කිරි නිෂ්පාදනවලට භාවිතා කළේ දේශීය කිරිද පිටි කිරිද? | දිනමිණ

කිරි නිෂ්පාදනවලට භාවිතා කළේ දේශීය කිරිද පිටි කිරිද?

චන්ද්‍රිකා පෙරේරා

පාරිභෝගිකයා වෙත නිකුත් කෙරෙන යෝගට්, අයිස් ක්‍රීම් ඇතුළු කිරි ආහාර නිෂ්පාදන සිදු කර ඇත්තෙ දේශිය කිරි වලින් ද , විදේශීය කිරි පිටි වලින් ද යන්න ඇසුරුම් ලේබලයේ සටහන් කිරීම අනිවාර්ය කරන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමති පී. හැරිසන් මහතා පැවැසීය.

මේ අනුව විදේශීය කිරිපිටි ආනයනය අවම කර දේශීය කිරි ආහාර නිෂ්පාදනය හා දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කර මෙරට ගැමි ආර්ථිකය නැංවීම හා පෝෂණ ගුණය සහිත ආහාර ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙල තව දුරටත් විධිමත් කරන බව අවධාරණය කෙළේය.

වර්තමානයේ කිරි ගොවියා මුහුණ දී ඇති ගැටලු හා ඒ සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පි‍ළිබඳ ඉකුත් දා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද කීය.

කිරි ගොවීන්ට කිරි විකුණා ගැනීමේ ගැටලු මතුවීමට එක් හේතුවක් වන්නේ යෝගට් හා අයිස් ක්‍රීම් නිෂ්පාදනය සඳහා දියර කිරි වෙනුවට පිටරටින් ගෙන්වන බාල කිරිපිටි භාවිතා කිරීම. මෙය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම කඩිනම් කරනවා .

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යං‍ශය සමඟ සාකච්ඡා කළා. එහිදී තීරණය කළා කිරි ආශ්‍රීත නිෂ්පාදන වෙළඳපොලට එවීමේදී එය නිෂ්පාදනය කර ඇත්තේ කිරි වලින්ද පිටිකිරි වලින් ද යන්න සඳහන් කළයුතු බවට. මෙමගින් පාරිභෝගිකයාට තමන්ට අවශ්‍ය දේ තෝරා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හා පාරිභෝගික අධිකාරිය සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරනවා. ගුණයෙන් සපිරි කිරි ආහාර ජනතාවට ලබා ගැනීමට හැකියාව මෙමගින් සැලසිය හැකියි.

අනාගතයේදී තව දුරටත් කිරි පිටි වෙනුවට දියර කිරි භාවිතයට ජනතාව යොමු කරවීම තුළින් කිරි කර්මාන්තය දියුණු කිරීම පියවර ගන්නවා. මෙහිදී ගොවින් හා සමාගම් අතර හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇති කර ගත යුතුයි . කිරි ගොවියාගෙන් කිරි ලබා ගන්නවා නම් ගොවියාගේ වගකීමත් සමාගම බාර ගැනීම අත්‍යවශ්‍යයි . මේ අනුව ගොවියා හා සමාගම් දෙකම ආරක්ෂාවන ලෙස ගිවිසුමකට යා යුතු වෙනවා. ලබන වසරේ මේ සඳහා අවශ්‍ය නීත්‍යනුකුල පියවර ගැනීම නව වසරේ දී සිදු කිරිමට නියමිතයි. සියලුම සමාගම් වලට ආරාධනා කරල තිබෙනවා කිරි කර්මාන්තය දියුණු කිරීමට දේශීයව හෝ විදේශයෙන් කිරි ගවයින් ගෙන්වා ගොවිපළ ඇති කරන්න අමාත්‍යංශය හා එක්වන ලෙස. මේ සදහා පශු සම්පත් මණ්ඩලයට අයත් ඉඩම් හෝ වෙනත් ඉඩම් ලබා දී පහසුකම් සැලසීමට අමාත්‍යංශය සුදානම් .

සකච්ඡාවට එක්ව සිටි කිරි ගොවි නියෝජිතයෙකු විසින් කිරි පිටි ආනයනය අවම කිරීමට කටයුතු කරන ලෙස මෙහිදී ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කළ අතර එයට පිළිතුරු දෙමින් ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ ද කීය .

පසුගිය කාලෙ තීරුබදුඅඩු කළේ ලෝක වෙළදපළෙහි කිරිපිටි මිල ඉහළ යාම නිසා පාඩුවක් වෙනවා කියා ආනයනකරුවන් කළ ඉල්ලීමට සහනයක් ලෙසයි . ඒ අනුව කිරිපිටි ආනයන නවත්වන්න සිදු වෙන බව සඳහන් කළ නිසයි ඔවුන්ට සහනයක් ලෙස තීරුබදු අඩු කළේ . ලෝක වෙළදපොලේ කිරි පිටි මිල අඩු වෙන විට ටැක්ස් එක වැඩි කරනවා. දේශීය කිරි ගොවියා ආරක්ෂා කර ගැනීම අප කළ යුතුයි. ඒ අනුව දියර කිරි ප්‍රචලිත කර කිරි පිටි ආනයනය අඩු කරන ක්‍රමවේදයට යා යුතුයි. බාල කිරි පිටි ගෙන්වීම තහනම් කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරනවා.

දේශීය සමාගම් වෙත ලබා දෙන බදු සහනය තව දුරටත් ලබා දීමට හා සහනාධාර වැඩිකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද කිරි එකතු කිරීමේ ගැටලු තිබේනම් වහාම ඒ පිළිබදව අමාත්‍යංශය දැනුවත් කරන ලෙසද පැවැසූ අතර කිරි ගොවියා අපහසුතාවයට පත් නොකොට එම කිරි ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසීම ඒ අනුව කඩිනම් කළ හැකි බව පෙන්වා දුන්නේය. නොදන්වා කිරි මිලදී ගැනීම පැහැර හරින ආයතන වලට නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සදහා සමාගම් හා ගොවියා අතර ගිවිසුමකට එළැඹීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රි නාමල් කරුණාරත්න මහතා ඇතුලු ගොවි නියෝජිතයන්, දේශීය හා විදේශීය කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලා ප්‍රධානීන් හා අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිහාල් වෙඩිසිංහ මහතා ඇතුළු නිලධාරීන් මේ සඳහා සහභාගි වුහ. 

නව අදහස දක්වන්න