්ධ වාර්තාවක් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඇත. කැබිනට් මණ්ඩලය එය උප‍දේශක කමිටුවක් වෙත යොමු කර ඇත. ඊට අදාළ විසැඳුම් දින කිහිපයකින් ලැබීමට නියමිත ය. ඒ අනුව වර්ජනය නවතා තව දින කිහිපයක් බලා සිටීම යුක්ති සහගත ය. එහෙත් වර්ජකයන් එබඳු තැනකට ගියේ නැත. ඇතැම් වෘත්තීය සමිති රට පාලනය කරන තැනකට ගමන් කරමින් සිටින බවක්ද පෙනෙන්නට තිබේ. එම උත්සාහය තුළ ඇත්තේ ‍දේශපාලන අභිප්‍රායයක් විය හැකිය.

නව අදහස දක්වන්න