උමතු බෝම්බයාගේ රංගනය අවසන් | දිනමිණ

උමතු බෝම්බයාගේ රංගනය අවසන්

 මනෝ විද්‍යාවේ CID හාස්කම් - සත්‍ය කතාවක අවසන් කොටස

ඇලිස් විසින් මෙටාස්කි එවූ ලිපි කිහිප වරක්ම කියවීමේදී පෙනී ගියේ 'නීච ක්‍රියා' යෙදුම පුනරුච්චාරණය වී තිබීමට අමතරව, එකී ලිපි ඉංග්‍රීසියෙන් ලියවී ඇත්තේ විදේශික ආරකින්ද බවය. මේ කරුණ උමතු බෝම්බයාගේ විස්තරයට සමාන බැවින් ඇලිස් තම රාජකාරි මිතුරියකට ද එය පෙන්වූවාය. ඇය ද අදහස අනුමත කළාය. බෝම්බ පරීක්ෂණ ඒකකයට කොන් එඩ් වෙතින් දුරකතන ඇමතුමක් ලැබුණි. ඉන් මඳ වේලාවකට පසු එනම් සවස 5.30 ට පමණ රහස් පොලිස් නිලධාරියකු පැමිණ එකී ලිපිගොනුව රැගෙන ගියේය.

එදින රාත්‍රියේ බෝම්බ පරීක්ෂණ ඒකකයේ සාමාජිකයින් මේ ලිපිගොනුව තියුණු නිරීක්ෂණයකට ලක්කරන ලදී. මා විසින් දී තිබූ කාරණා සෑම එකටම පාහේ ලිපි ගොනුවේ තොරතුරු ගැළපුණි. ඔහුගේ නම පවා ස්ලාව් සම්භවයක් සහිත පෝලන්ත එකකි. ආගම ද රෝමානු කතෝලික විය. අවසන්වරට ලිපිගොනුවේ සඳහන්ව තිබූ පරිදි ඔහුගේ පදිංචිය කෙනෙක්ටිකට්ය. ලිපිනය; අංක 17, හතරවන වීදිය, වෝටර්බරී ය.

දැන් ඉන්ස්පෙක්ටර් බයිරන්ස්ගේ කණ්ඩායමට අලුත් බලාපොරොත්තුවක් ඇත. ඒත්, බෝම්බ පරීක්ෂණ ඒකකයට තවදුරටත් තහවුරු කර ගැනීමට කාරණා තිබේ.

පසුදින (සෙනසුරාදාට) පහන් වන විට, නිව්යෝර්කයේ සිට කෙ‍ෙනක්ටිකට් හි වෝටර්බෙරී පොලිස් ස්ථානයට පණිවිඩයක් යැවිණි. එයින් කියවුණේ 1931 - 1937 අතර කාලය තුළ හතරවැනි වීදියේ අංක 17 දරන ස්ථානයේ පදිංචිව සිටි ජෝර්ජ් මෙටාස්කි නම් තැනැත්තා ගැන සියුම් විමර්ශනයක් එවන ලෙසය.

නගර සභාවේ තොරතුරු ගත් ‍කෙ‍ෙනක්ටිකට් පොලිසිය දන්වා සිටියේ, මෙම ලිපිනය සහිත නිවස ජෝර්ජ් මිලවුස්තාස් නමැති පුද්ගලයෙකුට අයිතිව තිබී 1920 ගණන්වලදී සිය පුත්‍රයා වන ජෝර්ජ් මිලවුස්කාස්ට පවරා ඇති බවය.

කැප්ටන් අර්නස්ට් පකූල්, වෝටර් බෙරී හි ප්‍රවීණ රහස් පරීක්ෂකයෙකි. ඔහුට මේ ප්‍රදේශයේ සෑම බිම් අඟලක් හා ජන ප්‍රජාවක් ගැනම ප්‍රමාණවත් දැනුමක් තිබේ. ඔහු නිශ්චිතවම ප්‍රකාශ කළේ ජෝර්ජ් මෙටාස්කි යනු ජෝර්ජ් මිලවුස්කාස් ම බවයි. රාජකාරීම ලියවිලිවලට මේ වෙනස ඇතුල් නොකරමින් පාවිච්චිකොට තිබේ.

එදින හවසම පකූල් විසින් දක්ෂ රහස් පරීක්ෂකයෙක් වෙස්ගන්වා ගෙන ඒ ප්‍රදේශයට යැවීය. ඔහු හතරවැනි වීදියේ ගෙයින් ගෙට ගොස් මෝටර් රථ අනතුරු ගැන තොරතුරු රැස්කරන්නට විය. අංක 17 පිළිබඳ අවශ්‍ය තොරතුරු ද ඔහුට එකතු කර ගැනීමට හැකි විය.

අව්ව - වැස්සෙන් අවපැහැගැන්වුණු තෙමහල් අළු පැහැති නිවසේ දොරට රහස් පරීක්ෂකයා තට්ටු කළේය.

ඇතුළතින් පිළිතුරු දුන්නේ හිතන මහත්තයා මැයෙන් හඳුන්වන මිනිසා ය.

වෝටර්බෙරී පොලිස් ස්ථාන‍ෙයන් ලැබුණු තොරතුර ගැන ඉන්ස්පෙක්ටර් බයිරන්ස් ඇතුළු පිරිස පුදුමයෙන් සතුටට පත් විය. ජෝර්ජ් මෙටාස්කි තවමත් හතරවැනි වීදියේ අංක 17 වාසය කරයි. ඔහුගේ හැබෑ නම වෙනුවට මෙටාස්කි නම දෙනු ලැබුවේ පාසල් ගුරුවරිය විසිනි. මන්ද ඇයට මිලවුස්කාස් යන්න උච්චාරණය කිරීමට දුෂ්කර වූ නිසාය. මීට අමතරව, අසල්වාසීන්ගෙන් රහස් පරීක්ෂකයා සොයාගත් කරුණු අනුව පුද්ගලයා තහවුරු වී හමාරය.

සඳුදා අන්තිම හෝඩුවාවත් පැමිණ තිබිණි. ඒ, උමතු බෝම්බයා විසින් ජ'නල් අමෙරිකන් වෙත එවූ තුන්වන ලියුමෙනි. තම ශක්තිය ගැන තද විශ්වාසයක් ඇති බොක්සිං ක්‍රීඩකයෙකු තම දුර්වල ප්‍රතිමල්ලවයා අමතන්නාක් මෙන් වූ මේ ලියවිල්ල තමාට සිදුවූ පොල් හේට් අනතුරේ දිනය පවා සඳහන් තර තිබුණි: 1931, සැප්තැම්බර් 05දා කොන් එඩ් ලිපිගොනුවේ දිනය ද මෙදින වූ බැවින් ඉන්ස්පෙක්ටර් බයිරන්ස් ඇතුළු කණ්ඩායමේ දත්ත එකතු කිරීම මෙතකින් සමාප්ත විය.

සඳුදා මධ්‍යම රාත්‍රිය වීමට පෙර නිව්යෝර්ක් රහස් පරීක්ෂක කණ්ඩායම වෝටර්බෙරි වෙත ළඟා වූහ. කැප්ටන් පකූල් ඇතුළු තිදෙනෙක්, සංඥාව ලැබෙනතුරු මඟ බලාගෙන උන්හ. අට‍දෙනෙක්, රාත්‍රී කළුවර කපාගෙන හතරවෙනි වීදිය දෙසට රිය පදවමින් සිටියහ. බිමට බැසගත් ඔවුන් අංක 17 දරන නිවසේ දොරට තට්ටු කළහ.

නිවස පිටුපස දැල්වෙමින් තිබූ විදුලි බුබුලක් සැණින් නිවී ගියේය. නිවස තුළ කැඩී බිඳී තිබූ බිම් පොළවේ නොඉක්මන් පා හඬ ඇසෙන්නට විය. දොර ඇරිණි. රන්මුවා ඇස් කණ්ණාඩි රාමුව තුළ ඉතා ශාන්ත නිල් පැහැති දෑස පොලිස් නිලධාරීන් හට හොඳින් දැකගැනීමට ‍හැකි විය.

'සුබ සන්ධ්‍යාවක්' ඔහු ඉතා විනීතව පොලිස් නිලධාරීන්ට ආචාර කළේය.

තමන් කවුරුදැයි හඳුන්වා දෙමින් රහස් පොලිස් නිලධාරීන් කියා සිටියේ ප්‍රශ්න කිහිපයක් ඇසීමට ඇති බවයි.

මෙටාස්කි, සන්සුන් පුළුල් සිනාවක් පොලිස් නිලධාරීන්ට පෑවේය. හිස නමා ආචාර කරමින් තම නිවස තුළට නිලධාරීන් කැ‍ඳෙව්වේය.

'මම දන්නව මේ මහත්තුරු ඇයි මෙහාට ආවෙ කියල' ඔහු ඉතාමත් පහන් සංවේදී සිනාවක් නිලධාරීන් වෙත හෙළුවේය. 'ඔබතුමන්ලා හිතනව, මම උමතු බෝම්බයා කියල'

'ඇත්තටම ඒ ඔබ ද?' මෙටාස්කි සිනාසුණා පමණි.

'සා. මි. කියන අකුරු දෙකේ තේරුම මොකක්ද?'

මෙටාස්කි නැවත සිනාසුණේය. මඳ වේලාවක් අදිමදි කරමින් සිට අවසානයේ පිළිතුරක් දුන්නේය: 'සාධාරණ මිනිසා'

පිජාමා ඇඳුමින් සිටි ඔහුට, ඇඳුමක් දාගෙන යන්නට ලෑස්ති වෙන්නැයි නිලධාරීහු ඉල්ලා සිටියහ. ඔහු තම නිදන කාමරයට වැදුණි. පෙරළා පැමිණි නිලධාරීන් දුටුවේ ඔහු තම හිස ජැංඩි පහට පීරා පාවහන් ඔපදමා ඇති බවය.

ඔහු ඇඳ සිටියේ නිල් පැහැති කුඩා තිත් සහිත ඩබල් බ්‍රෙස්ටඩ් සූට් එකකි. එහි බොත්තම් ද පියවා තිබුණි.

නිවසේ පසෙකින් තිබූ මළ කෑ ගරාජය වෙතට ද යාමට ඔහු රහස් පොලිස් නිලධාරීන්හට ආරාධනා කළේය. එහි බිම හොඳින් අතුගා වැඩ මේසය ද පිරිසිදුකොට තිබිණි. ආම්පන්න හා මෙවලම් මැනවින් පිළිවෙළට බිත්තියේ එල්ලී තිබුණි. ඔහු, ඊළඟ බෝම්බය සඳහා එක්රැස් කරමින් සිටි කොටස් ද ප්‍රදර්ශනය කළේය.

මෙටාස්කි කැටුව පොලිස් නිලධාරීන් නිල රථය වෙත එන විට ඔහුගේ දෙසොයුරියන් එකහෙළාම ඊට විරෝධය පෑහ. තර්ජනාංගුලි සහිත වැලපීම්වලින් වියපත්ව දිරාගිය ස්ත්‍රීන් මෙසේ කියන්නට විය: 'එයා කවදාවත්ම කිසි කෙනෙකු රිදවලා නෑ. ජෝර්ජ් කාටවත් වැරදි කරල නෑ' 1930 සිට මේ කාන්තාවන් දෙදෙනා දෑත් ගෙවෙනතුරු කම්හල්වල වැඩකොට තම සොහොයුරා රැකබලාගෙන ඇත. පොලිස් රිය නිවසින් එපිටට ඇදෙද්දී, ඉකි ගසමින් ඔවුන් එදෙස බලා සිටියේ, තම දරුවා පැහැරගෙන යන දෙස පපුව පැලෙන තරමින් බලා සිටින මව්වරුන් සේය.

වෝටර් බෙරී පොලිස් කූඩුවේදී ගන්නා ලද එක් ඡායාරූපයක් පසුදින පුවත්පත්වල පළවිය. සිනාමුසු මුහුණින් යුතු ඒ ඡායාරූපයෙන් පිළිබිඹු වූයේ පොලිස් අත්අඩංගුවට පත් අපරාධකරුවෙකු නොවේ; මනාප ධාරාණිපාතයකින් ජය ගත් දේශපාලකයෙකුගේ හෝ නොබෙල් ත්‍යාගය ලැබූ කතුවරයෙකුගේ ජයග්‍රාහී ප්‍රහර්ෂමත් මුහුණකි.

උමතු බෝම්බ සිද්ධිය පුපුරා යෑමෙන් පසු, සුපතළ නිවුස්වීක් සඟරාවේ පුවත්පත් කලාවේදියෙකු පැමිණ මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගත්තේය. එහිදී, මෙටාස්කි ගැන මා අනාවැකි කීවේ කෙසේදැයි මා විස්තර කළ අතරම, ඔහු පිළිබඳ අවසාන අනාවැකිය ද එහිදී ප්‍රකාශකොට සිටියේය. 1957 පෙබරවාරි මස 04දා එය මෙසේ වාර්තාකොට තිබුණි.

'මනෝ චිකිත්සක ප්‍රතිකාරවලට, මෙටාස්කි කිසි දිනක ප්‍රතිචාර නොදක්වනු ඇත. තාරාවා තම තටුවල වතුර විසිකරන්නාක් මෙන් ‍මනෝ විශ්ලේෂණාත්මක පිළියම් ද ඔහු බැහැර කරනු ඇත. මානසික සෞඛ්‍ය පිළිබඳ ආයතනයක ඔහුට නේවාසිකව සිටීමට පහසුකම් සැලසුවහොත්, ඔහු සැබැවින්ම සතුටු වනවා මෙන්ම, නිසි පරිදි දේව මෙහෙයට සහභාගිවෙමින් රෝහල් කාර්ය මණ්ඩලයට උපකාර කරමින් ප්‍රීතිමත් ජීවිතයක් ගතකරනු ඇත.'

මෙටාස්කිගේ නීති කටයුතු අහවරවීමෙන් පසුව ඔහු මැට්ටීවන් රාජ්‍ය රෝහලේ නේවාසිකයෙක් බවට පත්විය. ‍මානසික රෝගී තත්ත්වයන් යටතේ දරුණු අපරාධ චෝදනා ලැබූවන්, සාමාන්‍ය මානසික රෝහලකට ඇතුල්කරන තෙක් රඳවන්නේ මේ විශේෂ රෝහලේය. මෙටාස්කිගේ එක් පෙණහැල්ලක තිබූ ක්ෂය‍ රෝගී තත්ත්වයන් ද මෙහිදී සුව වන්නට විය. මේ ‍විශේෂ මානසික රෝහල කරා මා හට නිතර යාමට සිදුවූයේ විශේෂ රාජකාරියක් නිසාය. එනම්, සාමාන්‍ය මානසික රෝගීන් සිටින රෝහල් කරා යැවිය හැකි රෝගීන් තෝරා බේරීම මට භාරව පැවති නිසාය.

මෙවන් එක් විටකදී මගේ කාමරයට උමතු බෝම්බයා ගෙනෙන ලදී. ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියේය. කලබලකාරී ගතියකින් තොරව මුහුණේ පුළුල් සිනාවක් විය. ඔහු වෙනත් රෝගීන් මෙන් රෝහල් ඇඳුම අඳිනවා වෙනුවට ඩබ්ල් බ්‍රෙස්ටට් සූට් එක ඇඳ බොත්තම් පියවා සිටියේය. රෝහල තුළ ඔහු ආදර්ශමත් චරිතයකි. එහි නීතිරීති අකුරටම පිළිපැද්දේය. නිතිපතා දේවස්ථානයට ද ගියේය. එහෙත් චිකිත්සක ක්‍රමවේදයන් කිසිවෙකට ප්‍රතිචාර නොදැක්වීය.

ඔහු සමඟ කළ කතාබහේදී මට පෙනී ගියේ රෝහල් ජීවිතය ඔහුට හොඳින් අල්ලා ඇති බවය. එනමුත් ළඟදීම ඔහු නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තුවක් ද විය.

වියපත් සොයුරියන් දෙදෙනා නිරතුරු ඔහු බැලීමට ආ අතර තම සහෝදරයාගේ ආහාර හා නවාතැන් පිළිබඳ පැමිණිලි කරමින් රෝහල් පරිපාලනයට නිතර ලිපි ද ලියන්නට විය. (ඇනා 1965 දී මියගිය අතර, තවමත් වෝටර්බෙරී හි හතරවැනි වීදියේ අංක 17 නිවසේ වාසය කරමින්, මේ ජෝර්ජ් බැලීමට එමින් ඔහුගේ ප්‍රතිකාර ගැන පැමිණිලි ලිපි ලියමින් සිටී.)

මැට්ටීවාන් මානසික කඳවුර හැර යාමට ජෝර්ජ්ට අවශ්‍ය වූවත් එයින් පැන යාමට ඔහු උත්සාහ නොකළේ සමාජ විරෝධී කටයුත්තක් නිසා බව මා සමඟ පැවසීය. ඔහුගේ අභියාචනා ලිපි ප්‍රතික්ෂේප වී තිබේ. නමුත් ඔහු මුළු ජීවිත කාලය පුරාම මෙවැනි අභියාචනා ලියනු ඇත. මෙය භින්නෝන්මාදී රෝගීන්ගේ ලක්ෂණයකි. අප දෙදෙනා තවත් බොහෝ දේවල් ගැන කතාබහ කරමින් සිටින අතර මම මෙවැනි ප්‍රශ්නයක් නැඟුවෙමි.

'ජෝර්ජ්, ඒ කාලේ ඔයාට මානසික රෝගයක් තිබුණා කියල නිකමට වගේ හිතෙන්නෙ නැද්ද?'

ඔහු කෝප නොවීය, තමන් දෙවියන් හා සදිසි යැයි කල්පනා කරන මේ රෝගියා, තම දරුවකුගේ වැරැද්දට සමාව දෙන අයුරින්, පිය සෙනෙහස මිශ්‍ර සිනාවක් මට පුදකරමින් කාමරයෙන් පිටව ගියේ අතට අත දෙමිනි.

සිංහල කළේ
සමුනි සමරකෝන්

උමතු බෝම්බ කතා වස්තුව මෙසේ නිමවේ. නත්තල් මරණය නම් බ්‍රසල්ගේම සත්‍ය කතාවස්තුව හෙට සිට කියවමු.


නව අදහස දක්වන්න

Or log in with...