කැලණි සර­සවි සංස්කෘ­තික කලා පුන­රු­දයේ ඇතු­ගල භූමි­කාව | දිනමිණ

කැලණි සර­සවි සංස්කෘ­තික කලා පුන­රු­දයේ ඇතු­ගල භූමි­කාව

පසුගිය සතියේ පස්වන දා හා හත්වන දා කැලණි සරසවියේ ශ්‍රි ධර්මාලෝක ශාලාවේ දී පැවැත්වූ සංස්කෘතික හා කලා ප්‍රසංග දෙකකට සහභාගීවීමෙන් පසු මේ සටහන් ලිවිය යුතු යැයි මා කල්පනා කළේ මෙරට බොහෝ විශ්වවිද්‍යාල සංස්කෘතික හා කලා ක්ෂේත්‍ර තුළ පවතින නිහඬතාව ඔවුන් විසින් බිඳ දැමීමට උත්සාහ ගත් බව පෙනුණු බැවිනි. කැලණි සරසවිය පස්වනදා විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ නාට්‍ය නිෂ්පාදනයක් ලෙස මහචාර්ය ආරියරත්න ඇතුගල වේදිකා නාට්‍යය මහසුපින නමින් රංගගත කරමින්, කැලණිය සරසවිය මතු නොව වර්තමානයේ බොහෝ සරසවි තුළින් විද්‍යමාන වන සංස්කෘතික සෝදා පාළු තත්ත්වයයෙහි වෙනසක් සිදු කිරීමට උත්සාහ ගත් බවක් පෙනිණ.

ඊට අමතරව, පසුගිය හත්වැනි දා සවස් භාගයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදීම පැවැත් වූ කලන 2017 ප්‍රාසාංගික, මාධ්‍ය කලා හා සාහිත්‍ය තරගාවලියේ සම්මාන පිරිනැමුම හා ජයග්‍රාහී කාව්‍ය, කෙටිකතා නිර්මාණ ඇතුළත් ග්‍රන්ථය ජනගත කිරීම හා බොහෝ තරගකරුවන් නියෝජනය වූ ප්‍රාසාංගික අත්දැකීම කැලණි සරසවි කලා ප්‍රබෝධයේ දෙවන අවස්ථාව ලෙස සටහන් විණ. සිංහල නාට්‍ය වංශ කතාවේ විශ්වවිද්‍යාල නාට්‍ය නිර්මාණ ලෙස 1956න් පසු බිහි වූ මනමේ, හෝ සිංහබාහු හැරුණු කල ප්‍රතිනිෂ්පාදනය වෙමින්, නවීකරණය වෙමින් රඟ දැක්වෙන වෙනත් විශ්වවිද්‍යාල නාට්‍ය නිර්මාණයක් වේ යැයි නොසිතමි. පේරාදෙණිය, කොළඹ, විද්‍යෝදය (ජ'පුර ), විද්‍යාලංකාර (කැලණිය ) විශ්වවිද්‍යාල විසින් පසුකාලීනව වරින්වර නාට්‍ය නිෂ්පාදනය කොට තිබුණ ද, ඉන් එකදු නිර්මාණයක් හෝ වර්තමානයේ දැක ගැනීමට නොහැකිය. විශ්වවිද්‍යාල සංඛ්‍යාව පුළුල් වීමත් සමඟ හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සමඟ වුව විශ්වවිද්‍යාල නාට්‍ය නිර්මාණ රාශියක් පසුගිය දශක කිහිපය පුරා රඟ දැක්වී ඇත ද, සරච්චන්ද්‍ර නිර්මාණ ද්වය ප්‍රමුඛ කොටගත් නිර්මාණ මෙන්, මේ එකදු නිෂ්පාදනයක් හෝ නැරඹීමේ අවස්ථාවක් වර්තමාන ප්‍රේක්ෂකයනට නොලැබීම අවාසනාවක් යැයි සිතමි. මනමේ හෝ සිංහබාහු වැනි නාට්‍ය නිර්මාණයක් පසුකාලීනව විශ්වවිද්‍යාල මගින් බිහි නොවීමේ හේතු කාරණා ශාස්ත්‍රීය විමර්ශනයකට හෝ පර්යේෂණයකට වටිනා මාතෘකාවක් නොවේද කියා මට සිතේ.

සරසවි නාට්‍ය නිර්මාණ පිළිබඳ තත්ත්වය එසේ වූව ද, සරසවි විද්‍යාර්ථීන්ගේ අනෙකුත් සැඟවුණු නිර්මාණ කුසලතා මතුකොට ගෙන එවන් කුසලතා ඇති මාණවක මාණවිකාවන් අදාළ ක්ෂේත්‍ර තුළ ඉදිරියට ගෙන ඒමේ විවිධ වැඩපිළිවෙළ එක් එක් විශ්වවිද්‍යාල මගින් ක්‍රියාත්මක කරනු ලබන බවත් ක්‍රියාත්මක කොට ඇති බවත් සඳහන් කළ යුතුය.

කැලණිය විශ්වවිද්‍යාලය මගින් වුව මහාචාර්ය පැට්‍රික් රත්නායක වැන්නකු විසින් පසුගිය කාලයේ නවක නිර්මාණ කුසලතා සොයාගැන්මට මුවරද වැනි උළෙල පැවැත්වූ බවත් මතකය. එහෙත් මෙවර තීරුවෙන් විමසීමට ලක්කෙරෙන මහසුපින නාටකය මෙන්ම කලන 2017 සම්මාන උළෙල ද අපට පෙන්වා සිටින්නේ වඩාත් පුළුල් සන්දර්භයක සිට කැලණි සරසවි මානවක මානවිකාවන්ගේ නිර්මාණ ශක්‍යතා හඳුනාගත්, සොයාගත් වැදගත් හා අර්ථවත් අවස්ථාවක් මහාචාර්ය ආරියරත්න ඇතුගල හා උපකුලතුමා, පීඨාධිපති ප්‍රමුඛ සමූහයා විසින් උදාකොට දී ඇති බවයි.

ජාතකකතා පොතෙහි හැත්තෑහත්වන ජාතකය වන මහසුපින ජාතකයයි. එහි සඳහන් වන්නේ කොසොල් රජු විසින් දුටු සොළොස් ස්වප්න (සිහින දහසයක්) පිළිබඳ තතු විමසන්නට බමුණන්ගෙන් උපදෙස් පැතූ අවස්ථාවෙහි, උහු උපදෙස් දෙන්නේ සතරක් සතරක් නියායෙන් සර්වචතුෂ්ක නම් වූ යාගයක් කළ යුතු බවයි. මේ බව ඇසූ මල්ලිකා දේවී පවසන්නේ රජතුමා දුටු සිහින තොරතුරු දැනගැනීමට භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ හමුවට යන ලෙසයි. අධ්‍යක්ෂ ඇතුගල විසින් ජාතක කතාවේ එන සිහින දහසය අතුරින් වර්තමාන ජනජිවිතයෙහි අප අත් විඳින ඇතැම් දේශපාලන හා සමාජ සංසිද්ධීන් මතු නොව චරිත පවා තෝරාගෙන තම නාට්‍ය රචනය සඳහා ප්‍රතිරචනය, ප්‍රතිනිර්මාණය කොට නාටකීය අත්දැකීමක් බවට පත් කරන ලද බව පෙනේ. එහෙත් ජාතක කතාවේ එන ඇතැම් සිහිනයක අන්තර්ගතය නාට්‍යකරුවා විසින් සෘජුවම තම රචනයට භාවිත කළාද කියාත් හැඟෙන අවස්ථා නැත්තේද නොවේ යැයි පෙනේ. තුන්වන ස්වප්නය දක්වා නාට්‍යයේ ඉදිරිපත්වන ජවනිකා පෙළ ඉන් කියන්නට නාට්‍යකරුවා අදහස් කරන පණිවුඩය සංකීර්ණ බවට පත්වීම නිසා ප්‍රේක්ෂකයන්ගේ අවධානය නාට්‍යයෙන් ගිලිහී ගිය අවස්ථාවක් වූ බවයි මගේ හැඟීම. සොළොස් සිහින වර්තමාන සමාජ දේශපාලන පසුබිමෙහි තබා ගළපන්නට උත්සාහ කිරීමේදී නාට්‍යකරුවා දේශීය නාට්‍ය සම්ප්‍රදාය, ගැමි රඟමඬල, අපට හුරු පුරුදු චරිත මගින් නව අර්ථකථනය ඉදිරිපත් කරයි.

පරයා, සොකරි,පනික්කි, නොංචි වැනි සාම්ප්‍රදායික චරිත, ඔවුන්ගේ ඇතැම් රංග විලාස ද භාවිත කරමින් නට්‍යොචිත රංග කාර්යයක් තම ප්‍රධාන නළුනිළියන්ගෙන් ඉටු කරගැනීමට ඇතුගල සමත් වෙයි. එකිනෙක බැඳී හූයක් සේ දිවෙන කතා ප්‍රවෘත්තියක් තම රචනාවෙහි නොවේ යැයි රචකයා පැවසූව ද කැඩුණු බිඳුණු කතාන්දරයක් නොමැති ලක්ෂණය පශ්චාත් නව්‍යවාදයේ ලක්ෂණයක් සේ දුටුව ද , මෙරට ප්‍රේක්ෂකයන් තවමත් පුරුදුවී සිටින්නේ කතා රසයෙන් යුත් රංග කාර්යය සඳහා බව අමතක කළ නොහේ. මහසුපින නාටකයෙහි භාවිත රංගරීතිය සම්පූර්ණයෙන්ම අභූත රංග රීතියක් ( Absurd ) වී නම් එය වටහාගැනීම ප්‍රෙක්ෂකයනට ගැටලුවක් නොවේ. නිදසුනක් ලෙස මහසුපින එක් සිහින ජවනිකාවකට ප්‍රේක්ෂක අවධානය ග්‍රහණය, බැඳෙන අවස්ථාවක් වන්නේ පරයා විනිසුරු වී අධිකරණයෙහි යුක්තිය පසිඳන අවස්ථාවයි. ප්‍රෙක්ෂකයන් ගේ විශ්වසනීයත්වය එකී චරිත සමඟ වේ. නාට්‍ය රචකයාගේ රචනයෙන් මතු කරනු ලබන උත්ප්‍රාසය සමඟ අපූරු නාටකීය අවස්ථාවක් වේදිකාව මත මැවේ. ඒ ජවනිකාව තුළ ගලායන කතා පුවතක් වේ.

විනිසුරු ලෝගුව ලා ගත් පරයා විසින්ම විත්තිකාර පරයා අධිකරණයට කැඳවීම තුළ රැඳුණු යටි පෙළාර්ථය ප්‍රෙක්ෂකයන් සැණින් වටහා ගනී. මෙහිදී ප්‍රෙක්ෂකයන් අතරමං නොවේ. ඊළඟ සිහිනයෙහි දී කුමක් සිදුවන්නේ දැයි ප්‍රෙක්ෂකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති. මෙබඳු අවස්ථා කිහිපයක් ඇතැම් සිහින භාගයක, තිස්ස හා පරයා අතර වන ගැටුමෙහි දී වැනි අවස්ථාවක ගොඩ නැගෙන බව පෙනේ. එහෙත් නාට්‍යාවසාන සිහිනයේ දී තිස්ස ගේ මුවට නංවන ප්‍රකාශය නාට්‍යකරුවාට කීමට අවශ්‍ය වූ පණිවුඩය සෘජුවම කියා පෑමක් දැයි සිතිණ.

මහසුපින දැවැන්ත රංග කාර්යය සඳහා නිර්මණාකරුවා විසින් ප්‍රධාන ධාරාවෙහි නළුවරණයකට අමතරව සරසවි මාණවක මාණවිකාවන්ගෙන් තෝරා ගත් නළුනිළි සමූහයා මනා පුණුවකින් හා සංයමයකින් යුත් රඟපෑමක් මගින් ජනප්‍රිය, ප්‍රවීණයන්ගේ රංග කාර්යයට දායකවීමට සමත්ව ඇත්තේ අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම මත බව විද්‍යමාන වේ. එවන් විසාල පිරිසකගේ සමූහ රංග කාර්යයක් මූලික තේමාවට හානි නොවන සේ වේදිකාව මත හැසිරවීම යනු දුෂ්කර කාර්යයකි. ඇතුගල නිෂ්පාදකවරයා ඉන් ජයගෙන ඇත්තේ සරසවි නළු කැල ප්‍රවීණයන්ගේ දෙවන කණ්ඩායමක් යැයි ඔවුනට නොහැඟෙන පරිද්දෙනැයි මට සිතිණ. අධ්‍යක්ෂවරයා නළුවරණයෙහි ලා පෙන්වන නිපුණත්වය අගය කරමි. සරත් කොතලාවල හා මාධිනී සඳහා පැවරුණු චරිත ද්වය ඊට නිදසුනකි. ඔවුන් දෙදෙනා සාම්ප්‍රදායික කෝලම් රංග ලීලා මනාව නවීන අත්දැකීම ප්‍රතිනිර්මාණය සඳහා ප්‍රශස්ත ලෙස යොදාගනී. 

අකිල ධනුද්දර ගේ මෙන්ම සාරංග දිසාසේකරගේ රඟපෑම් චරිතයෙන් හා අධ්‍යක්ෂවරයා විසින් ඉල්ලා සිටිනු ලැබූ රංගනයම බව අපට දැනිණ. බුද්ධදාස විතානාච්චි තම ද්විත්ව චරිත නිරූපණයට සාධාරණත්වය ඉටුකොට සිටී. නළුවරණය නිවැරදි වූවත් සුලෝචනා හා ප්‍රියංකරට වේදිකාව මත තම රංග කාර්යයට අවශ්‍ය තරම් කාලයක් ලැබුණේද කියා සිතිණ. සජිත අනුත්තර තම භූමිකාව ඉටු කරන්නේ පළපුරුදු නලුවකු ලෙසය. මහසුපින මහසමයම තරම් දවැන්ත නිෂ්පාදනයක් නොවූව ද අධ්‍යක්ෂ ඇතුගල රංගය හා අත්‍යන්තයෙන් බැඳී තිබිය යුතු ආනුෂංගික අංශ සඳහා සම්බන්ධ කොටගත් ශිල්පීන් සියල්ලන්ගෙන්ම උපරිම දායකත්වය ලබා තිබූ බව සමස්ත නිර්මාණය පුරා කැපී පෙනිණ. ජගත් පද්මසිරි (රංග භාණ්ඩ, වස්ත්‍ර, අංගරචනය ) තරුපති මුණසිංහ (සංගීතය ) රවිබන්දු විද්‍යාපති ( නර්තන ලීලා ) උපාලි ආරියසිරි ( රංගභූමි පාලනය ) දර්ශන පියරත්න (සහාය අධ්‍යක්ෂණය ) ආදීහු ඒ අතර වෙත්. ආරියරත්න ඇතුගලගේ මහසුපින රංග කාර්යය ඔහුගේ පෙර නිෂ්පාදනය වූ මහසමයම හා සැසඳීම කළ නොහැකිය. එහෙත් මෙම නිෂ්පාදනය සමඟ, ඔහු මෙරට නාට්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ස්වතන්ත්‍ර හා පර්යේෂක නිර්මාණකරුවෙක් බව යළිත් සනාථ කොට සිටී.

මහසුපින වැනි නාට්‍ය නිර්මාණයක් සඳහා ප්‍රවීණයන් ගේ සහභාගීත්වයක් වූවත්, විශ්වවිද්‍යාල නිෂ්පාදනයක් ලෙස එය ප්‍රේක්ෂකයන් හමුවට යාම මගින් සරසවියේ විද්‍යාර්ථීන්ගේ රස වින්දනයට, ඔවුන් තුළ සැඟවුණු නිර්මාණ කෞශල්‍යය අවදි කර ගැනීමට කරනු ලබන බලපෑම අති විශාලය. ඇතම් විට මහාචාර්ය ඇතුගල සමඟ ඔවුනගේ ලබන වසරේ රංග කාර්යය සරසවි නිෂ්පාදනයක්ම වනු නිසැකය. ඒ සඳහා දැන් ඔවුනට නිසි මඟ පෙන්වන්නකු ලැබී ඇත. ඔහු විසින් කලා මණ්ඩලය ඔස්සේ ප්‍රථම වරට පවත්වන ලද කලන 2017 ප්‍රාසාංගික , මාධ්‍ය කලා සාහිත්‍ය තරගාවලිය පවසන්නේ, කැලණි සරසවිය සතු අංකුර නිර්මාණකරුවන් රැසකගේ අගමනයයි. ඔවුහු නිසැක වශයෙන්ම නිර්මාණශීලී තරුණ තරුණියෝය. කලන 2017 තරගාවලියේ විශිෂ්ට කවි හා කෙටිකතා නිර්මාණකරුවන්ගේ රචනා ඒ බවට නිදසුන්ය.

 

කවිතා වැනි අන්තර් විශ්වවිද්‍යාලයීය නිර්මාණ කුසලතා තරගාවලියක් ඝාතනය කොට සිටින අඳුරු යුගයක කැලණිය සරසවියේ මහැදුරු ආරියරත්න ඇතුගල විසින් ඇරැඹූ දිගු ගමනක මංගල පියවර සමඟ ඇතුගල භූමිකාවේ අගය අනෙකුත් සරසවි ශාස්ත්‍ර පීඨ ඇදුරන්ටද දැනේවා ! ඔවුන්ගේ සරසවි තුළ ශිල්ප හදාරණ ශිෂ්‍ය මාණවක මාණවිකාවන්ගේ ද සැඟවුණු නිර්මාණ කෞශල්‍යය ලොවට දකින්නට වරම් ලැබේවා! 

බුද්ධ­දාස ගල­ප්පත්ති

 

නව අදහස දක්වන්න