දංකොටුව පෝසිලේන් සිග්නේචර් ප්‍රදර්ශනාගාරය විවෘත කරයි | දිනමිණ

දංකොටුව පෝසිලේන් සිග්නේචර් ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

දැකුම්කලු පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදනයේ කීර්තිමත් නාමයකට හිමිකම් කියන දංකොටුව පෝසිලේන් සමාගම, ගිල්ඩ්ෆර්ඩ් චන්ද්‍රාවංකය, කොළඹ 07 ප්‍රදේශයේ සිය නවත ම සිග්නේචර් ප්‍රදර්ශනාගාරය විවෘත කළේය.

ඓතිහාසික නිදහස් චතුරශ්‍රය සහ සංස්කෘතික උරුමයක්වන ලයනල් වෙන්ඩ්ට් රඟහල ඇතුළු මෙරට වඩාත් ආකර්ෂණය දිනාගත් ස්ථාන රැසකට මැදිව පිහිටි මෙම නවත ම ප්‍රදර්ශනාගාරය වෙනත් ප්‍රදර්ශනාගාරයකින් අත්විඳිය නොහැකි මට්ටමේ උසස් සහ අසමසම සේවාවක් පාරිභෝගිකයන් හට පිරිනමයි.

නූතනත්වය සහ රමණීය බව කැටිකොට නිමැවෙන උසස් මට්ටමේ දංකොටුව පෝසිලෙන් පිඟන් සහ තෑගි භාණ්ඩ මාදිලි රැසක් මෙහි ප්‍රදර්ශනයට තබා ඇති අතර, පාරිභෝගිකයන්ට ද, හෝටල් ව්‍යාපාරික හවුල්කරුවන්ට ද සැලසුම් වෘත්තිකයන්ට ද ලෝ ප්‍රකට පෝසිලේන් නිෂ්පාදන සජීවීව අත්විඳීමේ අවස්ථාව මෙමගින් උදාකර ඇත. ඊට අමතරව පාරිභෝගිකයන් හට සුවිශේෂී සහ අසමසම ජාත්‍යන්තර සාප්පු අත්දැකීමක් දායාද කරමින් මෙම ප්‍රදර්ශනාගාරය තුළ Lenox සහ Portmeirion ආදී ගෝලීය සන්නාම ද ප්‍රදර්ශනය කර තිබීම විශේෂත්වයකි.

දෙස්-විදෙස් පාරිභෝගිකයන් හට දංකොටුව සහ දේශීය කුඹල් කර්මාන්තයට එහි ඇති ඓතිහාසික බැඳීම පිළිබඳ මනා දැනුමක් ලබාදීම සඳහා සිග්නේචර් ප්‍රදර්ශනාගාරය තුළ පෝසිලේන් ඉතිහාසය පිළිබිඹු කරන අංශයක් ද ස්ථාපනය කර ඇත. ශ්‍රී ලංකාමේ කුඹල් කර්මාන්තය ක්‍රි. පූ. 500 සියවස දක්වා ඈතට දිවයන්නක්වන අතර, එය ලෝකයා වෙතට ගෙනයාම සඳහා දේශීය සෙරමික් හා පෝසිලේන් නිෂ්පාදන පුළුල් කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකේය සමාගමක්වන දංකොටුව පෝසිලේන් සමාගම පුරෝගාමී මෙහෙවරක් ඉටුකරයි.

"සිග්නේචර් ප්‍රදර්ශනාගාරය වැනි තවත් දැවැන්ත ව්‍යාපෘති හරහා 2020 වසර වන විට ලෝක මට්ටමේ උසස් පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදකයෙකු ලෙස අප සමූහය ඉහළ තලයක ස්ථාපනය කිරීම අපගේ ඉලක්කයයි. මැනවින් සැලසුම් කරන ලද බෙදාහැරීම් ක්‍රමෝපාය යොදාගැනීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් හරහා මෙරට කීර්තිමත් පෝසිලේන් සන්නාම වෙත පාරිභෝගිකයාට ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීම මගින් දංකොටුව පෝසිලේන් නව මුහුණුවරකට පත්කිරීමේ කටයුතු මේවන විට සිදුවෙමින් පවතිනවා" දංකොටුව පෝසිලේන් සමාගමේ සභාපති රාජන් ආසිර්වාදම් මහතා මෙහිදී සඳහන් කළේය. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...