සහෝදරයා පටලගන්න එපා | දිනමිණ

සහෝදරයා පටලගන්න එපා

නාමල් ජයසිංහ

 ප්‍රේක්ෂක ඔබට ඔහු මෙතෙක් මුණගැසුණේ වේදිකා රංඟන ශිල්පියකුගේ සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකුගේ භූමිකාවෙනි. අද දවසේ දී ඔහු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. හේ, නාමල් ජයසිංහ වේ. ඔහුගේ ප්‍රථම ටෙලි නාට්‍යය වන්නේ ස්වාධීන රූපවාහිනියෙන් සති අන්තයේ දී විකාශය වන 'සහෝදරයා' ටෙලි නාට්‍යයයි. මේ එහි අධ්‍යක්ෂ නාමල් ජයසිංහ හා කළ සංලාපයකි.

l ඔබව ප්‍රේක්ෂකයාට හුරුපුරුදු වේදිකා නාට්‍ය රංඟන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විදිහට. අද වන විට ඔබ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ඔබ ටෙලිවිෂනය දිහාවට හැරෙන්නේ ඇයි?

ටෙලිනාට්‍ය පිටපත් ලිය ලියා හිටියේ. 'ජීවිතයට ඉඩදෙන්න' 'අප්පච්චි' 'අහසින් වැටුණා' 'බොහිමියානුවා' 'රතු අහස' 'තාරා' ලියපු පිටපත් ටික. මගේ මිත්‍රයෙක් ඉන්නවා ජයන්ත වැලිවිට කියලා. ඔහු තමයි ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරමු කියලා ආරාධනා කළේ. ඊට පස්සේ එතුමාගේ මිත්‍රයෙකුත් එකතු කරගත්තා නිෂ්පාදන කටයුත්තට. ඔහු ලලිත් සමරරත්න. කරපු ආරාධනයට තමයි 'සහෝදරයා' කරන්නේ. කලින් මට ආරාධනා කරලා තිබ්බා ආනන්ද අබේනායක මහත්තයා එතුමා නිෂ්පාදනය කරන්නම් කියලා. නමුත් මට මා ගැන විශ්වාසයක් තිබ්බේ නෑ. නිෂ්පාදකත් බේරගෙන, වැඩෙත් බේරගෙන කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා කාලයක් ටෙලිපිටපත් ලියමින්, නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධවෙමින්, හැදෑරිම් කරමින් හිටියා. මට හිතුනා දැන් කාලය හරි කියලා.

l ඇතැමෙකුගේ අදහස ටෙලිවිෂනයෙන් උසස් රසවින්දකාත්මක ටෙලි නාට්‍ය කලාවක් කළ නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස මොන වගේ එකක් ද?

ටෙලිනාට්‍ය කලාව මම හඳුනාගත්තේ මිනිස්සුන්ට බරපතල බලපෑමක් කරන්න පුළුවන් සංස්කෘතික මෙවලමක් විදිහට. ඒක හුඟාක් දුරට පෞද්ගලික නාලිකා ලාභයම අරමුණු කරගෙන ගුවන් කාලය පාවිච්චි කරපු නිසා තමයි මිනිස්සුන්ට එහෙම හිතෙන්නේ. මේක ඇතුළේ මුකුත් නිර්මාණාත්මක කටයුත්තක් කරන්න බෑ කියලා කියන්නේ, පෞද්ගලික නාලිකා හිමියන්. ටෙලිනාට්‍ය කලාවෙන් මුකුත් කරන්න බෑ කියලා මම විශ්වාස කරන්නේ නෑ. සිනමාව හරි වේදිකාව හරි බලන්න මිනිස්සුන්ට ක්‍රය ශක්තියක් ඕනේ. වියදම් කරන්න ඕනේ. නමුත් ටෙලිවිෂනය කියන්නේ කලා භාවිතාවන් නොමිලයේම ගෙදෙට්ට දෙන්න පුළුවන් තැනක්. ඒකෙදි අපිට කියන්න පුළුවන් වෙන්නේ, මේක ඉතාම හොඳ සංස්කෘතික මෙවලමක් කියලා තමයි.

l 'සහෝදරයා' යන්න මෙරට වාමාංශික ව්‍යපාර ඇතුළේ භාවිතා වන්නක්. 'සහෝදරයා' ටෙලි නාට්‍යය තුළ ඔබ කතාබහට ලක් කරන්නේ වාමාංශික දේශපාලනය ගැන ද?

'සහෝදරයා' කියන වචනය ටෙලිනාට්‍යය ඇතුළේ පාවිච්චි වෙන්නේ සමාන අදහස් දරන්නා කියන අර්ථයෙන්. සමාන අදහස් දැරීමට දේශපාලන අර්ථයක් තියෙන්න පුළුවන්. නමුත් මේ සහෝදරයා ඇතුළේ කතාවෙන්නේ දේශපාලනය ගැන නෙවේ, මිත්‍රත්වය ගැන. මේ කතාන්දරය ඉල්ලා හිටපු නම නිසා මම ඒ නම යෙදුවා. වර්තමානයේ අපි මුහුණ දෙමින් ඉන්න කාරණා ගැන කතාබහක් තියෙනවා. විශේෂයෙන්ම ඒකේ ඉන්න චරිත මේ රට ගැන රටේ දේශපාලනය ගැන උනන්දුවෙන චරිත. දේශපාලනය ගැන, නිරායාසයෙන් වෙච්චි කතා බහක්.

සහෝදරයා ඇතුළේ වාමාංශික ව්‍යාපාරයක් ගැන කතාවෙන්නේ නෑ. මීට වඩා සාධාරණ සමාජයක් ගැන තමයි කතා කරන්නේ වම කියන්නේ පක්ෂයක් නෙවේ. ලංකා‍ව අඳුනගෙන තියෙන විදිහ වම කියන්නේ පක්ෂයක් විදිහට. නමුත් වම පක්ෂයක් නෙවේ අදහසක්. සාධාරණ සමාජයක් තියෙන්නේ වමේ නම් ඒක මගේ වැරැද්දක් නෙවේ.

l ඔබ 'සහෝදරයා' තුළ මහා බරසාර දේ කතාබහට ලක් කරන ගමන් එහි රූප රාමුවල රොමැන්තික බව ආලේප කරනවා. එහෙම කරන්නේ ප්‍රේක්ෂකයා හසුකර ගන්න ද?

මේ කතාන්දරය පුද්ගලික කේන්ද්‍රීය කතාන්දරයක් නේ. ඒක ඇතුලේ ආදරය, විරහව, පශ්චාත්තාපය, අසරණවීම වගේ හැඟීම් පැටලිච්චි කතාන්දරයක්. ඒකට අවශ්‍ය විදිහට රූප රාමු සකස් කරගැනීම තමයි මා හිතුවේ. එතනදී කැමරා අධ්‍යක්ෂ ධම්මික රත්නායකයි මමයි කතාකරගත්ත විදිහට සිද්ධිය හසුකරගන්න හොඳම තැනින් කැමරාව ස්ථානගත කරපු එක තමයි වුණේ.

l ටෙලිවිෂනය වටා එක් රොක් වන්නේ, විවිධ රස මට්ටම්වල පිරිස්. සහෝදරයා, ටෙලිවිෂන් ප්‍රේක්ෂකයාට දිරවා ගන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනව ද?

මිශ්‍ර රසයක් තියෙන ප්‍රේක්ෂක පිරිසක් ඉන්න බව පැහැදිලියි. ඒකෙදි ඒ හැමෝටම ගෝචර වෙන විදිහට කතාන්දරය ගොඩනඟන්න තමයි මම උත්සහ කළේ. කතා රසය බලාපොරොත්තු වෙන කෙනෙකුට එහෙම රසයකුත් තියෙනවා. බුද්ධිමත් සමාජ කාරණා සංවාදයට ගන්න ඕනේ කෙනෙකුට ඒකට අදාළ කාරණාත් තියෙනවා.

l ටෙලි නාට්‍යයකින් සමාජය කණ පිට පෙරළිය හැකි යැයි ඔබ විශ්වාස කරනව ද?

මම විශ්වාස කරනවා, නිර්මාණයකින් සමාජය හිතන පතන විදිහ වෙනස් කරන්න දායකවෙන්න පුළුවන් කියලා. මා උත්සාහ කරන්නේ ඒකට. සමාජය වෙනස්වීම පරිණාමයේදී සිද්ධවෙයි. ඒක අපේ ජීවිත කාල‍‍යේදී බලාපොරොත්තු වෙන්න ඕනේ නෑ.

l සයිබර් අවකාශය තුළ මේ වන විට 'කූඹියෝ' සහ 'සහෝදරයා' අතිශයින් ජනප්‍රියත්වයට පත් වෙලා. ඔබට මෙයින් සෑහීමට පත් වෙන්න පුළුවන් ද?

සයිබරය ඇතුළේ 'කූඹියෝ' වගේම 'සහෝදරයා'ත් ජනප්‍රියයි. ඒකෙදි අපිට පේන දේ තමයි ලෝකයත් එක්ක ගනුදෙනු කරන තරුණ පිරිසට මේ කතාන්දර දෙක ගෝචර වෙලා තියෙනවා කියන එක. නමුත් පොදු සමාජය තවම ටෙලිනාට්‍යවලට සමීප වෙලා නෑ. ටෙලිනාට්‍යවලින් ඈත් වෙලා. විශේෂයෙන්ම ලංකාවේ ටෙලි නාට්‍යවලින් ප්‍රේක්ෂකයෝ ඈත් වෙලා ඉන්නවා කියලා මට හිතෙනවා. සයිබරයේ පෙනෙන තරම් ජනප්‍රියත්වයක් එළියේ සමාජයේ නෑ. ටෙලිනාට්‍ය පැත්තට ප්‍රේක්ෂකයා නැවත පැමිණ නෑ. අපි උත්සාහ කළ යුතුයි නැවත ඔවුන්ව එතැනට ගේන්න.

l 'කූඹියෝ' සහ ඔබේ 'සහෝදරයා' හරහා මෙරට ටෙලි නාට්‍ය බැලීමේ නව සම්ප්‍රදායක් ගොඩ නැඟී ඇති බවයි විචාරක මතය?

එහෙම මම හිතන්නේ නෑ. 'කූඹියෝ' 'සහෝදරයා' එන්න කළිනුත් ගුණාත්මකභාවය පවත්වාගත් නාට්‍ය තිබුණා. මෑතකදීත් තිබ්බා. උදාහරණයක් විදිහට 'වන් වේ' 'තාරා' 'ගොළු තාත්තා' 'මද්දහන' 'සොඳුරු දඩයක්කාරයා' වගේ නාට්‍ය. ඔවුන් එහෙම පවත්වාගෙන ආපු නිසා තමයි අපිට මෙහෙම ඉඩක් ලැබෙන්නේ. එක පාරටම හැදුණු දෙයක් නෙවේ. ස්වාධීන රූපවාහිනිය ගත්ත පියවර ඉතාම හොඳයි.

l අවසාන වශයෙන්, සහෝදරයා ගැන එහි අධ්‍යක්ෂවරයා විදිහට ඔබට ප්‍රේක්ෂක ජනතාවට ප්‍රකාශ කර සිටින්නට යමක් ඇති?

මට කියන්න තියෙන්නේ 'සහෝදරයා' කියන නමත් එක්ක පැටලිලා ඒක දේශපාලනික කරගන්නේ නැතුව නාට්‍ය බලන්න කියලයි. මේ නාට්‍ය තුළ කතා කරන්නේ අපි ජීවත්වන රට ගැන සහ මිට වඩා සාධාරණ සමාජයක් පිළිබඳවයි. ඊට අමතරව මා ස්තූතිවන්ත වෙනවා සියලුම පුවත්පත් ආයතනවලට. මොකද 'සහෝදරයා' ජනගත කිරීම සඳහා ඔවුන් සෑහෙන උත්සහයක්, යුතුකමක් ඉටු කරමින් ඉතා හොඳ සහයෝගයක් ලබා දුන්නා.

සංලාපය
අනුසාර මාහිංගොඩ

නව අදහස දක්වන්න