ගමේ විහාරත් වැඩි දියුණු කිරීම ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි | දිනමිණ

ගමේ විහාරත් වැඩි දියුණු කිරීම ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි

ශිරෝමි අබයසිංහ
අගමැතිවරයා විහාරාධිපති හිමිගෙන් සුවදුක් විමසමින්

ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නගරයේ විහාරස්ථාන පමණක් නොව ගමේ විහාරස්ථානද වැඩි දියුණු කිරීම බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පන්සල් දියුණු කිරීමේ දී ප්‍රදේශයේ ජනතාවට සේවයක් වන ආකාරයට එය සිදු කළ යුතු බවද අගමැතිවරයා කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පැරණි වෙහෙර විහාරස්ථාන 40ක බිතු සිතුවම් මුර්ති සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ උඩුබද්දදාව ශිලා පොක්බරණී පුරාණ ටැම්පිට විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ ඇරැඹීමේ පුණ්‍යෝත්ස්වයට පසුගිය 03 දා සහභාගි වෙමිනි.

විහාරස්ථ අභිනව බෝධි ප්‍රාකාරය සඳහා මුල්ගල තැබීමද මෙදින අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂයේ බිංගිරිය ආසනයේ සංවිධායක නලීන් බණ්ඩාර මහතා විහාරස්ථානයට පූජා කළ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කිරීමද සිදු විය.

එහිදී අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මේ අපේ ගමේ පන්සල ලෙස හැඳින්වු‍වොත් නිවැරැදියි. මෙය ඉතා පැරණි පන්සලක්. මගේ මුත්තා ජීවත් වූ සමයේදී මේ පන්සල ගරා වැටුණු විහාරස්ථානයක් ලෙස තිබුණා. දැන් ක්‍රමාණුකූලව දියුණුවට පත් වි තිබෙනවා. අපගේ සීයාගේ කාලයේ සිට මේ ටැම්පිට විහාරස්ථානය දියුණු කිරීම සඳහා උපකාර කිරීමට අපට හැකි වුණා. මගේ මවත් මේ විහාරස්ථානයට උදව් කළා. දැන් ඒ වගකීම මා සහ මගේ සහෝදරයන් විසින් භාර ගෙන තිබෙනවා. එමෙන්ම රටේ අගමැති ලෙස මේ විහාරස්ථානයට උදව් කිරීමට මට හැකි වී තිබෙනවා.

මීට පෙර ගමේ වැව ප්‍රතිසංස්කරණය කළා. මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද එක් වී‍ සිටිනවා.

පැරණි පන්සලක් වන මෙහි පෞරාණික ගොඩනැගිලි මුලින්ම ආරක්ෂා කර ගත යුතුයි. එනිසා මේ පන්සලේ දියුණුව සැලැස්මක් අනුව ක්‍රමාණුකූලව කළ යුතුයි. ගොඩනැගිලි දියුණු කිරීම පමණක් නොව ප්‍රදේශයේ ජනතාවට සේවයක් වන ආකාරයට පන්සල දියුණු කළ යුතුයි.

ජාතික ආණ්ඩුවක් ලෙස අපේ ප්‍රතිපත්තිය වන්නේ කුඩා පන්සල්වලට උපකාර කිරිමයි. ඒ සඳහා අප වැඩසටහනක් සකස් කර තිබෙනවා. ගමේ පන්සල අමතක කර නගරයේ පන්සලට පමණක් ආධාර කර වැඩක් නැහැ.

විහාරාධිපති කිතගම විමලරතන හිමි-

මේ විහාරස්ථානයේ පෞරාණික බව ආරක්ෂා කිරීමට අපට රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් අකිල විරාජ් ඇමතිතුමා අපට ප්‍රතිපාදන ලබා දුන්නා. අගමැතිතුමන් ඇතුළු එතුමාගේ පිය පරපුරෙන් මේ විහාරස්ථානය වත්මන් තත්ත්වයට ගෙන ඒමට කැප වි ක්‍රියා කර තිබෙනවා.

‍මේ අවස්ථාවට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාද සහභාගි විය.

ඡායාරූප- මාලන් කරුණාරත්න


නව අදහස දක්වන්න

Or log in with...