ඒකාබද්ධයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි | දිනමිණ

ඒකාබද්ධයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි

 වසර 19 ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාව නියෝජනය කළ,දෙවරක්ම සභාපති ධූරයට පත්වෙමින් වසර අටක්ම එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ සහ දෙවරක් උප සභාපති ධූරය දැරූ ඒකාබද්ධ විපක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල සාමාජිකයෙකු වූ ඩී.එම්.උපාලි දිසානායක මහතා ඊයේ (දෙසැම්බර් 11) එක්සත් ජාතික පක්ෂයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

සාමාජිකත්වය ලබා ගනිමින් දිසානායක මහතා ප්‍රකාශ කළේ,පවුල් පාලනයට නතුව තමන් පසුගිය කාලයේ  දැඩි පීඩනයක් විදි බවත්,ප්‍රජාතන්ත්‍රවාදීව පොඩි මිනිසාට පහළම තැන සිට ඉහළට පැමිණිය හැකි පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය තෝරා ගත් බවත් ය. කෑගල්ල එක්සත් ජාතික දිස්ත්‍රික් නායක කබීර් හෂීම් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ යහපාලන රජයේ ගමන් මඟ තේරුම් ගනිමින් යන දිශාව නිවැරදි බවට තහවුරු කර ගනිමින් එකතු වූ උපාලි දිසානයක මහතා පක්ෂයට මෙන්ම කෑගල්ල ජනතාවටද විශාල සේවයක් කිරීමට ශක්තියක් වනු ඇති බවය.

එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ ලිලාන් අමරකෝන් මහතා පෙන්වා දුන්නේ ඉකුත් සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ අය කෑගල්ලෙන් තමන් සමඟ එකතු වන දේශපාලනඥයන් ගැන පවසමින් කළ අභියෝගයට පිළිතුරු දීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වූ බවය.

ඒකාබද්ධ විපක්ෂය සතු වූ කෑගල්ලේ බිම් මට්ටමේ ශක්තිය සමඟ උපාලි මහතා කෑගල්ල ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට දායක වනු ඇති බවද ලිලාන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.මෙම අවස්ථාවට මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා,වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය රංගෙ බණ්ඩාර මහතා ඇතුළු කෑගල්ල මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් පිරිසක් ද එක් වූහ. 

 

නව අදහස දක්වන්න