පුලතිසිපුරට ලැබුණු චීන තෑග්ග | දිනමිණ

පුලතිසිපුරට ලැබුණු චීන තෑග්ග

වසන්ත ප්‍රිය රාමනායක

ජනාධිපතිවරයා චීන රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට අංග සම්පූර්ණ වකුගඩු රෝහලක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ. පොළොන්නරුවේ ඉදිවන මෙම රෝහල දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල වනු ඇත.

සෞඛ්‍ය පහසුකම් සම්පූර්ණයෙන් ම නොමිලේ ලබා දෙන රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රකටය. මෙය ලෝකයේ බොහෝ රටවල දක්නට නොලැබෙන සුවිශේෂී ගණයේ දැවැන්ත සුබසාධන ව්‍යාපෘතියකි. නිදහසේ සිට මේ දක්වා ම ශ්‍රී ලංකාවේ බලයට පත් වූ සෑම රජයක් ම දේශපාලන පක්ෂ හා පාට භේදයකින් තොරව ජනතාව වෙනුවෙන් නොමිලේ ලබා දෙන සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් මුදල් වැඩි කළා මිස කප්පාදු කළේ නැත.

පුරා වසර 70ක නිදහස් ශ්‍රී ලංකාව ගත් කළ සෑම වසරකම ජනතාවගේ සනීපාරක්ෂාව වෙනුවෙන් වෙන් කරනු ලබන මුදලේ වැඩි වීමක් මිස අඩුවීමක් දක්නට නොලැබුණි. මේ අතර ඇති හැකි අය හා මධ්‍යම පාන්තික ජනයා වෙනුවෙන් පෞද්ගලික රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා පවත්වාගෙන යෑමේ ඉඩකඩ ද අප රට තුළ විවෘතව පවතී. මේ නිසා සාමාන්‍ය පන්තියේ ජනයාට රිසිසේ නිදහස් සෞඛ්‍ය සේවාවේ පල ප්‍රයෝජන ලබා ගැනීමේ හැකියාවක් උදා වුණි. වාමාංශික තර්ක කරණයට අනුව පෞද්ගලික වෛද්‍ය සේවය අකැප වුවද පවතින යථාර්ථය එයම නොවන්නේ ය.

මාෆියාවෙන් නිදහස් වීම

මෙවන් පසුබිමක කලක සිට අපේ රටේ අසන්නට ලැබුණේ රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක් පවතින බවට කට කතාය. එසේම රජයේ රෝහල් වෛද්‍යවරයාගේ තුන්ඩුව ලියවා ගෙන පෞද්ගලික අංශයේ රසායනාගාරවලින් පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට සිදු වී තිබෙනවා ය යන කතාය.

එහෙත් වර්තමානයේ ‘මෛත්‍රි පාලනයක්’ යටතේ මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බව මේ රජයට විරුද්ධව කතා කරන අය පවා පොදුවේ සඳහන් කරති. වත්මන් රජයේ වසර තුනක ප්‍රගති වාර්තාවේ සදහන් වන කාරණා අතුරින් සෞඛ්‍ය සේවාවේ වර්ධනය කැපී පෙනේ.

වසර 40ක් තිස්සේ යෝජනාවක් ලෙසින් පැවතිය ද යථාර්ථයක් බවට පත් නොවූ සේනක බිබිලේ වෛද්‍ය ප්‍රතිපත්තිය, බෙහෙත් මිල අඩු වීම හා දේශීය වශයෙන් බෙහෙත් නිෂ්පාදනය වර්ධනය වීම ආදි කාරණා වත්මන් රජය යටතේ දක්නට ලැබෙන නිදහස් සෞඛ්‍යය සේවාවේ වර්ධනයන් අතර කැපී පෙනේ. එසේ ම මූලික පරීක්ෂණ සඳහා රෝහලෙන් ලබා දෙන වාර්තාවට පරීක්ෂණ කටයුතු පිටතින් ඉටු කර ගැනීමේ ක්‍රමය ද වෙනස් වී තිබේ. අද දවසේ ඒ සියල්ල රෝහල තුළින් ඉටු කරවා ගත හැකි අයුරින් නිදහස් සෞඛ්‍ය සේවය වැඩි දියුණු වී තිබේ. එසේ ම රුපියල් 35,000ක් පමණ වන අක්ෂිකාච මෙන් ම ලක්ෂ එකහම­ාරක් පමණ වැය වන හෘදබාධා සඳහා උපයෝගී කරගන්නා සැත්කම් උපකරණ සියල්ල අග හිඟයකින් තොරව සැමට නොමිලේ රෝහල තුළින්ම ලබා ගැනීමේ පහසුකම් මේ වන විට වැඩි දියුණු වී තිබේ. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මෙහෙයවීම හා මඟ පෙන්වීම මීට හේතුවී තිබෙන බව ද සඳහන් කළ යුතුය. රාජිත සේනාරත්න වැනි සටන්කාමී මෙන් ම විෂය ගැන අවබෝයක් ඇති අමාත්‍යවරයකු නොසිටින්නට සෞඛ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍රවලට අරක් ගෙන සිටින ‘මාෆියා’ බලපැම්වලින් මෙම සේවාව නිදහස් කර ගැනීමට නොහැකි වනු ඇත.

මේ අතර වත්මන් රජය බලයට පත්වන විට වකුගඩු රෝගය විශේෂයෙන්ම රජරට ප්‍රදේශය මුල් කර ගනිමින් වසංගතයක් ලෙසින් පැතිරි තිබුණු බව කාටත් රහසක් නොවේ. මෙය හැඳින්වෙන්නේ “මුලය හඳුනා නොගත් වකුගඩු රෝගය” ලෙසිනි. අදත් රසායනික පොහොර, ග්ලයිපෝසෙට් වැනි රසායනික පලිබෝධ නාශක ආදිය ගැන සඳහන් කරන නමුත් වසංගතයක් මෙන් පැතිර යන වකුගඩු රෝගයට නිශ්චිත හේතුවක් විද්‍යාත්මකව සොයා ගෙන නොමැත. 1990 දශකයේ රජරට ප්‍රදේශයෙන් හඳුනා ගත් මෙම වකුගඩු රෝගය උතුරු මැද පළාතේ බහුල වශයෙන් ම දක්නට ලැබුණේ වසංගතයක් ලෙසිනි. රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ වැඩි වැඩියෙන් සිදු නොවීමත් ඒ පිළිබඳව රාජ්‍ය අවධානය අඩුවීමත්, මෙහි ව්‍යාප්තියට හේතුවක් වූ බව ඇතැමෙක් සඳහන් කරති.

2015 ජනවාරි 8 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වීමත් සමඟම මේ සම්බන්ධයෙන් සුවිශේෂි අවධානයක් යොමු කළ බව අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ම “වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය” පිහිටුවීම එහි ප්‍රතිඵලයකි.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති කාර්ය සාධන බලකාය තවත් අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන හා බහුජන සංවිධාන එක්ව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මේ සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත. විශේෂයෙන් රජරට මුල් කර ගනිමින් ජීවත් වන ජනතාව විශේෂ පරීක්ෂණයකට යොමු කිරීම, පිරිසිදු පානිය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අදාළ දිස්ත්‍රික්කවල රෝහල් ආශ්‍රිතව විශේෂ වකුගඩු ඒකක පිහිටු වීම හා රුධිරය පෙරන යන්ත්‍ර ප්‍රමාණය වැඩි කිරීම ආදි කාරණ, මේ වන විටත් ඉටු කර හමාරය.

ජාතික වැඩපිළිවෙළක්

මේ රජය බලයට පත් වන විට රජයේ රෝහල්වල රුධිර පෙරණ යන්ත්‍ර පැවතියේ දෙසිය ගණනකි මේ වන විට එය දහස (1000) දක්වා වැඩි කර ඇත. “රටේ ජිවනාලිය බදු ගොවි ජනතාව මුහුණපා සිටින වකුගඩු රෝග උවදුර මැඩ පැවැත්වීම පිණිස ජාතික වැඩ පිළිවෙළක් දියත් කිරීමට මා පියවර ගෙන තිබෙනවා.” ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය දැනටමත් ක්‍රියාවට නංවාමින් සිටී.

මෙම වැඩ පිළිවෙළ ප්‍රධාන අංශ දෙකකින් ක්‍රියාත්මක වේ. ඉන් එක් අංශයක් වන්නේ අනාගතේ වකුගඩු රෝගයට ගොදුරු විය හැකි ප්‍රජාව ඉන් මුදා ගැනීමයි.

දෙවැන්න දැනට වකුගඩු රෝගයට ගොදුරු වී සිටින අයට ප්‍රතිකාර කරමින් එම පවුල් නඩත්තු කිරීම. ‘ජාතික වකුගඩු අරමුදල“ මෙම පිරිසට මුල්‍ය ආධාර ලබා දීමේ එක් ව්‍යාපෘතියකි. ඊට දැනටමත් රුපියල් මිලියන 540ක වැඩි ප්‍රමාණයක් දායක වී ඇත. මෙමගින් වකුගඩු රෝගීන්ට මාසික දිනමාවක් ලබා දෙනවා හැරෙන්නට මෙම රෝගයට ගොදුරු වූ පවුල්වල උසස් පෙළ හදාරණ දරු දැරියන්ට ශිෂ්‍යත්ව ප්‍රධානයක් ද සිදු වේ.

රෝග පරීක්ෂාව හා පිරිසිදු පානීය ජලය ලබා දීම රෝග වැලැක්වීමේ වැඩ සටහනට අයත් වේ. 2017 වන විට 6 12,000ක් පමණ කි. 2016 දී 500,000කි. එසේ ම රෝගීන් පෙර හඳුනා ගැනීම සඳහා වැය කර ඇති මුදල 2016 දී මිලියන 227කි. 2017 දී රු.මිලියන 350කි. එසේ ම ලබන වසර සඳහා ද රු.ද.ල. 365ක් මේ සඳහා වෙන් කර ඇත.

එහෙත් රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරන පරිදි දැනට අපේ රටේ දිස්ත්‍රික්ක 14ක සංඛ්‍යා ලේඛනවලට අනුව පුද්ගලයින් 75,000කට අධික ප්‍රමාණයක් වකුගඩු රෝගයෙන් පීඩා විදී. එසේ ම 25,000ක් දෙනා මේ රෝගය නිසා මරණයට පත්ව ඇත. මේ සියලු තත්ත්වයන් යටතේ වසරකට 4000 – 5000ක අතර ප්‍රමාණයකින් රෝගීන් සංඛ්‍යාවක් අලුතින් එක්වන බව පර්යේෂණවලින් හෙළි වන බව පැවසේ.

වකුගඩු රෝහල

මේ සියල්ල හෙළිදරව් වීමට පටන් ගෙන තිබෙන්නේ ම රජය මඟින් සිදු කරනු ලබන සුවිශේෂි පරීක්ෂණ හා අදාළ ප්‍රදේශවල ජනයා වැඩි වැඩියෙන් පරීක්ෂයට භාජනය කිරීම නිසාය. මේ නිසා මීට ඉහත මෙම රෝගයට ගොදුරු වූවන් සොයා ගැනීමට හැකි වුයේ රෝගය උස්සන්න වීමෙන් අනතුරුවය. ඊට හේතු ව සුවිශේෂි සොයා බැලීමක් සිදු නොකිරීමය.

මේ සම්බන්ධයෙන් රජයේ අවධානය පවතින වැඩ පිළිවෙළට යටත් කිරීමට පමණක් ජනාධිපතිවරයා සූදානම් නැත. එසේ ම හඳුනානොගත් වකුගඩු රෝගය හඳුනා ගැනීමේ පර්යේෂණ සිදු කිරීමට ද එතුමාට අවැසිව ඇත. මේ නිසා ජනාධිපතිවරයා චීන රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට අංග සම්පූර්ණ වකුගඩු රෝහලක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

පොළොන්නරුවේ ඉදිවන මෙම රෝහල දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල වනු ඇත. මේ සඳහා රු.මිලියන 12,000ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ. පර්යේෂණාගාර, මූලික ප්‍රතිකාර ඒකක, බාහිර රෝගී ඒකක, ඇඳන් 200කින් සමන්විත නේවාසික ප්‍රතිකාර ඒකක, එසේ ම ඇඳන් 100කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක් මීට අයත් ය. මෙය චීන රජයෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවට ලැබෙන පරිත්‍යාගයකි.

මෙම රෝහලේ ඇති විශේෂත්වය හඳුනා නොගත් වකුගඩු ව්‍යාසනයේ රෝග නිධානය සොයා පරීක්ෂණ කටයුතු කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ අංග සම්පූර්ණ පර්යේෂණාගාරයකින් මෙම රෝහල් ව්‍යාපෘතිය සමන්විත වීමයි. ශ්‍රී ලංකාවට පමණක් නොව ජාත්‍යන්තරයට පවා ප්‍රයෝජනවත් පර්යේෂණ සිදු වන රෝහල වනු ඇත.


නව අදහස දක්වන්න

Or log in with...